Print this Article


කෙලෙසද සෙට මරු නේති සිතන්නේ

කෙලෙසද සෙට මරු නේති සිතන්නේ

පමා බව නම් සිහියෙන් ජීවත් නොවීමයි. එය අප්පමාද යන පදය තුළ අන්තර්ගත කොට ඇත. අප්පමාද නොවිය යුත්තේ ලබා ඇති කෙටි කාලීන ජීවිතයත් සමඟ ය. වර්තමානයේ මිනිසකුගේ පරම ආයුෂ කෙටි වී තිබේ. එහෙමත් කෙනෙක් හැත්තෑවක්, හැත්තෑපහක් ආයු වළඳනු ඇත.

පමා වුවන් හා මළවුන් එක සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. “පමාදෝ මච්චුනෝ පදං” මියගිය මිනිසෙක් තුළ ප්‍රාණ වායුව නොමැත. ජීවිතේන්ද්‍රිය නොමැත. උෂ්ණය නොමැත. හරියට වියළී ගිය දර කඩක් හා බඳු ය. එලෙස ම ප්‍රමාද වූ පුද්ගලයා සිහි මුළාවෙන් චක්ඛු, සෝත, ඝාණ,ජිව්හා කාය යන පංචේන්ද්‍රියන් පිනවීමට ම උත්සාහවත් වෙති. කම් සැපතෙහි ම ඇලෙති. ගැටෙති. ඒ මතම ඇලී ගැලී විනාශ වෙති. කුසල් දහම් කිරීමට තබා ඒ පිළිබඳ සිතීමක්වත් ඔවුන් තුළ නොමැත. මරණය වැළැක්වීමේ පිළිවෙතට යොමු නොවුණවුන් ජාති, ජරා, ව්‍යාදී මරණාදී දුක් විඳිමින් ම මැරි මැරී නැවත නැවත සසර උපදිති.

අප ජීවත් වන්නේ පුංචි කාලයකි. එම පුංචි කාලයත් එදිනෙදා කටයුතු සඳහා වෙන් වීමේ දී අපට කම් සප විඳිමින් මේ බයංකර සසරෙහි සැපතක් ලැබිය හැකි ද? ඒ බව ප්‍රත්‍ය ශතකය තුළින් මැනවින් ඉදිරිපත් කොට ඇත.

මනුෂ්‍යයාට පරමායුෂ සියයෙක් වන්නේ ය. එයින් භාගයක් රාත්‍රීයේ දී ගෙවී යන්නේ ය. එයින් දෙභාගයක් බාල, මහලු, වයස් වන්නේ ය. අවශේෂ භාගය ද රෝග, පීඩා, වියෝ, දුක්, මරණ ආදියෙන් ගෙවී යන්නේ ය. එසේ හෙයින් චංචල වූ රළපතරක් මෙන් වසන සත්ත්වයාට සැපයක් නම් කොයින් ද?

ඉහත ශ්ලෝකයට අනුව තහවුරු වන්නේ සත්ත්වයාට පුංචි කාලයක් ගෙවීමට ඇති බැවින් එය සැපයක් සේ සිතීම අනුවණ ක්‍රියාවන් බවයි. අපට ඇති පුංචි කාලය තුළ සිහි නුවණින් ජීවත් වීමත්, පින් දහම් සිදු කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. එවැනි ජීවිත ගත කරන්නන් ප්‍රමාද වීම යන වචනයට හසු නොවෙති. ඔවුන් තම ජීවිතය තුළ ලද ජයග්‍රහණය පිළිබඳ නිරන්තරයෙන් සතුටු වෙති. එසේ නොකොට දුර්ලභ ව ලද මේ ජීවිතය කම් සැපයට ම යොමු කොට හිස් මිනිසෙක් ලෙස ජීවත් වී මිය යන්නේ නම් ඔවුන් ප්‍රමාද වූ ගණයට අයත් වන අතර ම, ඔවුනට උරුම වන්නේ ද නැවත නැවත මැරි මැරී ඉපදී සසර දුක් විඳීමට ය.

ඔවුන් පිළිබඳ හිතෝපදේශය තුළ ද පැහැදිලි කිරීමක් කොට ඇත

නූපන්, මියගිය, මෝඩ යන මොවුන්ගෙන් මුලින් කී දෙදෙනා උතුම් ය. අන්තිමයා උතුම් නොවේ. මුලින් කී දෙදෙනා වරක් දුක් ඇති කරති. අන්තිමයා වනාහි පියවරක් පියවරක් පාසා දුක් ඇති කරති.

මළ මිනිසා තුළ සජීවි බවක් නොමැත. ඔහු හරියට දර කඩක් බඳු ය. අතපය, කන්, නාසාදී, ඉන්ද්‍රියෝ ද ක්‍රියාත්මක නොවෙති. ඔහුට කළ හැකි දෙයක් නොමැත. මිනිසත්කමක් ලැබුව ද බොහෝ දෙනෙක් එහි වටිනාකම නොදනිති. එයින් නිසි ප්‍රයෝජන නොගනිති. පින්දහම්වල නොයෙදෙති. යුතුකම් ඉටු නොකරති. ධර්ම ඥානයක් ලැබීමට උත්සාහවත් නොවේ. එවැනි හිස් මිනිසුන් ජීවත්වුව ද මළවුන් හා සමාන ය. ඔවුන්ගෙන් අන්‍යයාට යහපතක් නොවෙති. මෙලොවට යහපතක් කර නොගන්නා ඔවුන් පරලොව දී සතර අපා දුක්වලට පැමිණේ.

මේ බව තේරුම් ගැනීම ඉතා වැදගත් වන්නේ ය. මේ යුගය තුළ ඉපදෙන සත්වයින් පින්වන්තයෝ ය. නමුදු ජීවිතවල වටිනාකම නොදත් බොහෝ දෙනෙක් සත්ව සමූහයාටත්. ස්වභාව ධර්මයාටත් අහිත පිණිස, අවැඩ පිණිස කටයුතු කරති. ධර්මානුකූල ව සිතීමේ දී කොතරම් බාධක සමූහයක් ඔස්සේ ද අපි මිනිසත් බවක් ලබා ඇත්තෙමු. ලෝවැඩ සඟරාවෙහි ඒ බව මනාව පැහැදිලි කොට ඇත.

“නොයෙක් සියලු සසර දුක් දුරුකර, නිසැකව ම නිවන් සිරි සැපත ළඟා කරන්නා වූ පින්, සියල් සතුනි කරන්න”.

එහෙත් පින්කම් කළ නොහැකි නොකල් අටකි. එනම් තිරිසන් බවය, පේ‍්‍රත විෂයය, දීර්ඝායුෂ ඇති දිව්‍ය නිකාය, පසල් දනව්වක ඉපදීම, දුස්ප්‍රාඥයකු වීම, මිත්‍යාදෘෂ්ටික වීම, අබුද්ධෝත්පාද කාලයක් වීම යන අට අෂ්ට දුෂ්ටක්ෂණ නොහොත් පින් කිරීමට නොහැකි අවස්ථා හා කාල වශයෙන් පැහැදිලි වේ.

එම අටට හසු නොවී මිනිසත් බවක් ලබා තිබීම දුර්ලභ කරුණක් සේ ම අප ලද වාසනා මහිමයකි. නමුදු බොහෝ දෙනෙක් එම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රායෝජන නොගනිති. ජීවත් වනවාට ජීවත්වීම, කම් සැපයට ම ගිජු වීම, අකාලයේ ජීවිතය විනාශ කර ගැනීම, පින් දහම් නොකිරීම යුතුකම් ඉටු නොකිරීම, මිනිසත්කමේ වටිනාකම තේරුම් නොගැනීම බොහෝ සත්වයෝ සිදු කරති. ඒ අනුව ඔවුන් ප්‍රමාදවූවන් ලෙස බුදුදහමේ පෙන්වා දී ඇත.

ජීවිතයක සැබෑ තත්ත්වය තේරුම් ගෙන ජීවත්වීම ප්‍රඥාවන්තයින්ගේ ලක්ෂණය යි. දුෂ්ප්‍රාඥයින් නිතරම සිය නුවණින් කටයුතු නොකොට මැරි මැරී සසර උපදිති. ඔවුන් සසර ජය ගැනීමට අපොහොසත් වෙති. එබැවින් සියල්ලෝ ම සිතට ගෙන අද අදම පින් කර ගත යුතු ය.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැළි වන්නේ

මරු එන බැවින් අද අදම පින් කර ගන්න. සෙට මරණය නොවන්නේ යැයි සිතන්නේ කෙසේද? මහා සේනාවක් ඇත්තා වූ මාරයාට ඇප වන්නේ කවර කාලයෙහි ද? එබැවින් කුසලට කම්මැලි වන්නේ කුමකට ද?

ඒ අනුව අප නිරන්තරයෙන් සිතිය යුත්තේ මාරයා අප සමඟ නිතර වසන බව ය. මොන තරම් මිනිස් බලය, ධන බලය, අවි ආයුධ බලය තිබුණ ද ඒ කිසිවක් මාරයාට අදාළ නැත. තාප්ප පිට තාප්ප බැඳ සිටිය ද සෑම දෙනෙක් ම මාරයාට වසඟ ව ඇත. අප ළඟ සිටින්නේ දූදරුවන්, මව්පියන්, ස්වාමි භාර්යාවන්, ඥාතිමිත්‍රාදීන් නොව සත්‍ය වශයෙන් ම අප ළඟින්ම සිටින්නේ මාරයා පමණි. අප මාරයා විසින් රැගෙන යන කල්හි කවුරු සිටිය ද වළක්වා ගැනීමට නොහැකි ය.

කෙටි කාලයක් තුළ ජීවත් වුව ද මළවුන් ලෙස ජීවත් නොවී සැබෑ මිනිසකු ලෙස ජීවත්වීම ඉතා වැදගත් වේ. මිනිසත්කමේ වටිනාකම හඳුනා ගත යුතු ය. කරුණාව, දයාව, මෛත්‍රිය වැනි මානුෂික ගුණාංග වර්ධනය කළ යුතු ය. නැති බැරි අයට උදව් උපකාර කිරීම, වැඩිහිටියන්ට ගරු සත්කාර දැක්වීම වගේම සැලකීම, කෘතගුණ සැලකීම, මව්පියන් පෝෂණය කිරීම, රටට දැයට සේවයක් කිරීම, යහපත් චරිත වර්ධනයක් ඇති කර ගැනීම ආදි දේ සිදු කළ යුතු ය. ලද සෑම මොහොතකම පින් කළ යුතු ය.

සොබාදහමට ආදරය කිරීම, සතා සිව්පාවුන්ට ආදරය කිරීම අද මිනිසුන් අතින් දුරස් වී ඇත. මිනිසා “සක්කාය දිට්ඨිය” නොහොත් ආත්ම සංකල්පය මත ම ඉඳිමින් තම තමන් ගැන ම සිතීමත්, තමන්ගේ අය ගැන පමණක් සිතීමත් අයුක්ති සහගත ක්‍රියාවකි. ඒ තරමට ම අද මිනිසත්කම පිරිහී ගොස් ඇත. බුදුරදුන් ආදර්ශයෙන් ම පෙන්වා වදාළ පරාර්ථකාමිත්වය වර්ධනය කිරීම අද අද ම කළ යුතුව ඇත. මුළු විශ්වය ම හසුවන අයුරින් මෛත්‍රිය ප්‍රගුණ කරමින් එය විශ්වයට ම පැතිරවීමට හොඳ මානසිකත්වයක් ඇති කර ගත යුතු ය. එවිට සුවඳ හමන මල් සේ මිනිසත්කමේ සැබෑ තත්වය ඉස්මතු වනු ඇත. එවැනි අය මිය ගිය ද ජීවත් වන්නවුන් ලෙස අන් හදවත් තුළ සදා අමරණීය වනු ඇත.