දරුණුතම දඬුවමක්
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි කාලයේ සිදු වූ සිදුවීමකි. අශ්වයන් මනා කොට
හික්මවන කේසී නම් තරුණයෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියා. උන්වහන්සේට
වන්දනා කොට මෙසේ කියා සිටියා.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිළිබඳ මම අසා තිබෙනවා. ඔබ වහන්සේ බැහැදැක
වන්දනා කරන අරමුණෙන් මම පැමිණියා.
“ඔබගේ නම කුමක්ද?”
“ස්වාමීනී මගේ නම කේසී. කේසී අස්සදම්මසාරථි” මම කෝසල ජනපදයේ සිට ඔබ වහන්සේ මුණ
ගැසීමට පැමිණියෙමි.
“කේසී ඔබ අශ්වයන් හීලෑ කිරීමේ සමර්ථයෙක් ලෙසයි ඔබගේ නාමයෙන් හැඟෙන්නේ?
“එසේය ස්වාමිනි, මම අශ්වයන් දමනයට ඉතා සමර්ථයෙක්. රජතුමාගේ අශ්වයන් පවා මම මනා කොට
හීලෑ කරනවා.”
“කේසී ඔබ හීලෑ නො වූ අශ්වයකු මුලින් ම හීලෑ කරන්නේ කොහොමද?”
“ස්වාමීනි හීලෑ බවට පත් නොවූ තරුණ අශ්වයකු හීලෑ කිරීමට මම ඉතා මෘදු මොළොක්
පිළිවෙලක් අනුගමනය කරනවා. ඒ ක්‍රමයට හීලෑ කිරීමට නො හැකි අශ්වයන් ඊට වඩා තද පරුෂ
ක්‍රමයටත් හීලෑ කරන අවස්ථාවන් තිබෙනවා.
“කේසී එසේ තද පරුෂ ආකාරයට හීලෑ කළ නොහැකි අශ්වයෙක් ඔබට ලැබුණොත්?”
“ස්වාමීනි එවිට මම ඉහත ක්‍රම දෙකම අනුගමනය කර අශ්වයා හීලෑ කිරීමට උත්සාහ කරනවා.”
“කේසීය, ඉතින් ඔබේ අශ්වයා එම ක්‍රම දෙක අනුව ද හීලෑ කිරීමට අසමත් වුවහොත් ඔබ
අනුගමනය කරන ක්‍රියා මාර්ගය කුමක් ද?”
“භාග්‍යවතුන් වහන්ස, ඒ ක්‍රියා පිළිවෙත් දෙක අනුව අශ්වයා හීලෑ කිරීම අපහසු නම්
හාත්පසින් ම වෙනස් ක්‍රියා පිළිවෙතක් මම අනුගමනය කරනවා.”
“කුමන පිළිවෙතක් ද කේසී”
“මාගේ ආචාර්ය පරම්පරාවට අපකීර්තියක් වීමට ඉඩ දිය නොහැකි නිසා ස්වාමීනි මම එම අශ්වයා
මරා දමනවා. එයයි මම අනුගමනය කරන පිළිවෙත”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම අශ්වදම්මසාරථි යනුවෙන් හඳුන්වන්නාක් මෙන් ඔබ
වහන්සේ ද, පුරිසදම්මසාරථි නමින් හඳුන්වන බව මම අසා තිබෙනවා. මම අශ්වයන් දමනය කරන
අයුරු ඔබ වහන්සේට පැවසුවා. ස්වාමීනි ඔබ වහන්සේ පුරුෂයන් දමනය කරන අයුරු මට පැහැදිලි
කර දෙනු මැන.”
“හොඳයි පින්වත, මම පැහැදිලි කර දෙන්නම්. කේසීය, මම ද ඔබ මෙන් ම මෘදු මොළොක් වචනයෙන්
පුරුෂයන් දමනය කරමි. එසේ ම තද පරුෂ භාවයෙනුත් දමනය කරන්නෙමි. මෘදු මොළොක් බවින් සහ
තද පරුෂ බවින් ද පුරුෂයන් දමනය කරන්නෙමි.”
“භාග්‍යවතුන් වහන්ස, මම අසා තිබෙනවා ඔබ වහන්සේ ආලවක නම් රුදුරු යක්ෂ සේනාධිපතියා
මෘදු මොළොක් වචනයෙන් ම දමනය කළ බව.”
“කේසිය එය එසේයි. මෘදු මොළොක් ව පුරුෂයන් දමනය කිරීමට මම මෙබඳු ක්‍රියා පිළිවෙත්
අනුගමනය කරමි. මම ඔවුනට අනුශාසනා කරමි. “පින්වත කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ
සුචරිතය යුක්ත වුවහොත් මෙබඳු ආකාර යහපත් විපාක අත් කර ගත හැකි ය. දෙවියොත් එලෙස
සුචරිතයෙන් යුක්ත වන්නාහ. මනුෂ්‍යයෝත් ඒ අයුරින් සුචරිතයෙන් යුක්ත වන්නාහ” යන මේ
ආකාරයට කරුණු පහදා දෙමි.”
“ස්වාමීනි ඔබ වහන්සේ තද බවෙනුත් මිනිසුන් දමනය කරනවා ද?”
“පින්වත් කේසී, කාය දුෂ්චරිතය, වාග් දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය මෙසේ වන්නේ ය. එයින්
ලැබෙන විපාකත් මෙසේ වන්නේ ය කියා මම පැහැදිලි කර දෙනවා.”
“ඉදින් ස්වාමීනී යම් හෙයකින් ඔබ වහන්සේ වදාළ ක්‍රම තුනෙන් ම දමනය කිරීමට නොහැකි
වුවහොත් ඉන් පසුව ගන්නා පියවර කුමක් ද?”
“එසේනම් කේසීය, මම එම පුරුෂයා මරා දමනවා”
“තථාගතයන් වහන්ස, ඔබ වහන්සේ මේ කුමක් වදාරන්නෙහි ද? බුදු බව ලැබූ උතුමන්ට
ප්‍රාණඝාතය කැප නැහැ නොව.”
“පින්වත් කේසී, එය සත්‍යයයි. ඉහත සඳහන් කළ ක්‍රම තුනෙන් ම එම පුද්ගලයා හදා ගැනීමට
නො හැකි වුවොත්, හික්මවාගත නොහැකි වුවහොත් මම ඒ පුද්ගලයාට තව දුරටත් අවවාද නොකරමි.
අනුශාසනා නොකරමි. ඔහු අවවාද අනුශාසනා නොකළ යුත්තෙක් වශයෙන් සලකා අතහැර දමමි. ඔහු
ආශ්‍රය කරන අනෙකුත් බුද්ධිමත් පිරිස ද අවවාද අනුශාසනා නොකළ යුත්තකු වශයෙන් සලකා ඔහු
අතහැර දමනු ඇත.
පින්වත, මම සහ මගේ ශ්‍රාවකයන් විසිනුත් කෙනකු වෙන් කිරීම, කොන් කිරීම, අවවාද නොකර
අත් හැරීම ආර්යය විනයට අනුව මරා දැමීමක් වශයෙන් සැලැකෙයි. එය ආර්ය විනයට අනුව දිය
හැකි බරපතලම දඬුවම වෙනවා.
“ස්වාමීනි, එසේ ය, මට වැටහුණි. ස්වාමිනි යටිකුරු කළ දෙයක් උඩුකරු කළ නියාවෙන්,
අඳුරෙහි සිටියට පහනක් දැල් වූ නියාවෙන්, දෙනෙත් නොමැත්තකුට දෙනෙත් ලද නියාවෙන්
සියල්ල පැහැදිලි කර ගතිමි. ස්වාමිනී, මම දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු
බවට පත් වන්නෙමි.
නයනා නිල්මිණී |