Print this Article


ජීවිතයට වටිනාකමක් දෙන්නේ මෙලෙසයි

ජීවිතයට වටිනාකමක් දෙන්නේ මෙලෙසයි

අප්පසුතායං පුරිසො – බලිවද්දොව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඩ්ඪති

බොහෝ අය විවිධ දේ කථා කිරීමට දක්ෂ වෙති. එහෙත් තැනට සුදුසු ලෙස හරයක් ඇතුව කතා කරන්නේ කීයෙන් කී දෙනෙක් දැයි සිතා බැලීම වැදගත් ය.

වැඩකට නැති කතා පවත්වන වාචාලයා ප්‍රකට කරන්නේ තමන්ගේ ම නූගත්කමයි. එයින් ඔහු පිරිහීමට ද පත් වෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ ජීවත් වූවා ලාලුදායි නම් හිමිනමක්. මඟුල් ගෙදරට වැඩිය හොත් අවමඟුලක් වූ තැනකට සුදුසු ධර්මයක් දේශනා කරති. අවමඟුල් ගෙදරකට ගිය හොත් එහි දී දේශනා කරනුයේ මඟුල් ගෙදරකට සුදුසු ධර්මයකි.

අවස්ථාවෝචිත පරිදි යමක් ප්‍රකාශ කළ යුතු යැ යි උන්වහන්සේට වැටහීමක් නැත. මේ සිදුවීම නිමිති කොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථාවක් ඉහත දැක්වේ. තමන්ටත්, අනුන්ටත් හිත වැඩ සලසන්නා වූ, ධර්ම ශාස්ත්‍රාදිය නූගත් මනුෂ්‍යයා ඇට, මස්, නහර ආදියෙන් වර්ධනය වන්නා වූ ගොනකු සේ වැඩේ. එහෙත් ප්‍රඥාව නො වැඩේ. බුදුරජාණන් වහන්සේ එකී ගාථාවෙන් පෙන්වා දුන්නේ ඒ ධර්මතාවයි.

උපන් දවසේ සිට මනුෂ්‍යයාගේ පමණක් නොව සෑම සත්වයකුගේ ම ශරීර අනුක්‍රමයෙන් ලොකු මහත් වී වැඩෙයි. ඒ අන්දමට මීටර් ගණනින් හෝ කිලෝ ගණනින් කොපමණ දිග හෝ බර වැඩි වූ තරමින් කිසිවකු ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ නැත. මනුෂ්‍යයා ඇතුළු සෑම සත්වයන් ම උසස් තත්ත්වයට පත්වනුයේ ප්‍රඥාවෙන් වැඩි දියුණුව කටයුතු කිරීම නිසා ය.

ප්‍රඥාව යනු කුමක්ද? සමාජයේ බොහෝ දෙනා සිතනුයේ විද්‍යාව ඇතුළු විවිධ විෂයයන් පිළිබඳ උසස් දැනුමෙන් යුක්ත වුවහොත් ප්‍රඥාවන්තයකු වන බවයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයක් නොවේ. සෑම දෙයක් පිළිබඳ ගැඹුරින් නිවැරැදි අවබෝධයක් ලබා ගනී නම්, එය ප්‍රඥාවේ ලක්ෂණයයි. පජානනං පඤ්ඤා යනුවෙන් දැක්වෙන විග්‍රහයට අනුව යමක් පිළිබඳ ඉතිරි නොකොට සියල්ල මනාව දැන ගැනීම ප්‍රඥාවේ හොඳම ලක්ෂණය යි.

ධර්ම ග්‍රන්ථයන්හි ප්‍රඥාව අංශ ගණනකට බෙදා දැක්වෙයි. දහම් අසන අවස්ථාවෙහි කෙනකුට ඇතිවන නුවණ සුතමය පඤ්ඤා නමින් දැක්වෙයි. වැරැදි වැඩ කිරීම නුසුදුසුයැ යි සලකා කය – වචන දෙක හික්මවා ගෙන නුවණින් කටයුතු කිරීම සීලමය පඤ්ඤාව වශයෙන් දැක්වෙයි. එක් අරමුණක සිත පිහිටුවාගෙන වැඩි දියුණු කිරීම ඇතුළත් වන්නේ භාවනාමය ප්‍රඥා ගණයට ය. මේ අන්දමට ලෞකික ජීවිතයක් ගත කරන කෙනකු තමන්ගේ ප්‍රඥාව වර්ධනය කර ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කිරීමට පමණක් නොව ලෝකෝත්තර තත්ත්වයන් ද ලබා ගැනීමේ වාසනාව උදා කර ගනියි.

ජීවත් වන ඕනෑම කෙනකුට තමන්ගේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහාත්, ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාත් උපකාර වනුයේ ප්‍රඥාවයි. උපන් සෑම කෙනකුගේ ම ශරීරය විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් ද ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් හා දෙඅත්, දෙපා ආදි අවයවයන් ද දුබල වන විට නො සැලෙන හෙවත් කම්පා නොවන මනසක් ඇතිවනුයේ ප්‍රඥා බලය නිසා ය. කෙනකු තුළ ඇති ලෝභාදී කෙලෙස් මතුවන්නට නොදි අනුක්‍රමයෙන් විනාශ කරයි ද, ඒ සඳහා යෙදෙන නුවණ පඤ්ඤාසත්ත නමින් ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ. කෙලෙස් යටට ඔබා දා නැඟීසිටීමේ නුවණ පඤ්ඤාපාසාද ලෙස හැඳින්වේ. සත්වයා පිළිබඳ හරි දැකීමක් ලැබෙනුයේ පඤ්ඤා ආලෝකයෙනි. යම්කිසි කෙනකු තුළ හරි වැටහීමක් ඇතිකර ගැනීමට ශක්තියක් වේ ද එය පඤ්ඤාරතන වශයෙන් දැක්වෙයි.

කවර අන්දමකට ජීවත්වන පුද්ගලයාගේ ජීවිතය වඩා වටී දැයි දිනක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් විමසී ය. ප්‍රඥාවෙන් යුක්ත ව ජීවත්වීම ශ්‍රේෂ්ඨ යැ යි උන්වහන්සේ පෙන්වා දුන්හ.

මිල මුදල්, ගේ දොර, කණකර ආභරණ ආදියෙන් වටිනාකම් ඇතිකර ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා වර්තමාන සමාජයට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවන්තයකු වීමේ අගය සිහියට ගෙන කටයුතු කිරීමට දැන් කාලය උදා වී ඇත.