දුටුගැමුණු මහ රජතුමා 69 කොටස:
එළාර රජු ගැන ජනතාව පැහැදෙයි
“මේ පුද්ගලයා මහ සෙනවියකු වන්නේ කෙසේද? මා සිටියේ මොහුගේ දිව කපා දමන්නයි. මහ
රජතුමාගෙන් එයට ඉඩක් ලැබුණේ නැහැ.”
“තුණ්ඩිල තොපට දැන් එය කළ හැකියි. ඒ සඳහා මේ බෝධි රාජයාණන් වහන්සේ වෙතින් ඈතට යා
යුතුයි.”
මෙසේ කියූ ඛඤ්ඡදේව තම පාදයේ තිබූ කොරය වඩාත් ඉස්මතු වී පෙනෙන සේ කොර ගසමින් බෝධි
සීමාවෙන් ඈතට ගොස් අඹ ගසක් යට සිට ගත්තේ ය. තුණ්ඩිල අසු පන්නාගෙන එහි ආවේ ය.
කෝපයෙන් තමා වෙත ආ තුණ්ඩිල දෙස සිනාමුසුව බැලූ ඛඤ්ඡදේව “තොපට මගෙන් දැනගත යුතු යමක්
ඇත්නම් දැන් අසා දැන ගත හැකියි.” කීවේ ය.
“නුඹේ කට වැඩියි. දැන් මට වුවමනා කරන්නේ නුඹේ දිව කපා දැමීමටයි.”
“මගේ දිව කපන්නට ආවොත් කැපෙන්නේ නුඹේ බෙල්ලයි.” ඛඤ්ඡදේව කීය.
අතක් කැපී යන සේ මොහුට ගැසිය යුතු යැයි සිතූ තුණ්ඩිල කඩුව එසවීය. පහර වළක්වා ඉහළට
පැනගත් ඛඤ්ඡදේව ඔහුගේ ගෙළට පා පහරක් දුන්නේ ය. පහර කා විසි වී ගිය තුණ්ඩිලගේ හිස අඹ
ගසෙහි වැදී බිම පතිත වුණු අතර කඩුව අතින් ගිලිහී වැටිණි.
කඩුව අහුලා ගත් මහ සෙනෙවි ඛඤ්ඡදේව ඔහු වෙතට ළං ව දැන් තගේ දිව කපා හෙළා දමන්නට මට
හැකි යැයි කියමින් කඩුව ඔහු දෙසට විසි කළේ ය. සිංහල සෙනෙවිවරුන්ගේ හැටි තේරුම්
ගත්තොත් ඒ ඇති” යි කියමින් අසුපිටට නැඟුණේ ය.
යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ සිට ආපසු යන දීඝාභය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ගැනීමේ
අදහසින් ඒ දෙසට අසු මෙහෙය වීය. පුදුමයෙන් බලා සිටින තරුණියන් තිදෙනකු දැක ඒ දෙස ළං
වූ ඔහුට තවමත් අඹ ගස මුල වැටී සිටින තුණ්ඩිල දුටුවේ ය.
“දන්ති මෙතැන සිදු වූ අරගලය මොකක්ද?”
“ඛඤ්ඡදේව මහ සෙනෙවිතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට මෙතැනට පැමිණෙන
විට තුණ්ඩිල පැමිණියා. දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වණා. තුණ්ඩිල කඩුව අරගෙන ඔහු
මරන්නට පැන්නා. ප්‍රතිඵලය තමයි ඔය.”
දීඝාභය කෝපයට පත්විය. තුණ්ඩිල වෙත ගියේ ය. හිසින් ලේ ගලමින් සිටි ඔහු දෙස බලා
සිනාසුනේ ය. ලජ්ජාවෙන් මිරිකෙමින් තුණ්ඩිල නැඟී සිටියේ ය.
නිරායුධ කෙනෙකු සමඟ කඩුවක් ගෙන සටන් වදින්නා නිවටයෙක්. ඒ නිවට ක්‍රියාවට තට ලැබුණු
දඬුවම මදි. නුඹට නිසි දඬුවම් රජතුමාගෙන් ලැබේවි.
අනුරාධපුර රාජධානියේ සෑම කෙනකුම අතර කිසියම් ආරංචියක්, ප්‍රබෝධයක් පැතිර තිබේ.
සිංහල රටේ පාලනය සිංහල සංස්කෘතියට, බුද්ධාගමට මුල්තැන දෙමින් සිදු විය යුතුය යන්න
භික්ෂූන් වහන්සේ විසින් එළාර රජතුමාට පැහැදිලි කර ඇත. දසරාජ ධර්මයට අනුගත වෙමින් රට
පාලනය කරමින් ජනතාවට සෙත සැලසීමේ ක්‍රියා මාර්ගයකට යොමු වී සිටින රජතුමා, සොළී
හමුදාව නිසා ජනතාවට සිදු වී ඇති අලාභ හානිවලට වන්දි ගෙවීමට සූදානම් ව සිටිතියි අසා
රජතුමා කෙරෙහි රට වැසියන් තුළ පැවති ප්‍රසාදය වැඩි වී ඇත.
රජ මාළිගයේ දිනපතා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිනැමෙන දානයට වඩින භික්ෂූන්
වහන්සේලා සංඛ්‍යාව අඩු වුව ද ප්‍රචාරය ගොස් ඇත්තේ දහසක් සඟුන් දිනපතා දවල් දානයට
වැඩම කරන බව ය. රජ ගෙදර දානයට ආරාධනා කළත් ඇතැම් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය කර දිවි
රැක ගැනීම පිළිබඳ රජුගේ කනගාටුවට හේතු විය.
බොහෝ දුරට පිරිහී තිබුණු බෞද්ධ කටයුතු දියුණුවට පත් වූයේ, රජරට හැර ගොස් සිටි
භික්ෂූන් වහන්සේගේ පැමිණීමෙන් පසුව ය. සිරිනාග විසින් ගෙනෙන ලද යෝජනාවක් පරිදි මහා
විහාර භික්ෂූන් වහන්සේලාට නැවත පැමිණීමට කරන ලද ආරාධනය ජනතාවගේ ප්‍රබෝධයට හේතු වූ
බව එළාර රජුගේ හැඟීම විය.
තමන් විසින් වෙහෙර විහාර, පන්සල් කොල්ලකෑමෙන් ඇති වූ කැළැල් වසා ගැනීමට සිතූ එළාර
රජු ශ්‍රී මහා බෝධියට, ථූපාරාමයට පුද පූජා කිරීම ද ආරම්භ කළේ ය. රජතුමා සෑගිරියට
යද්දී අස්රියෙහි රෝදය වැදී චෛත්‍යයක කොතක් බිඳී ගියේ ය. එයින් කම්පාවට පත් වූ
එතුªමා රියෙන් බැස බිම දිගා වී එම රිය තමාගේ ගෙල මතින් ගෙන යවයි අණ කළේ ය. ඇමතිවරු
රජුගේ සිත සනසා භාණ්ඩාගාරයේ මුදල් යොදවා චෛත්‍යය අලුත්වැඩියා කරවූහ.
එළාර රජු කෞටිල්‍ය බ්‍රාහ්මණයාටත් වඩා කපටි යැයි බ්‍රාහ්මණවරු පවසති'යි යන
ආරංචියෙන් එළාර රජු උද්දාමයට පැමිණියේ ය. රාජධානියේ අසරණ මිනිස්සුන්ට පැමිණිල්ලක්
කිරීමට ඉඩ ලබා ගැනීමට එළාර රජු යොදා ඇති උපායෙන් තිරිසන් සතුන්ගෙන් ද වැඩ ගනිති'යි
ප්‍රචාරයට පත් විය.
රජ මාළිගයට නොපැමිණ රාජාංගනයේ සිට ඕනෑම අවස්ථාවක ශබ්ද කළ හැකි මිණි ගෙඩියක්
රජතුමාගේ සිරියහන් ගබඩාවේ එල්ලා ඇත. මිණි ගෙඩියේ ගැට ගැසූ රැහැන රාජාංගණයේ දොරටුවේ
කුළුණක ගැට ගසා ඇත. යුක්තිය ඉටු කිරීම සඳහා මිණි ගෙඩිය සාධාරණත්වයේ සංකේතය විය.
රජුගේ පුත් කුමරු තිසා වැවේ දිය කෙළියට යද්දී, ඔහුගේ රියට හසුවී වසු පැටියෙක් මළේ
ය. රජු පැමිණිල්ල විමසා පුත් වැරදිකරු නිසා ඒ රියට ම ඔහු අසුකර මරන්නට නියම කළේ ය.
රාජ නීතියත්, රාජ ධර්මයත් රැකීම අතින් එළාර මහ රජතුමා කාගේත් ප්‍රසාදයට පත් වූයේ
තමාගේ එකම පුතා වෙනුවෙන් වුවත් නීතිය ක්‍රියාත්මක කළ නිසා ය.
සර්පයෙක් කුරුලු කූඩුවක සිටි පැටවුන් ගිල්ලේ ය. කිරිල්ල ගොස් මිණි ගෙඩිය හැඬ වූවා
ය. පැමිණිල්ල විමසූ රජතුමා නිලධාරීන් යවා සර්පයා අල්ලා ගෙනැවිත් උගේ බඩ පළා
කිරිල්ලට පැටවුන් ගෙන දුන්නේ ය. රජු වෙනුවෙන් කුරුල්ලෝ තුති ගී ගැයූහ.
දිළිඳු කාන්තාවක්, වී ටිකක් වේළෙන්නට අව්වේ දැමුවා ය. අකල් වැස්සකින් වී ටික තෙමුණේ
ය. කාන්තාව දුකට පත්ව මිණි ගෙඩිය ශබ්ද කළා ය. ඇය ගෙන්වා කරුණු විමසූ රජතුමා සත්‍ය
ක්‍රියා කොට, අකාලයේ වැසි නොවසින ලෙස මේඝ දෙව්යන්ගෙන් ඉල්ලා සිටියේ ය.
එළාර රජු කෙරෙහි භක්තියක්, ආදරයක් වඩමින් පැතිර වූ මෙබඳු පුවත්වලින් සිංහල රජවරුන්ට
වඩා දෙමළ රජු හොඳ යැයි කියන තැනට සිංහල මිනිසුන් ද පත්වූහ.
දැන් සිරිනාගගේ අගය එළාර මහ රජුට වඩාත් දැනෙයි. ඔහු මහ සෙනෙවි තනතුරට නොව පුරෝහිත
තනතුරට සුදුසු ය යන්න එළාර රජුගේ හැඟීම විය. ඔහු පැමිණි වහාම යුද්ධ මණ්ඩලය කැඳවා
ඔහු වෙනුවෙන් සම්මානයක් පිරිනැමීම රජුගේ අදහස විය.
තුණ්ඩිල තමාගේ බෑණා කෙනකු වුව ද, ඔහු තමන්ගේ රාජකාරී කටයුතු පිළිබඳ අවබෝධයකින්
තොරව, බොළඳ හැසිරීම් ඇති තැනැත්තකු බව, දීඝාභය වෙතින් දැනගත් ඛඤ්ඡදේව පිළිබඳ
පුවතින් අවබෝධ කළ රජතුමා ඔහුට දඬුවම් වශයෙන් රාජ සභාවට ඒමත්, යුද්ධ මණ්ඩලයට
පැමිණීමත් තාවකාලිකව තහනම් කළේ ය.
කසාතොට දී ඛඤ්ඡදේව හා දාඨාසේන විසින් දීඝජන්තුට භාර දෙන ලද සිරිනාග, රාජ සභාවට
කැඳවාගෙන යාම මහ සෙනෙවිගේ අදහස වුව ද මානසික විවේකයෙන් දවසක් හෝ ගත කර රජතුමා හමු
වී එයින් පසුව රාජ සභාවට පැමිණීම සිරිනාගගේ කැමැත්ත විය.
- අයන්ති විතාන |