රාගී ගිනි නිවා ධර්මයේ
සැනසුම ලබන්න
දෙමැද, දැරණියගල
ශ්‍රී චිත්ත විවේකාරාමයේ
ඇටම්පොල ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි දී සෙට්ඨපුත්ත
නම් වූ ප්‍රේත වස්තුව දේශනා කොට වදාළ සේක.
පසේනදිකොසොල් රජතුමා ඇතු පිට නැඟ රාජාභරණාදියෙන් සැරසී ඔටුණු පැළඳ නුවර ඇවිදින්නට
ගියේ ය. අතරමඟ දී දුප්පත් ගෙයක රූමත් කාන්තාවක් දුටුවේ ය. ඒ දර්ශනය රජතුමාගේ සිත්හි
තදින්ම බලපෑවේ ය. රූමත් කාන්තාව පිළිබඳ සිතක් පහළ විය. දැඩි රාගාශි‍්‍රත වූ සිතක්
උපන්නේ ය. රාගය නැමැති ගින්නෙන් දැවෙන්නට විය.
රාගය අති භයානක දෙයක් බව මෙහිදී අප වටහා ගත යුතු ය. රාජාධි රාජ මහා මාත්‍යාදීන් වුව
ද රාගයෙන් මුළා වූ විට, උමතු වූ විට ඕනෑම ළාමක පහත් හා දරුණු ක්‍රියාවක් කළ හැකි ය.
පසේනදී කොසොල් රජතුමාට නින්දක් නැත. කෑමක් නැත. සිහි කල්පනාවක් නැත. දිනක්
ඇමතිවරයකුට කතා කොට අසවල් ස්ථානයේ රූමත් කාන්තාවක් සිටියා. ඒ කාන්තාව අස්වාමික ද
සස්වාමික දැයි වහා බලා එවයි අණ කර සිටියේ ය.
ඇමැතිවරයා ද වහාම එහි ගොස් ඒ කාන්තාව විවාහක බව දැන එ පුවත රජතුමාට දැන්වීය. රජතුමා
ඒ ස්වාමියා රාජ මාලිගාවට ගෙන්වා ගත යුතු බවත්, උපායකින් ඔහුගේ වරදක් දක්වා මරණය
සිදු කොට රූමත් කාන්තාව තමා වෙත කැඳවා ගත යුතු බවටත් තීරණය කළේ ය.
රජතුමා ඒ පුරුෂයා රාජ මාළිගාවට ගෙන්වාගෙන රාජ්‍ය සේවයේ යෙදෙන ලෙස අණ කළේ ය. එසේ කොට
ඔහුට රජු විසින් නියෝගයක් පනවන ලදී.
එනම් “හිරු අස්තයට යන්නට පෙර හිමවතට ගොස් අසවල් පොකුණෙන් අරුණුවන් මැටි සහ උපුල්
මල් රැගෙන එවයි” කීයේ ය.
ඒ පුරුෂයා එක්තරා විමාන ප්‍රේතයකුගේ ආධාරය ඇතිව අරුණුවන් මැටි සහ උපුල් මල් රැගෙන
වේලාසනින් ම රජ වාසල් දොරටුව වෙත පැමිණියේ ය. එහෙත් එදින රජුගේ නියමයෙන් රජ වාසල්
දොරටුව වේලාසනින් ම වසා තිබිණි. රාජ නියෝගයෙන් රජ වාසල් දොරටුව වසා ඇති බව
දොරටුපාලකයා ප්‍රකාශ කොට සිටියේ ය.
ඒ පුරුෂයා ගෙනෙන ලද අරුණුවන් මැටි හා උපුල් මල් වාසල් දොරටුවේ එල්ලා තබා රාත්‍රී
කාලයෙහි නිදා ගැනීමට ජේතවනාරාමයට පිවිසියේ ය. රජතුමා මධ්‍යම රාත්‍රියෙහි දී නපුරු
ශබ්දයක් අසා බියට පත් විය. ඒ, දු, ස, න, සෝ යන අකුරු හතරයි. ඒ, පරදාර සේවනයෙහි
යෙදුන, අවීචියෙහි දුක් විඳින නිරි සතුන්ගේ භයානක වූ ශබ්දය බව සඳහන් වේ.
රැය පහන් වූ කල්හි රජතුමා පුරෝහිත බමුණන් කැඳවා මේ බව දන්වා සිටියේ ය. ලාභ
සත්කාරයනට ගිජු වූ පුරෝහිත බමුණෝ විපතක් සිදුවන බවත්, යාග හෝම පැවැත්විය යුතු බවත්
කියා සිටියහ. දහස් සංඛ්‍යාත සතුන්ගේ ජීවිත හානියක් සිදුවන ඒ යාගයෙන් බමුණන්ට මහත්
ලාභ සත්කාර අයත් වේ.
මෙම පුවත ඇසූ මල්ලිකා දේවිය රජතුමාට මෙසේ කීය. “දේවයන් වහන්ස, අප භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයට ඉතා සාර්ථක පිළිතුරක් ලබා ගත හැකි වන්නේ ය.
එබැවින් බුදුරජාණන් වහන්සේගෙන් අසා දැන ගනිමුයි” කීවා ය. එබසට රජතුමා ද එකඟ විය.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳ විමසීමට රජතුමා සැවැත්නුවර ජේතවනාරාමයට
ගියේ ය. ගොස් බුදු පා කමල් වැඳ එකත් පසව සිට තමාට ඇසුණු භයානක වූ ශබ්දය ගැන ඇසීය.
එවිට බුදුපියාණන් වහන්සේ මහ රජතුමනි, ඔබට හෝ රටට කිසිදු විපතක් නොවන්නේ ය. ලොහොකුඹු
නරකයේ සිටින නිරි සතුන්ගේ භයානක ශබ්දයක් යැයි පැහිදිලි කොට වදාළ සේක.
දාන ශීලා දී පින්කම් නො කොට, පරදාර සේවනයෙහි යෙදී, පව්කම් කිරීමෙන් නිරයේ ඉපිද දුක්
විඳින නිරි සතුන්ගේ ඒ ශබ්දය ගැන කියමින් දහම් දෙසූ සේක.
මේ ධර්ම දේශනාව අසා සිටි මැටි හා උපුල් මල් ගෙන ආ පුරුෂයා සෝවාන් භාවයට පත් වූයේ ය.
කොසොල් රජතුමා ද අන් ස්ත්‍රීන් පිළිබඳ ඇති කර ගත් රාගී ගින්න නිවා ගෙන ධර්මයෙන්
සැනසුම ලබා ගත්තේ ය.
සෙට්ඨ පුත්ත ප්‍රේත වස්තුව මෙසේ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක. |