Print this Article


සසර බියකරුයි පාපයෙන් වළකින්න

සසර බියකරුයි පාපයෙන් වළකින්න

රජගහනුවර වේළුවන විහාරය අසල චුන්දසූකරික නම් උරු වැද්දෙක් විසීය. ජීවිතය ම පාපාකාරීව ගෙවූ ඔහුගේ ජීවනෝපාය වූයේ ඌරු මස් වෙළෙඳාම ය. ඌරන් ඇති කොට විකුණා ලැබෙන මුදලින් ගේ දොර කටයුතු කරගත් ඔහු ඉතිරි මස් ආහාරයට ගත්තේ ය. ඌරු කොටු සාදා තිබුණේ ද ඔහුගේ නිවසේ ම ය. ඌරන් මරා මස් විකිණීමත්, ඒ මස් තම අඹු දරුවන් සමඟ උයා පිහා ආහාරයට ගැනීමත් දිනපතා සිදු විය.

ඌරකු මරණයට පත් කිරීමට පෙර එම ඌරා කණුවක ගැට ගසා ඒ සතාගේ ශරීරයේ මස් ඉදිමීමට මෙන් ම එම මස් ඝන කිරීම සඳහා ශක්තිමත් දණ්ඩකින් පහර දෙමින් ශරීරය තලයි. ඒ සතා ශාරිරික වශයෙන් මහත් වේදනාවක් විඳියි. කටාරමක උණු කළ උණු ජලය ලෝහමය හැන්දකින් ගෙන සතාගේ මුව ඇර ඊට වත් කරයි. ලෝදිය හා සමාන එම උණු ජලය ඌරාගේ කුස තුළට වැටී කුස තුළ ඇති මළ පහ සෝදාගෙන අධෝ මාර්ගයෙන් නික්මේ. ඉන් පසු ඌරාගේ සම පහසුවෙන් ගලවා ගැනීමට ඒ උණුජලය ම ඌරාගේ පිට මතට වත් කරයි. මේ ආකාරයෙන් අපමණ වේදනා, වද දී ඌරා මරණයට පත් කරයි.

තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වේළුවන විහාරය අසල චුන්දසූකරික තමාගේ මේ වෙළෙඳාම සිදු කරයි. තෙරුවන් වැඳීම පිදීම සඳහා බොහෝ උවසු උවැසියෝ උදේ සවස වේළුවනාරාමයට පැමිණෙති. සිල් රැකීම් ද දන් පිදීම් නිතර ම සිදු කරයි. මේ කිසිවක් චුන්දසූකර නම් සලකන්නේ නැත. දහමට, පිනට ඇදී යන ජනයා චුන්දසූකරිකගේ දෑසට පෙනී පෙනීත් ඒ ගැන සිත් යොමු නො කරයි. වේළුවනාරාමයෙන් ඇසෙන පූජා හඬ පවා ඔහුගේ කනට අමිහිරි ය. පනස් පස් වසරක් පවෙහි නියැළී ජීවත් වූ චුන්දසූකර ඒ පව්කාර ජීවිතයෙන් එක දවසක් හෝ නො මිදුණේ ය. ඔහු එම පවින් මුදා ගැනීමට ද කිසිවකුට නො හැකි විය.

චුන්දසූකරික රෝගාතුර විය. රෝගය දිනෙන් දින උත්සන්න විය. තමන් කළ දරුණු පව් සිහි විය. බියෙන් හට ගැනුණ වේදනාව ද, ශෝකය ද දරුණු බවට පත්වුණි. මේ ආකාරයෙන් දරුණු රෝගාබාධයන් සමඟ ම සිතෙහි ඇති වු නොයෙක් කරදර අතරතුර මරණයට ළං විය. ගති නිමිති පහළ වී අවීචි මහා නිරයට එළඹ සිටියේ ය.

චුන්දසූකරික දින ගණනක් පුරා නැඟූ වේදනාකාරී හඬ ඌරකුගේ වේදනා හඬ ලෙසින් ම නික්මේ. නිවැසියන්ට ද, අසල්වැසියනට ද මහා කරදරයකි. සත් දිනක් ම එසේ වේදනාකාරීව කෑගසමින් සිට මරණයට පත්ව අවීචි මහා නරකයේ උපත ලැබීය.

චුන්දසූකරගේ මරණය පිළිබඳ තථාගත බුදුරජාණන් වහන්සේට සැළ කළ අවස්ථාවේ දී උන්වහන්සේ මේ ආකාරයෙන් දේශනා කොට වදාළ සේක.

ඉධ සොචති පෙච්ච සොචති
පාපකාරී උභයත්ථ සොචති
සො සොචති සො විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨ මත්තනො

පව් කළ අය මෙලොවත් තැවෙයි. පරලොවත් තැවෙයි. අපායේ ඉපිද කම්පල වශයෙන් නිමක් නැති දුක් විඳියි.

මේ ආකාර වූ ජීවනෝපායන් තෝරාගන්නා අය අද ද නැතිවා නොවේ. එහෙත් ප්‍රාණඝාතයෙහි ආදීනව දරුණු ය. මෙවන් වූ පාප කර්මයකට ගොදුරුව අකුසල් රැස් කර, සතර අපායෙහි අවීචිය වැනි නරකයක ඉපදුණොත්, කල්ප ගණනාවක් අපමණ දුක් විඳින්ට වේ. නරක, තිරිසන්, පේ‍්‍රත අසුර නම් වූ සතර අපායේ ම බියකරු බව අපමණ ය.

අපි ඒ බියකරු සතර අපායෙන් ගැලවී මනුෂ්‍යයයන් බවට පත් වී සිටිමු. සම්මා සම්බුද්ධත්වය ලැබිය හැකි වන්නේ ද මනුෂ්‍යයකුට පමණි. උපතින් ලද ශරීර වර්ණය, කුලය, ජාතිය කුමක් වුවත්, දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබා තිබෙන්නේ නොවේ දැයි නිතර සිහිපත් කරමු. පවින් වැළකෙමු. දහම් මාවතට ම පිවිසෙමු.

පව් කළ තැනැත්තා මෙලොවත්, පරලොවත් දෙලොව ම සොවින්, දුකින් පෙළෙන බව නිතර සිහිපත් කරමු.