Print this Article


සීමාලක්ඛණදීපනී

සීමාලක්ඛණදීපනී

ලක්දිව වැඩසිටි ධර්ම විනයධර උතුමන් වහන්සේ කලින් කල විවිධ ග්‍රන්ථ රචනා කළහ. එමඟින් ධර්ම ශාස්ත්‍රොන්නතිය උදෙසා ඉටුකළ සේවය සුළුපටු නොවේ. ඒ ඇතැම් ග්‍රන්ථ දැකබලා ගැනීමටවත් විරල වන තරමට නාමශේෂ ව ඇත.

එහෙයින් අතීත යතිවරයාණන් වහන්සේ සහ ගිහි පඬිවරුන් විසින් ස්වයං නිර්මාණාත්මක ව කරන ලද ග්‍රන්ථ හා ඒවාට ලියැවී ඇති සන්න ගැටපද ආදිය පිළිබඳ ග්‍රන්ථනාමය, ග්‍රන්ථය ලිවීමට හේතුව, කතුවරයා, ග්‍රන්ථයේ ප්‍රමාණය හා ප්‍රයෝජනය ආදී කරුණු ඇතුළත් වන පරිද්දෙන් ඉදිරියටත් රචනා කිරීමට නියමිත ය.

වැලිතොට පාලි සාහිත්‍ය ආලෝකවත් කරමින් රචිත ග්‍රන්ථයක් ලෙස සීමාලක්ඛණදීපනිය හැඳින්විය හැකි ය. මෙම ග්‍රන්ථය නිර්මාණය කිරීමට හේතුව වූයේ එකල පැවති සීමාසංකරවාදය යි. සීමාවන්ගේ විනයානුකූල බව පිළිබඳ විනයධර ස්වාමීන් වහන්සේ තුළ පැවති ඇතැම් පිළිගැනීම් හා මතවාද නිසා එය නිරාකරණයට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙම සීමාලක්ඛණදීපනී ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.

මෙහි කතුවරයාණන් වහන්සේ වන්නේ අමරපුර ගණපාමොක්ඛාචරිය සිරි අරියවංශාලංකර මහකරාවේ විමලසාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. වර්ෂ 1825 දී මනුලොව දිනූ උන්වහන්සේගේ මව්පියන් වූයේ මහබද්දේ කංකානම් ධුරය දැරූ අවුවාහන්දි ලක්නයිදේ මහතා සහ එම මහාත්මණිය යි.

උපතින් සත්වස් පිරෙද්දී අඹගහපිටිය අම්බරුක්ඛාරාම මූල මහා විහාරයට ගිය මේ පින්වත් කුමරා එහිදී ගෞරවාර්හ බේරතුඩුවේ ධම්මාධාර තිස්ස මාහිමියන් වෙතින් මූලික අක්ෂරභ්‍යාසය ලැබීය. අනතුරුව උන්වහන්සේගේ ම ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ මේ පින්වත් කුමරා එතැන් සිට මහකරාවේ විමලසාර නමින් ප්‍රචළිත විය.

ගෞරවාර්හ කහවේ ඤාණානන්ද මහතෙරුන් වහන්සේ වැනි වියත් යතිවරයන් වහන්සේ සෙවණේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ විමලසාර හිමියන් වර්ෂ 1845 දී උපසම්පදා ශීලයට පත් වූ අතර, එතැන් සිට සක්‍රීය ව ධර්ම ශාස්ත්‍ර සේවාවෙහි නිරත විය.

එවකට අම්බරුක්ඛාරාම මූල මහා විහාරස්ථානයේ පවත්වා ගෙන ගිය පරිවෙණස්ථානයේ පරිවේණාධිපතිත්වය හෙබ වූ කහවේ ඤාණානන්ද හිමියන්ගේ හදිසි අපවත් වීමෙන් හිස් වූ පරිවේණාධිපතිත්වය විමලසාර හිමියන් වෙත පැවරුණු අතර, උන්වහන්සේගේ විචක්ෂණ බුද්ධි මහිමය නිසා සහස්‍ර සංඛ්‍යාත සිසු දරුවන් පිරිසක් උන්වහන්සේ වෙතින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය හැදෑරීමට පැමිණෙන්නට විය.

මේ සමය වන විට ලක්දිව වාද විවාදාදීන්ගෙන් අඩුවක් නොමැති වූයෙන් ඒවාට ද සම්බන්ධ වන්නට උන්වහන්සේට සිදු විය. විමලසාර මාහිමියන් දවස අමරපුර සමාගමේ අඹගහපිටි පාර්ශ්වය සහ ලංකාගොඩ ධීරානන්ද මාහිමියන් අතර සීමාසංකරවාදය පිළිබඳ උණුසුම් විවාදයක් පැවතිණ. ඒ පිළිබඳ අඹගහපිටි පාර්ශ්වයේ ප්‍රකට කථිකයා වූයේ ගෞරවාර්හ කහවේ ඤාණානන්ද හිමියන් ය.

උන්වහන්සේගේ අපවත්වීම නිසා එකී කාර්යභාරය මහකරාවේ විමලසාරතිස්ස හිමියන් වෙත පැවරිණ. ඒ අනුව උන්වහන්සේ විසින් සීමාලක්ඛණදීපනිය වර්ෂ 1878 දී ප්‍රකාශයට පත් කරන ලදී.

එහි පළමු කාණ්ඩයෙන් උදකුක්ඛේප සීමා වණ්ණනාදිය ද, දෙවැනි කාණ්ඩයෙන් ප්‍රකෘති ග්‍රාමා දී පරිච්ඡේදාදිය ද, තුන්වැනි කාණ්ඩයෙන් පෙළ අටුවා ආදියෙහි සඳහන් වන සීමා සම්මතය පිළිබඳ න්‍යායාත්මක ක්‍රමය පිළිබඳව ද, සීල සමාධි ප්‍රඥා පිළිබඳ අති සංක්ෂිප්තව ද කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම ග්‍රන්ථය රෝණියෝ ප්‍රමාණයේ පිටු 75 කින් සමන්විත වන අතර, එහි ආරම්භක ගාථාව

සම්බෝධෝයං සම්භූතං සම්බුද්ධේන මනුස්සරං

සද්ධම්මරංසි සම්ඵුල්ලාරිය සංසම්බුජාකරං යන්නයි

මෙම මාහැඟි පාලි භාෂාත්මක රචනයට වර්ෂ 1936 දී ගල්වෙහෙර විමලබුද්ධි හිමියන් විසින් සීමාලක්ඛණදීපනී සන්නය නමින් ව්‍යාඛ්‍යාවක් සපයන ලදී.

පළමු කාණ්ඩය අවසනට ව්‍යාඛ්‍යානය කර ඇති අතර, භාවාර්ථය ආදිය ඉතා සැලකිල්ලෙන් ලියා ඇත. මෙම පළමු ඛාණ්ඩයට අමතරව අනෙක් කාණ්ඩ ද නිකුත් කරන බවට පළමු පොතේ දක්වා තිබුණ ද අනෙක් කාණ්ඩ සොයා ගැනීමට නොහැකි වූ බව වැලිතොට පාලි සාහිත්‍ය ග්‍රන්ථයේ කතුවර දංගල කුසලඤාණ හිමියෝ ප්‍රකාශ කරති. කෙසේ වුව ද ධර්ම විනය පිළිබඳ මහ තෙරුන් වහන්සේ තුළ වූ කුශාග්‍ර බුද්ධිමත් බව මෙම ග්‍රන්ථ තුළින් වඩාත් ප්‍රකට වන්නේ ය.