Print this Article


මේ මොහොතේ සිටම නොපමා වන්න

මේ මොහොතේ සිටම නොපමා වන්න

කයින්, වචනයෙන්, මනසින් අකුසල ක්‍රියාවන්ට සිත නතු කර ගනිමින්, සිහිකල්පනාවෙන් තොරව ජීවත්වීම ප්‍රමාදයයි. කැළයකින් අල්ලාගෙන ආ කුළු ගොනකු යදමින් බැඳ තිබෙනා තාක් කල් එක තැන සිටී. එහෙත් එයින් මිඳුණු වහා ම කැළයට දුවන්නා සේ ම පෘථග්ජන සිත ද නිතරම සිටින්නේ වීර්යය අත්හළ වහාම පංචකාමයන් හා දුෂ්චරිතයන් සේවනය සොයාගෙන වල් වදින සූදානමින් ම ය.

පංචකාමයට හා අනේකවිධ දුෂ්චරිත කෙරේ බැඳුණු සිත, සුචරිතයේ පවතින්නේ සිහිය නැමැති යදමින් බැඳ තබන තාක් කල් පමණකි. ප්‍රමාදය අප සිත වනසා දමන ක්ලේෂයක් බව අවබෝධ කර ගත් ප්‍රඥාවන්ත බෞද්ධයා සිහි නුවණින් විමසා බලා කටයුතු කරමින් තම සිත පිරිසුදුවත්, නොකිළිටිවත් තබා ගනී. එවන් සිතකට පමණි සංසාරය කෙටි කර ගැනීමට අවශ්‍යය පින් දහම් පූරණය කොට මෙලොව සතුටින් දීර්ඝායුෂ විඳ, මියපරලොව ගොස් දෙව් මිනිස් සැප ද, මතු නිර්වාණාවබෝධය ද සාක්ෂාත් කළ හැකි වන්නේ.

දේවදූත සූත්‍රයේ දැක්වෙන පරිදි කෙලෙස් දම් පුරා අපාගත වූ පාපී නරයන් යම පල්ලන් විසින් යම රජු හමුවට පමුණුවයි. මෙසේ, තා මෙහි පැමිණියේ මන්දැයි විමසන විට අපාගත වූ නරයන් පවසන්නේ තමන් පින් පව් හඳුනාගෙන සිටියත් නිවන් මඟට යොමුවීමට හැකි මාවත සාදා දෙන දේවදූතයින් පස්දෙනා හෙවත් පංච පාපයන්ගෙන් මිදීමට ප්‍රමාද වූ බවයි. පමාදෝ නම් ක්ලේෂය හරි හැටි හඳුනා නොගත් බවයි. එසේ හඳුනාගත්තේ නම් තමන් අපායගාමී නොවන බව ද ඔවුහු යම රජු හමුවේ ප්‍රකාශ කළහ.

යමෙක් මුලදී වත් පිළිවෙත් පිරීමෙන් හෝ බණ හැදෑරීම් ආදියෙන් හෝ නුවණින් මෙනෙහි කිරීමෙහි පමා වුවත් පසුව නොපමා වේ ද, හෙතෙම වළාකුළින් මිදුණ පුන් සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි.

ධම්ම පදය

බුදුරජාණන් වහන්සේ දවස දෙව්රම් වෙහෙර සම්මුඤ්ජනී නම් තෙර නමක් වාසය කළේ ය. උන්වහන්සේ දවස පුරා ම විහාර මලුව සේ ම මං පෙත් ද අමදිමින් කාලය ගත කරයි. දන් වළඳන, ස්නානය කරන, සිරුර කිස කරන වෙලාවන් හැර අනෙක් සැම වෙලේම අතුගාන හෙයින් උන්වහන්සේ අමදින උන්වහන්සේ යැයි ප්‍රකට විය. රේවත නම් රහතන් වහන්සේ නමක් ද එම විහාරයේ ම වැඩ වාසය කළත් සම්මුඤ්ජනී තෙරණුවෝ රේවත හිමියන් රහත් බව නොදනී.

වෙහෙර අමදින මුස්නත් රැගෙන රේවත තෙරුන් හමුවට යන සම්මුඤ්ජනි තෙරණුවෝ... ඔබ වහන්සේ නම් මහා අලසයෙකි.

සැදැහැවතුන් දෙන දන් වළඳා අලසවැ සිටීම හොඳ නැත. මුස්න ගෙන මිදුලෙන් කොටසක් අමදින්න යැයි කියා සිටියහ. එවිට රේවත මහ රහතන් වහන්සේ අමදින තෙරුන්ගේ වරද පෙන්වා දෙමින් මෙසේ වදාළ සේක. ඇවැත්නි වත් පිළිවෙත් කරන්නේ යැයි සෑම වේලේ ම ඇමදීම පමණක් භික්ෂුවකට නොවටනේ ය. උදෑසන හැමද වළඳා, භාවනා වඩා, මඟ ඵල පසක් කර ගැනීමට වීර්යය වැඩිය යුතු යැයි අවවාද කළහ.

ගුණ යහපත් සම්මුඤ්්ජනී තෙරුන් වහන්සේ ඒ අවවාදයේ මනාව පිහිටියහ. සුදුසු වේලෙහි වෙහෙර මලු ඇමැද, සුදුසු වේලෙහි වත් පිළිවෙත් කළහ. භාවනා වඩා නොබෝ කලකින් උතුම් රහත් ඵලයට පැමිණියහ. දිනක් එක්තරා භික්ෂුවක් සම්මුඤ්ජනී රහතුන්ගෙන් දැන් නිතරම මලු අමදින්නේ නැත්තේ මන්දැයි විමසී ය. උන්වහන්සේ, නොපමාවෙන් වෙසෙමි. සුදුසු වේලෙහි හමදිමි'යි පැවැසූයෙන් ඒ භික්ෂුව බුදුරදුන් හමුවට ගොස් සම්මුඤ්ජනී තෙර බොරු රහත් බවක් අඟවනවා යැයි පැවැසී ය.

තථාගතයන් වහන්සේ සම්මුඤ්ජනී තෙර මාර්ගඵල අවබෝධ කර ගත්තේ වේ යැයි මේ ගාථාව දේශනා කොට වදාළේ, යමෙක් පෙර පමා වුවත් පසුව නොපමා වේ ද ඒ තැනැත්තා වළාකුළකින් මිඳුණු පුන්සඳ මෙන් මේ ලොව බබළන්නේ ය යන්න පැහැදිලි කරමිනි.