Print this Article


ගමයි පන්සලයි නිවනයි

ගමයි පන්සලයි නිවනයි

ඈත ඉතිහාසයේ සිටම ගමේ කේන්ද්‍රස්ථානය වූයේ ගමේ පන්සලයි. එය ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් එකට බැඳී පැවතුණි. මහජනතාව අතිශය ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිවුපසය ( චීවර/ පිණ්ඩපාත/ සේනාසන / ගිලානප්‍රත්‍ය) භික්ෂූන් වහන්සේට පූජා කරති.

භික්ෂූන් වහන්සේගෙන් ප්‍රත්‍යුපකාර වශයෙන් ධාර්මික ව ජීවත් වීමේ ක්‍රමවේද හා මව්පිය දූ දරු සබඳතාවේ වැදගත්කම ආදී සාරධර්ම පිළිබඳ දම් දෙසති. මෙම සම්බන්ධතාව කෙතරම් වටී ද, අගනේ ද කියා සිතා බැලිය යුතු ය.

ගමේ යම් කෙනකුට විපතක්, කරදරයක් සිදු වූ විට භික්ෂූන් වහන්සේ සෑමවිටම ආශිර්වාද හා අනුශාසනා කළහ. භික්ෂූන් වහන්සේ අසනීප වූ අවස්ථාවල ගිලන්පස, බෙහෙත් සත්කාර ගමෙන් නොඅඩුව සිදු විය. සනීපයට යෝග්‍ය පරිදි දානය සකස් විය. හැමවිටම සොයා බැලීම් කටයුතු ද සිදු කළහ. විහාරස්ථානයට, භික්ෂූන් වහන්සේට හදිසි විපතක් කරදරයක් සිදු වූ අවස්ථාවක ඝණ්ඨා නාදය ගැසූ කල ගමේ සියලු ම පිරිස එතැනට එක් රැස් වූහ.

මව්පිය සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවත් සියලු දෙනාම අතහැර දමා සිදු කරන ආගමික ශාසනික මෙහෙවර ( සේවය) උත්තරීතර පරාර්ථ සේවාවකි. හිතවත්, දායක පිරිසක් සිටිය ද ගමේ ම පිරිස දායක නාමයෙන් සැලකූහ.

පුරාතන යුගයේ පන්සලට වර්තමානයේ මෙන් නවීන පහසුකම් කිසිත් නොතිබුණි. එහෙත් ගම සහ පන්සල නොබෙදී ක්‍රමවත් ව රැකුණි. ජාති භේද, ආගම් භේද, කුල භේද, පක්ෂ භේද පන්සල තුළ අරක් ගෙන නොතිබුණි. සෑම දෙනාම උපරිම සහයෝගයෙන් , ශ්‍රද්ධාවෙන් කටයුතු කළහ. පන්සලේ වාර්ෂික ව සිදු කෙරෙන පින්කම් අතර ප්‍රධාන ම පින්කම කඨින පූජා මහ පින්කමයි. එය සෑම දෙනාගේ උපරිම සහයෝගය මැද සිදු කරති. මීට අමතරව විවිධ උත්සව, සමිති සමාගම්, ශ්‍රමදාන වැනි කටයුත්තක දී ලොකු කුඩා වැඩිහිටි සෑම දෙනාම සත්භාවයෙන් යුතුව එකතු වෙති. කටයුතු කරති. ගමේ සිදු වෙන ආගමික සමාජික හා සංස්කෘතික සියලුම කටයුතු විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙයි. දානමය පින්කම්, පිරිත් දේශනාමය පින්කම්, ධර්ම දේශනාමය පින්කම් බෞද්ධ නිවෙස්වල බහුලව දක්නට ලැබේ.

ගමේ සිදු වන අවමංගල කටයුතු මැනවින් ඉටු කරයි. එමෙන්ම උපතේ සිට ම ජීවිතයේ විවිධ සන්ධිස්ථානවල දී භික්ෂූන් වහන්සේගේ ආගමික සේවය විශේෂයෙන් අවශ්‍ය වේ. මෙහිදී ඉපදීමටත් ප්‍රථම ගැබ්බර අවස්ථාවේ දී සෙත් පිරිත් දේශනා කිරීම හා දරු ප්‍රසූතිය පහසු වීම නීරෝගි වාසනාවන්ත දරු උපතක් සඳහා අංගුලිමාල පිරිත දේශනා කරයි. දරුවා ලැබීමෙන් පසු පන්සල වෙත කැඳවාගෙන යයි. එහිදී දරුවාට සෙත් පැතීම සිදු කර ගනී. නම් තැබීම, ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, වැනි විශේෂ අවස්ථාවල විහාරස්ථානයේ ආශිර්වාදය, සෙත් පැතීම බලාපොරොත්තු වෙයි.

දරුවා ක්‍රමයෙන් වැඩිමේ දී ගෙදරට, ගමට, ප්‍රදේශයට හෙළ බිමට යහපත්, ප්‍රඥාවන්ත පින්බර දරුවෙක් කර ගැනීම සඳහා ගමේ පන්සලේ දහම් පාසලට භාර දෙයි. දහම් අධ්‍යාපනයෙන් පෝෂණය වූ දරුවා නිසි අධ්‍යාපනය ලබා කුමන හෝ වෘත්තියකට, ව්‍යාපාරයකට යාමට සූදානම් වෙන විට චරිත සහතිකය මෙන්ම පිරිත් නූල ද විශේෂයෙන් බලාපොරොත්තු වෙයි. විවාහ දිවියට එළඹීමේ දී දානමාන පින්කම් ආශිර්වාද පින්කම් සිදු කර සෙත් පැතීම ද පන්සලෙන් බලාපොරොත්තතු වෙයි.

මේ අයුරින් ජිවිත කාලසටහන ආගමානුකූලව පන්සලෙන් සිදු කර ගනී. ජිවිතයේ සැඳෑ සමය ළං වනවිට සියලු වගකීම්, බාහිර කටයුතුවලින් මිදී ආගමානුකූල පිළිවෙතක් අනුව පසුවීමට දාන, සීල, භාවනා ත්‍රිවිධ පින්කම්වලට විශේෂයෙන් කැප වෙයි. මේ භවය තුළ සිදු කළ යුතු පූණ්‍ය කර්ම, ද දූරු සබඳකම් සියල්ල නිමකර මිය යාමේ දී අවමංගල ආගමික වත් පිළිවෙත් විහාරස්ථානය මුල් වීමෙන් සිදු කර ගනී. මෙලොව පරලොව පිළිබඳ මෙනෙහි කරන සියලු දෙනාම පන්සල “ නිබ්බානං පරමං සුඛං” ( නිවන පරම සැපතයි) නිවන නිවීම දකින තැනක් සේ සිතූහ. කල්පනා කළහ. විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කරන මෙහෙවර සසර ගමන ආලෝකවත් කරන්නට හේතු වෙයි. දෛනික ජීවිතයේ දී එක්රැස් කරන සියලුම සම්පත්, මිල මුදල් එදිනෙදා ජීවිතයට පමණක් සීමා වෙයි. ඒවා තාවකාලික පැවැත්මක් පමණි. අවසානයේ දී ඒවා දැක කිසිසේත් සතුටු විය නොහැකි ය. අවසාන චුති චිත්තයේ දී ලෝභය ( ආසාව), ද්වේෂය( තරහව) , මෝහය ( මෝඩකම කුසල් අකුසල් නොදැනීම) අකුසල මූලයන් ඡවන් සිත් හරහා ගමන් කළහොත් සතර අපාය ( නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර) වැනි භයානක කටුක අමිහිරි ස්ථානවල ලක්ෂ කෝටි වාරයක් මැරි මැරි උපදියි. මේ බිහිසුණු ස්වභාවය භික්ෂූන් වහන්සේ නිරතුරුව ම ගමේ ජනතාවට දහම් කරුණු ඇසුරින් අතීත කතා උපමා කරමින් දම් දෙසූ සේක. නිවැරැදි ගමන් මාර්ගය පෙන්වූ අතර, වැරැදි ගමන් මාවතේ අයහපත් අකුසල විපාක ගැන ද අවබෝධයක් ඇති කරවී ය.

ශ්‍රී ලංකාවේ සැම ගමක ම විහාරස්ථානයක් දක්නට ඇත. ඒ සමඟ ම ඉරු දින දහම් පාසල් ද ඇත. ඉරුදින ද, උපකාරක පන්ති නිසා අධර්මයෙන් ළමා පරපුර මහා ආගාධයකට යොමු වී ඇත. දහම් පාසලක් ඇරඹීම සිරගෙවල් සියයක් වැසීමකි.

මේ අවාසනාවන්ත තත්ත්වයට විරාමයක් නැතිනම් දරුවන්ගේ සැලකුම් අහිමි වෙයි. එවිට ඔබට ද ජීවිතයේ සැදෑ සමයේ දී වැඩිහිටි නිවාසය, මහපාර, බස් නැවතුම්පල උරුම වෙයි.

ගම හදා රට හදමු යන සංකල්පයට අනුව මෙලොව සුබ සිද්ධිය වෙනුවෙන්, පරලොව සුබ සිද්ධිය වෙනුවෙන් ගමේ ලොකු කුඩා සෑම දෙනා ම සුමඟට ගැනීමේ ආගමික ක්‍රමවේදයක් ඇති කළ යුතු ය. දානය, සීල, භාවනාව යන යන ත්‍රිවිධ පින්කම් පුරුදු කිරීම හෙවත් එහි වැදගත්කම, දෙලොව ජය ගන්නා ආකාරය පිළිබඳ ආනිශංස දේශනා කිරීම එම පින්කම්වලට නැඹුරු කරවීමට උපදෙස් දිය යුතු ය.

පංචසීලය ජීවිත අත්තිවාරමකි. අත්තිවාරම සවිමත් නම්, චිර කාලයක් ස්ථාන ගොඩනැඟිලි පවතී. ජීවිත අත්තිවාරම සීලය නම් වේ. ධාර්මික දිවි පෙවෙත ඉතාමත් වැදගත් බව පන්සල තුළින් සාර්ථක ව පෙන්වා දෙයි.

අධාර්මික ව ධනය ඉපයීම හරි හම්බ කිරීම, මෙලොව පරිහානිය මෙන් ම පරලොව අපා දුකට හේතු වන බව අවබෝධ කරවයි. මෙලෙස පවුල් ඒකකය දැහැමිව, ත්‍යාගශීලිව කරුණාව, දයාව, මෛත්‍රියෙන් යුතු නිවැරැදි ආකාරයෙන් සකස් වන්නට පන්සලේ සම්බන්ධතාව බෙහෙවින් මහෝපකාරි වෙයි. ගම සහ පන්සල එකට බද්ධ වීම තුළ මව්පිය දෙපළ, දූ දරුවන් නිසි මඟ යහපත් ලෙසින් කළමනාකරණය වෙයි. බෝසත් පින්බර මිනිසුන්, දරුවන් හෙළබිම බිහිවෙයි.

මෙම එකමුතු බවේ අවසාන ප්‍රතිඵලය වූයේ, දැක්ම වූයේ, නිවැරැදි සාධු මඟකට බැසීම ය. එය සියලු දුක් සිඳ බිඳ දමා ලබන අමා නිවන් දොර ඇර ගැනීමයි.

මෙම දහම් කරුණු මැනවින් අවබෝධ කරගෙන ගමක ජීවත් වන්නේ කෙසේ ද? පන්සල නිවැරැදිව ඇසුරු කරන්නේ කෙසේද? අවසාන ප්‍රතිඵලය නිවන ලබන්නේ කෙසේද? යන නිවැරැදි අවබෝධය අද ලබාගෙන, හෙට දින සිට නොනිවෙන ආලෝකයක් සිය ජීවිතවල ඇති කර ගැනීමට උත්සාහ කරන්න.