Print this Article


නැතිබැරිකමට ධාර්මික උත්සාහයෙන් පිළියම් සොයමු

නැතිබැරිකමට ධාර්මික උත්සාහයෙන් පිළියම් සොයමු

ලොව මිනිසුන් මෙකල මුහුණපාන ලොකුම ගැටලුව නැති බැරිකම සහ එයින් උපදනා වූ මානසික අසංතෘප්තභාවය හෙවත් දොම්නස යි. නැතිකම බහුල වූ විට දුප්පත්කම ප්‍රබල වේ. මිනිසුන්ට නැතිකම් හෙවත් දුප්පත්කම් ඇතිවීමට රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ප්‍රමුඛ ලෙස හේතුවන අතර ඊට අමතරව පෞද්ගලික වශයෙන් පවතින කම්මැලිකම, වැඩ කටයුතුවල අසංවිධානාත්මක බව හා අදූරදර්ශී බව යනාදී කාරණා ද බලවත් ලෙස හේතුවන බව අමතක නොකළ යුත්තකි.

නැතිකම හැරුණු විට මිනිසුන් තුළ පවතින බැරිකමට ඉහත කී කරුණු පසුබිම් වන අතර, වයසට යාම, ලෙඩවීම, නූගත්කම, අලසකම හා වුවමනාවක් නොමැතිකම යනාදී හේතු ද බලපායි. කෙසේ වෙතත් නැතිකම හා බැරිකම යනු රටකට නිමක් නැති උග්‍ර ප්‍රශ්න රාශියක් උද්ගත කරවයි. කෙසේ වෙතත් අවසානයේ දී නැති බැරිකම යනු පවුල් ගැටලුවක් හා සමාජ අර්බුදයක් බවට පත්වේ.

බුදුන් වහන්සේ භාරතීය සමාජයේ එවකට පැවති මෙම තත්වය පිළිබඳ මැනවින් දැන සිටියහ. එහෙයින්ම උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් රාශියක් බණ දහමෙහි සඳහන් වේ. ගැටලුවක් ඇතිවීමේ දී එය අවබෝධාත්මකව විශ්ලේෂණය කොට, ඊට විසඳුම් සෙවීම බෞද්ධ පිළිවෙත යි. ගැටලුවක් උපන් කල එහි සමාජමය පසුබිම විශ්ලේෂණය කරමින් විවේචනය කිරීමට ඉක්මන් වීමට වඩා එය හුදු පෞද්ගලික ක්‍රියාවලියක් ලෙස හඳුනාගැනීමට උත්සාහ කිරීම වඩා යෝග්‍යය.

ඊට හේතුව වන්නේ සමාජයක් යනු පුද්ගලයන්ගේ සාමූහික එකතුවක් වන හෙයිනි. වෙනත් විධියකින් කිවහොත් පුද්ගලයාගෙන් තොරව සමාජයක් බිහි නොවන බැවිනි. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ පරිදි මුලින් ම අප මුහුණ දෙන ගැටලුක් ඇති බව තේරුම්ගත යුතුයි. ඉන්පසු එම ගැටලුවට හේතුව ඉතා බුද්ධිමත්ව වටහා ගැනීම අවශ්‍ය වේ.

ලෝකයේ හොඳ හෝ නරක කිසිදු දෙයක් එක් පුද්ගලයකු හෝ එක් ක්‍රියාවක හෝ එක හේතුවක ප්‍රතිඵලයක් වශයෙන් ඇති නොවේ. සංසාරයත් ඒ හා බැඳුණු ජරා මරණ දුක්ඛ දෝමනස්ස ආදී සියල්ලක් ම සිදුවන ආකාරය බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාවේ දී පැහැදිලි කොට දුන් ආකාරය මෙහිලා මෙනෙහි කිරීම වැදගත් වේ. ලෝකයේ යම් නැතිකමක් හෝ බැරිකමක් ඇත්නම් එය දම්වැලක මෙන් ක්‍රියාදාමයන් රාශියක් එකිනෙකට ගැට ගැසීමෙන් සිදුවන බව එහිදී අපට තේරුම් යනු ඇත.

මිනිසුන් වශයෙන් අපට ඇතිවී ඇති යම් නැතිකමක් හෝ බැරිකමක් වේ නම්, සමාජයට දොස්නඟා තම සිත තුළ ආවේග වැඩිකර ගැනීමෙන් තමාගේ කායික මානසික විපත ළඟාකර ගැනීමෙන් වළකින්න.

ශ්‍රී ලංකාවේ අපි වළගම්බා රජුට පෙර තීය නම් බ්‍රාහ්මණයකු විසින් ඇති කළ දරුණු කැරැල්ලක් සහ සමකාලීනව වර්ෂ දොළොසක් පැවති අතිශය බිහිසුණු දුර්භික්ෂයකට හා ඝට්ඨන රාශියකට මුහුණ දී නැඟී සිටි ජාතියක් වෙමු. එහිදී එවකට වැඩ විසූ මහා සංඝරත්නය විසින් ගිහි ජනයාට එයින් නැඟී සිටීමේ මඟ විවර කරන ලදී.

බුදුදහම අනුව මෙවැනි වකවානුවක දී අපගේ ජීවිත සැලැස්ම සකසා ගතයුතු ආකාරය විශේෂයෙන් බණ පොත්හි දක්නට ලැබේ. බුදුන් වහන්සේ වදාළ ජීවන ප්‍රතිපදාව දේශ කාල භේදයෙන් තොරව සුවදායී ජීවිතයකට මඟ පෙන්වන්නක් වේ.

කරණීයමෙත්ත සූත්‍රයෙහි දක්වා ඇති කරුණු අතර ලද දෙයින් සතුටු වන්නෙක් වීම (සන්තුස්සකො), පහසුවෙන් පෝෂණය කළ හැකි තත්වයට පත්වීම (සුභරො), තම ප්‍රමාණයට, පිළිවෙළට හා මැනවින් වැඩ කරන්නෙක් වීම (අප්පකිච්චො) සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වීම යන කාරණා සතර මෙබඳු කාලයක ගැටලු බොහොමයක් නිරාකරණය කිරීම කෙසේ වෙතත් ගැටලු කළමනාකරණය කර ගැනීම සඳහා ඉවහල් වේ.

පැරැණි සිංහල බණ පොත් පිරික්සීමේ දී අල්පේච්ඡ දිවි පෙවෙතට බෞද්ධයන් හුරු පුරුදු කිරීමට දරන ලද මහත් වෙහෙසක් දක්නා ලැබේ. කුමට ද කා බී නිති සැරසෙන්නේ, කොතැන ද මේ කය අරගෙන යන්නේ යනාදී වශයෙන් භික්ෂූන් වහන්සේ ප්‍රශ්න කළ අවස්ථා දක්නට ලැබේ. එසේම රසමුසු බොජුන් වළඳා, ආබරණ ආදියෙන් අලංකෘතව, සුවඳ විලවුන් ගල්වා ජීවත්වීම යථාර්ථයක් වශයෙන් ගත් කල සංසාරයේ බහුරූ කෝලමක් ප්‍රදර්ශනය කිරීමක් වැනි යැයි ප්‍රකාශ කොට ඇත.

මෙයින් අදහස් කරනුයේ විවිධ දුෂ්කරතා මැද ජීවත්වන කාලයක දී කායික මානසික සංයමයකින් වැඩ කළ යුතු බවයි. අධික කාමභෝගී ලෙස ජීවත්වීමේ ආශාව අත්හැර ලද දෙයින් සතුටුවීමේ කුසලතාව දියුණු කර ගන්නා ලෙස උන්වහන්සේලා උපදෙස් දුන්හ.

කරණීයමෙත්ත සූත්‍රයෙහි සුභරො යන පදයෙන් කියැවෙන ධර්මම ය අදහස ගත් විට එය පවුලක අර්බුද රාශියක් විසඳා ගැනීමට ඉවහල් වේ. සුභරතා ගුණයෙන් යුතු බිරිඳක පෝෂණය කිරීම ස්වාමි පුරුෂයාට ඉතා පහසු ය. එසේම පහසුවෙන් පෝෂණය කළහැකි දරුවෝ වෙසෙත් නම්, මව්පියන්ට ඔවුන් පහසුවෙන් නඩත්තු කළ හැකි ය. ඉල්ලීම් බහුලවීමෙන් සිදුවන අපහසුතා එබඳු පවුල්වල අනුක්‍රමයෙන් අඩුවේ.

සාමාන්‍යයෙන් පෘථග්ජන මිනිසුන් තුළ කොපමණ දේ ඇතත් තෘප්තිමත්භාවයකට පත් නොවීමේ ස්වභාවයක් පවතී. බුද්ධ වචනයෙහි එය දක්වා ඇත්තේ මුළු ලෝකයට ම අධිපති වුවත් මිනිසාගේ ආශාව නමැති භාවිකත්වයෙහි තෘප්තියක් හෝ නිමාවක් නොමැත යන්න යි. අල්පේච්ඡතාව වෙනුවට ඔවුන් තුළ ඇත්තේ මහිච්ඡතාව හෙවත් ලොකු ලොකු දේ වැඩි වැඩියෙන් ප්‍රාර්ථනා කිරීම යි. මෙම සියලුම ප්‍රාර්ථනා අන් කිසිවක් සඳහා නොව නව දොරකින් කුණු වැගිරෙන දුගඳ හමන පංචස්කන්ධයක් පෝෂණය කිරීම සඳහා ය.

අනෙක් ව්‍යසනකාරී කරුණ වන්නේ බහුකෘත්‍ය ඇති බවයි. එහෙයින් බුදුන් වහන්සේ අල්පකෘත්‍ය ඇත්තෙක් වන්නැයි උපදෙස් දුන්හ. බොහෝ දෙනකු තුළ පවතින අසහනකාරී වූ සොයා යාම් හේතුවෙන් ඇතිවන කාර්ය බහුලත්වය යහපත් නැත.

කරණීයමෙත්ත සූත්‍රයේ දක්වන එක් මංගල කරුණක් අනාකුලා ච කම්මන්තා යනුවෙන් දක්වා ඇත. එයින් අදහස් වන්නේ තරුණ වියෙහි දී තම වෘත්තීය කටයුතු සංකීර්ණ හා අවුල් සහගත තත්වයකට පත් නොකර ගතයුතු ය යන්නයි.

කාර්ය බහුලත්වය සහිත මිනිසුන් බොහෝවිට පවසන්නේ තමා අවිවේකී කෙනකු බවයි. බුදුදහම අනුව අවිවේකී බවට වඩා විවේකී බව උසස් ය. කටයුතු කර්මාන්තවල දී වඩා වැදගත් වන්නේ අසීමිත ආශාවෙන් යුක්තව වැඩ රාශියක් බදාගෙන ක්‍රියාකිරීම නොව තමා වෙත පැවරෙන කාර්යය වඩා විධිමත් හා සංවිධානගත ආකාරයෙන් සිදු කිරීම යි.

ජීවිත දුක ජය ගැනීමේ අනෙක් වැදගත්ම කරුණ වන්නේ සැහැල්ලු පැවතුම් ඇති බවයි. එය සල්ලහුකතා යනුවෙන් දක්වා ඇත. පැරැණි ශ්‍රී ලාංකේය ජනයෝ අපූරු සැහැල්ලුවකින් කල් ගෙවූහ. අහස උසට පොදි බැඳගත් ප්‍රාර්ථනා නැති ඔවුහු දැහැමින් සෙමෙන් කල් ගෙවූහ. දහඩිය මුගුරු වගුරුවා බත බුලත සපයා ගත්හ.

අසීමිත ලෙස සත්ත්ව ප්‍රජාව වෙත දයාබරිත වූහ. එකිනෙකා පරයා නැඟී සිටීමේ කුහක සිතිවිලිවලින් ඔවුහු නො පෙළුණෝ ය. ඔවුනොවුන්ගේ යහපත සඳහා අතිරික්තය බෙදා හදා ගනිමින් සුහදකම් දැක්වූහ.

කලාවැව, මින්නේරිය, බසවක්කුලම වැනි මහසයුර පරයන වැව් අතීතයෙන් වර්තමානයට හිමිවී ඇත්තේ පැරැණි සිංහලුන්ගේ අපට හැකි ය යනුවෙන් සිත් තුළ කිඳා බැස තිබූ සංකල්ප නිසා ය. ජේතවනය, ඉසුරුමුණිය, රුවන්වැලි සෑය වැනි චෛත්‍ය රාජයාණන් ගැන කවර කතා ද? සීගිරිය වැනි විස්මිත නිමැවුම් මානසික විනෝදයේ අපූරු නිර්මාණ නො වන්නේ ද? එබැවින් නැතිකම හා බැරිකම නිතර ජප කරමින් කල් ගෙවීම රටක් වශයෙන් නොව පුද්ගලයෙක් වශයෙන් වුව ද බොහෝ නපුරු අත්දැකීම් අප වෙත කැඳවයි.

මේ සියලු භෞතික ක්‍රියාදාමයන්ට අමතරව කර්ම ශක්තිය නම් විශ්වීය බලයක් ද ක්‍රියාත්මක වන බව අප විසින් අමතක නොකළ යුතු ය. නැතිකම් හා බැරිකමවත්, ඇති බව හා හැකිකමවත් වලංගු නොවන කටුක අත්දැකීම්වලට ඇතැම් අවස්ථාවන්හි මිනිසුන්ට මුහුණදීමට සිදුවේ.

එකල හෝ මෙකල අප විසින් සිදු කරනු ලබන සාපරාධී ක්‍රියාවන් වෙතොත් ඒවායේ ප්‍රතික්‍රියා අප විසින්ම විඳීය යුතු වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. අසුභ භාවනාව ප්‍රගුණ කරන, ඉන්ද්‍රියවලට වසඟව කටයුතු නො කරන, තම පමණ දැන ආහාර පාන අනුභව කරන, පටන් ගන්නා ලද දැඩි වීර්යයෙන් කටයුතු කරන මිනිසුන් මාරයාටවත් පරාජය කළ නො හැක. එය සුළඟට පර්වතයක් සෙලවිය නො හැක්කාක් වැනි සිදුවීමකි.

ඍණාත්මක සිතිවිලිවලින් දුකට දොම්නසට පත් වී අඳුරෙන් අඳුරට යන මිනිසාට මෙම ප්‍රකාශය ඉන් නැඟී සිටීම සඳහා කදිම අනුශාසනාවකි. එසේම සැම දෙයක් ම මමත්වයෙන් ගන්නා වූ, ඉන්ද්‍රිය පාලනයකින් තොරව වසන්නා වූ, පමණ නොසලකා ආහාර බුදින්නා වූ, අලස හා වීර්යය අඩු තැනැත්තා සුළඟින් දුර්වල රුකක් බිම ඇද වැටෙන්නාක් මෙන් මාරයා විසින් මැඬලනු ලබන බව ද වදාළහ.