Print this Article


තමන්ගේ දියුණුව අනුන් ගැන සිතන තරමටයි

තමන්ගේ දියුණුව අනුන් ගැන සිතන තරමටයි

" සමඟියේ අගය, වටිනාකම බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දී භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු සාමාන්‍ය වැසියාට දේශනා කළහ. ඒ අතර බෝසතාණන් වහන්සේ විවිධ ආත්මවල සමඟිව ජීවත් වූ ආකාරය පිළිබඳ ජාතක පොත තුළින් ද අනාවරණය වේ."

බුදු ඇසින් දුටු “සමඟියෙහි වටිනාකම” තුළ ඇති ගැඹුරු බව තව කෙනකුට සිතීමට පවා නොහැකි තරම් ය. බෞද්ධ දර්ශනය තුළ නිරන්තරයෙන් ප්‍රකට කර ඇත්තේ සමඟියේ ඇති වටිනාකම නොවේද?

බුදුරදුන් පහළ වූ යුගය තුළ විවිධ දෘෂ්ඨි ඔස්සේ ගමන් කොට නිවන උදා කර ගත නොහැකිව මං මුළා වූ බොහෝ දෙනෙක් ජීවන ප්‍රතිපදාවන් ගත කළ ආකාරය ඉතා ප්‍රකට ය.

එකිනෙකා පරයා තනි තනිව කාමභෝගී ජීවන ගමන උදෙසා කරන සටන අද වන විට තියුණු මට්ටමක පවතී. එය එතරම් සුබදායක දෙයක් නොවේ. එතුළින් කෙසේ හෝ ජීවත් විය යුතු ය යන පටු පරමාර්ථය ඔස්සේ විහිදුන සංකල්ප උද්දීපනය වී සමාජයට හා පුද්ගලයාට විශාල විනාශයක් සිදුවනවාට කිසිදු සැකයක් නැත.

සමඟියේ ඇති අගය පිළිබඳ බුදු හිමි බුද්ධ ශාසනයෙන් ම ආරම්භ කරන ලද්දේ ආදර්ශයක් වශයෙන් පුහදුන් සත්වයාට යහතින් ජීවත්වීම උදෙසා ය.

ඒ අනුව ධම්ම පදය තුළ සඳහන් මෙම ගාථා ධර්මය ඉතා වැදගත්වනු ඇත.

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

භික්ෂූන් වහන්සේගේ සමඟිය අගය කළ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ද කළහ. වරක් විශාලා මහනුවර කූටාගාර ශාලාව තුළ විනයධර හා ධර්මධර භික්ෂූන් වහන්සේ අතර සුළු කරුණක් උදෙසා ඇති වූ කෝලාහලයක් සංසිඳුවීමට බුදුරජාණන් වහන්සේ මහත් පරිශ්‍රමයක් ගත්හ. එහිදී දේශනා කළේ ද “සමග්ගා හෝත මා විවදත” සමඟි වව් වාද නොකරව්” වශයෙනි. නමුදු භික්ෂූන් වහන්සේ එම වාදය දිගින් දිගටම ගෙන ගිය බැවින් බුදු හිමි අවසානෙට ඔවුන්ගෙන් ඈත් වී පාරිලෙය්‍ය වනයට වැඩම කළහ.

නව වන වස් තුන්මාසය ම එහි ගත කළහ. එතුළින් පැහැදිලි වන්නේ ද භික්ෂූන් වහන්සේගේ සමගිය අගය කළ ආකාරයයි. ගිහි ජනතාවට ආදර්ශයක් විය යුතු භික්ෂූන් වහන්සේ එලෙස වාද භේද වීම නොහොබිනා ක්‍රියාවක් බව බුදුරදුන් පහදා දුන් ආකාරය ඉතා අගනේ ය.

සමඟියේ අගය, වටිනාකම බුදුහිමි විවිධ තැන්වල දී භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු සාමාන්‍ය වැසියාට දේශනා කළහ. ඒ අතර බෝසතාණන් වහන්සේ විවිධ ආත්මවල සමඟිව ජීවත් වූ ආකාරය පිළිබඳ ජාතක පොත තුළින් ද අනාවරණය වේ. ජාතක පොතෙහි සඳහන් සම්මෝදමාන ජාතකයේ සමඟිව විසීමෙන් ඇතිවන ශක්තිය බිඳවැටීමෙන් සිදුවන විනාශය පිළිබඳ මනාව විවරණය කොට ඇත.

එක් ආත්මයක අප බෝසතාණෝ වටු කුරුලු ජාතියෙහි ඉපිද අන් වටුවන්ට නායක ව සිටියහ. එක් වැද්දෙක් වටුවන් වසන පෙදෙසට පැමිණියේ ය. වටු හඬ නඟා වටුවන් රැස් වූ කල දැල එළන්නේ ය. පසුව සියලු වටුවන් අල්ලා ඔවුන් විකිණීමෙන් ද, ඔවුන්ගේ මස් අනුභව කිරීමෙන් ද ජීවිතය පවත්වාගෙන යයි.

දිනක් බෝසත් වටුවා පිරිසට සමඟිව සිටින තාක් බේරී යාමට හැකි බව දැන්වී ය. සියලු දෙනා සමඟියෙන් දැලත් සමඟ ඉගිල්ලී ජීවිත බේරා ගනිමු යැයි සාකච්ඡා කොට ජීවිතය බේරා ගත්හ. මෙසේ ක්‍රියා කරමින් සිටියදී දිනක් වටුවන් බිමට බසින විට එක් වටුවකුගේ පය අනිකාගේ හිසේ වැදීමෙන් දබරයක් හට ගත්තේ ය. එතුළින් අසමඟියක් ඇති විය. අවසානයේ වැද්දාට වටුවන් සියලු දෙනා ම බිලි වූහ.

එම කතා පුවතින් වුව ද පැහැදිලි වන්නේ අසමගිය ඇති වූ කල ජීවිත පවා විනාශ වීමට පුළුවන් බව ය. ඒ අනුව සමඟියෙන් ම ජීවත් වීම උතුම් වන්නේ ය. බුදුරදුන් කල ශාඛ්‍ය - කෝලිය වංශිකයින් අතර ජලය බෙදා ගැනීම උදෙසා වෙන්නට තිබූ ලොකු විනාශයක් බුදු හිමිගේ අවවාද අනුශාසනා මත නතර කර ගත්හ. එදා එය සිදුවුණි නම්, ජීවිත රාශියක් විනාශ වන්නට ඉඩ තිබුණි. ඒ සෑම තැනක දී ම බුදු හිමි සමඟියෙන් ජීවත් වීම අගය කළහ. තනි ගසක් තිබුණු කල සුළඟකින් පවා විනාශ වීමේ ප්‍රවණතාව වැඩි ය. නමුදු ගස් සමූහයක් තිබෙන තැන සුළඟකින් පවා විනාශ කිරීම අපහසු ය. එලෙස ම සමගියෙන් ජීවත් වීමේ දී සතුරු ආක්‍රමණ පවා මැඩ පවත්වා ගැනීමට පුළුවන් බව සිතට ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ ජීවමාන කල පැවැති ලිච්ඡවි රාජ්‍ය දෙස බැලුවත් ඒ බව තහවුරු වේ. එම රාජ්‍ය දිව්‍ය ලෝකයක් සේ බැබළීමට හේතුව වූයේ ද සමඟිව හදා ගත් ක්‍රියා පද්ධති හතක් නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ බැවිනි. ඒවා “සප්ත අපරිහාණි ධර්ම” වශයෙන් හඳුන්වා ඇත. එම රාජ්‍ය පිරිහුනේ ඔවුන් අසමඟි වීමෙන් එම ප්‍රතිපත්ති කඩා බිඳවැටීමත් සමඟ ය. ඒ අනුව මුළු ලෝකයට ම අවශ්‍ය වී ඇත්තේ සමඟිය බව පැහැදිලි වේ.

අප කාටත් බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ එමට ය. එතුළින් තනි තනිව හෝ සැනසීමට මේ කාලයයි. ජාති, කුල - මල, ආගම්, දේශපාලන පක්ෂ මත ඇනකොටා ගැනීම්, බේද වීම් අනුවණයින්ගේ ක්‍රියාවකි. පුංචි කාලයක් ගත කරන සත්වයා විසින් සිදුකළ යුත්තේ ගුණ ධර්ම තුළින් චරිත සංවර්ධනය කර ගැනීම නොවේ ද? තිරිසන් සතුන් සේ ජීවත් වීම මිනිසාට නොගැළපෙන්නකි. ඒ අනුව රටක, ජාතියක උන්නතියට හේතුව සමඟිය බැවින් එම උතුම් ක්‍රියා ප්‍රතිපත්තිය ප්‍රගුණ කරමින් ජීවත් වීමට සැවොම අධිෂ්ඨානය කර ගත යුතු ය.