Print this Article


මහා සංස්කෘතික දායාදයක ඉතිහාස කතාව

මහා සංස්කෘතික දායාදයක ඉතිහාස කතාව

සම්බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර 236කට පසු ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දහ අට වැනි වර්ෂයේ දී මෙන්ම දෙවැනි පෑතිස් රජුගේ පළමු රාජ්‍ය වර්ෂයේ දී මිහිඳුු මා හිමියන් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කරන ලදී . එම උතුම් සිදුවීම් මුල් කර ගනිමින් පසු කලෙක පොසොන් පොහොය උත්සවශ්‍රීයෙන් සලකන්නට යෙදුණි. මහින්දාගමනය තුළින් ලක්දිව ආර්ථිකය, රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, කලා ආදී බහුවිධ අංශයන්ගෙන් වෙනස්වීමකට ලක්වීය . එසේ සිදු වූයේ මිහිඳු හිමියන් සමඟ මෙරටට දායාද වූ දායාදයන් නිසාවෙනි .

පෙරහර යන ශබ්දාර්ථය, පරිහාර යන ශබ්දයෙන් බිදී ආවක් බව සැලකිය හැකි ය. “මෙම වචනය සදහා නොයෙක් අර්ථ පාලි ග්‍රන්ථයන්හි යෙදී ඇත. හාත්පස වටකොට කරන අවධානය, සැලකිල්ල, ගෞරවය, රැක බලා ගැනීම, වරප්‍රසාදය, උදාරත්වය යන අර්ථ එයින් සමහරකි .” මෙසේ අර්ථ විවරණය වන පෙරහර සංකල්පයෙහි ආරම්භය ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසව සිටි අවධිය දක්වා දිවෙයි . පෙරහර වනාහි එතරම් ඉතිහාසයක් සහිත සංස්කෘතික සංකල්පයකි. එහෙත් ශ්‍රී ලංකාවට නිශ්චිතව ම පෙරහර සංකල්පය දායාද වූයේ කවරදාක දැයි නිගමනය කළ නොහැකි ය.

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම, ධාතූන් වහන්සේ වැඩමවීම ආදී බොහෝ ආගමික වටිනාකම් සිදු වූයේ මහින්දාගමනයත් සමඟිනි. ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම වනාහි උත්සවශ්‍රීයෙන් හා මහත් පෙරහරින් යුතුව සිදු කෙරුණු බව මහා වංශය සඳහන් කරයි. දඹකොළ පටුනෙහි සිට අනුරාධපුරය අතර මඟ දෙපස අලංකාර කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහත් පෙරහරින් වැඩම කර වූ බව එහි සඳහන් ය. “ සුදු වැලි අතුරුවා නා නා විධ ධජ පතාකාදියෙන් සරසා තිබුණු මහ මඟින් බෝධීන් වහන්සේ වැඩහිඳීම ආදියෙන් පරිභෝග කළ ස්ථානයන්හි ද, තිවක්ක නම් බ්‍රාහ්මණයාගේ ගම් දොර ද මහ බෝධීන් වහන්සේ වඩා හිඳුවා රෑ දහවල් දෙක්හි පුද පූජා පවත්වමින් අනුක්‍රමණයෙන් ගොස් තුදුස්වක් දින අනුරාධපුර සමීපයට බෝධීන් වහන්සේ වැඩමවා, සවස් කාලයෙහි උතුරු දොරටුවෙන් පුරයට ඇතුළු කළේ ය.... සුමන සාමණේරයන් වහන්සේගේ වචනයෙන් මොනවට සරසන ලද පූර්ව බෝධීන් පිහිටි ස්ථානයට පෙරහර පැමිණි පසු රජතුමා එහි බෝධිය පිහිටවනු වස් අතින් තොර කළේ ය. ”යනාදී වශයෙන් මහා වංශයෙහි පැමිණෙන විස්තරය මහින්දාගමනයත් සමඟ ඇති වූ ආගමික ප්‍රබෝධය මෙරට පෙරහර මංගල්‍යයට මඟ සකස් කළ වගට ඉඟි කරයි. මෙකී සියලු විස්තර සිංහල මහාවංශයෙහි පැමිණෙයි .

වල්පොල රාහුල හිමියන් විසින් රචිත ලක්දිව බුදු සමයේ ඉතිහාසය නම් ග්‍රන්ථයෙහි පැවසෙන පරිදි “මහසෙන් පුත් සිරිමෙවන් රජ තෙමේ මිහිඳු මා හිමිියන් නමිින් අලුත්

පූජෝත්සවයක් ආරම්භ කළේ ය. ඔහු උන්වහන්සේගේ ශරීර ප්‍රමාණයට රන් පිළිරුවක් කරවා වප් මස පුරපස සතවක දා මිහින්තලා අඹතලා වෙහෙරට වැඩම කරවීය”

ආදී වශයෙන් විස්තර වන එම දිගු විස්තරවලට මෙන්ම, පුරාණ මූලාශ්‍ර සාක්ෂි දරන අන්දමින් කිත්සිරිමෙවන් රජ දවස අනු බුදු මිහිඳු හිමියන්ට ගෞරවය පිණිස පෙරහර මංගල්‍යයක් පවත්වා තිබේ.

ධාතූන් වහන්සේ මූලික කර ගත් පුද සිරිත් ඇසුරක් ලක්දිවට ලැබුණේ ධාතූන් වහන්සේ දඹදිව සිට ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුවයි. එය ද මහින්දාගමනයෙන් ලක් සංස්කෘතිය දිනා ගත් බුහුමනකි. කෙසේ වෙතත් ධාතූන් වහන්සේට ගෞරව දැක්වීම පිණිස විශේෂ පෙරහර මංගල්‍යයක් පැවැත්විණි.

“දඹදෙණියට වැඩමවීමට විධි විධාන සැලසීය. පළමුවෙන්ම එතුමා පස් යොදුන් පමණ මහමඟ සමතලා කරවා එහි අඩ යොදුනක් අඩ යොදුනෙහි විසිතුරු නවාතැන් පළවල් එක එක කරවීය.... මාර්ගය පිළියෙල වූ ඉක්බිති ධාතූන් වහන්සේ විසිතුරු මහා රථයක වඩා හිඳුවා පෙරහරින් වැඩමවන ලදි”

විජයබාහු රජතුමා විසින් කරන ලද පෙරහර පිළිබඳ සිංහල මහා වංශයෙහි ගුණපාල සංස්කරණයෙහි උක්ත සඳහන් පැමිණීම තුළින් කරුණු සනාථ වේ. මෙකී ධාතු පෙරහර අභිවර්ධනයක් ලෙසින් අදටත් මහත් හරසරින් ක්‍රියාත්මක වන දළදා පෙරහර ද ධාතූන් වහන්සේ ගේ වැඩමවීම හේතු කර ගනිමින් ලක් සංස්කෘතියට දායාද වශයෙන් සපැමිණි සංස්කෘතිකාංගයකි. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමෙන් අනතුරුව දඹකොළපටුනේ සිට අනුරාධපුරය දක්වා මහත් පෙරහරින් වැඩම වූ බව වංශකතා සාහිත්‍යය සාක්ෂි දරයි .

ලාංකීය සභ්‍යත්වයේ බෞද්ධ ආගමික වටිනාකම මුළුමනින් ම රඳා පවතිනුයේ ඉහත සඳහන් කරන්නට යෙදුණු ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දළදා වහන්සේ, ධාතූන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේ කරන ලද සේවාව මතයි.

මෙකී සියලු වටිනාකම් ලක්වැසියන් සතු වන්නේ මිහිඳු මා හිමියන් ගේ ධර්ම ප්‍රචාරණ සේවයේ අනභිබවනීය ප්‍රතිඵලයක් වශයෙනි. එකී බෞද්ධාගමික හර පද්ධතීන් කෙරෙහි ගෞරවය සාධනය කරනු වස් ලක්දිව බෞද්ධ ආගමික පෙරහර සංකල්පය ක්‍රි.පූ 3 වැනි සියවස මහින්දාගමනයට සමගාමිව බිහිවුණැයි බොහෝ විද්වත් මතවලින් පැවසේ.

එහෙත් සිංහල රාජාවලියේ මුල පටන් ම විවිධ රජවරුන් විසින් ස්වකීය අභිමතාර්ථ සාධනය කර ගනු වස් පෙරහර සිදුකර ඇති බව ඉතාහාසය විමර්ශනය කරන විට පෙනී යයි .

විජය රජු විසින් පඬු රජුගේ දුව මහ පෙරහරින් මෙහෙසි තනතුරෙහි අභිෂේක ගැන්වූ බව ඉතිහාසයෙහි අවධාරණය වේ .

රජවරු විසින් තම බල පරාක්‍රමය විදහා දක්වනු පිණිස තම සන්නද්ධ බලකාය සාමාන්‍ය ජනතාව ඉදිරියේ ප්‍රකාශනයට ලක් කිරීම ද එකල පෙරහර ලෙස අරුත් ගන්වා ඇත. එහෙත් මිනිසාගේ අභ්‍යන්තරයට කිඳාබැස, ආගමික චින්තනය පුබුදු කරවන සුළු, උසස් මාධ්‍යයක් වශයෙන් පෙරහර මිනිස් ජීවිතයට බද්ධ කිරීම මහින්දාගමනයෙන් අප ලත් දායාදයක් වශයෙන් සඳහන් කළ හැකි ය.