Print this Article


පිරිහීමේ ඇරඹුම පිනට පමා වූ තැනමයි

පිරිහීමේ ඇරඹුම පිනට පමා වූ තැනමයි

අප බුදුරදුන් වැඩවසන කාලයේ සැවැත්නුවර අසල එක් ගමක ධනවත් පවුලක් විය. එම පවුලේ දරුවෙක් යහතින් වැඩුණේ ය. ඔහු ළමා වියෙහි සිට දහමට ලැදිවිය. මව්පියන්ගේ අවසර ලබා ගත් මෙම කුමරු පැවිදිව නිගම්මතිස්ස නමින් ප්‍රසිද්ධ විය.

පැවිදිව උපසම්පදාව ලබා ගත් නිගම්ම තිස්ස හාමුදුරුවන් ඉතා උනන්දුවෙන් පැවිදිව වත් පිළිවෙත් පිළිපදින්නට විය.

කෙසේ වුවද නිගම්මතිස්ස හාමුදුරුවන් සිය නෑදෑයන් වාසය කළ ගමෙහි පැවිදි ජීවිතය ගත කළේ ය. ලද දෙයින් සතුටුව අපිස් ගුණයෙන් විවේකී ව සිටීමේ අනුහස් දත් උන්වහන්සේ තම ගමෙහි පිඬු පිණිස සපයා ගත් ආහාරයෙන් සෑහීමට පත් විය.

කිසිවිටෙකත් මහ රජුන් හා සිටුවරුන් පුදන දානමය පින්කම්වලට සහභාගී නොවීය. එම නිසා භික්ෂූන් අතර උන්වහන්සේ ගැන නොයෙකුත් කතා ඇති විය. මහා දානයකට පවා නොයන බැවින් උන්වහන්සේට චෝදනා ඇති විය.

බුදුරදුනට නිගම්මතිස්ස හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ අසන්නට ලැබිණි. බුදුරදුන් නිගම්මතිස්ස හාමුදුරුවන් දහමෙහි ඉතා ලැදි බව ද, මාර්ගඵල ලබා ගැනීමට වෙර දරන බව ද දැන සිටි සේක. මේ නිසා නිගම්මතිස්ස හාමුදුරුවන්ගේ අභ්‍යන්තර ගුණයන් පිරිස අතර ප්‍රසිද්ධ කරවීම සුදුසු බව බුදුරදුන්ගේ අදහස විය.

දිනක් බුදුරදුන් නිගම්මතිස්ස හාමුදුරුවන් කැඳවා “දරුවා, තොප නෑදෑයින් ඇසුරේ කල් යවන්නේ දැයි” ඇසූහ. එයට පිළිතුරු දෙන නිගම්මතිස්ස හාමුදුරුවන් ඒ පිළිබඳ හරිහැටි නොදැන සිව් නෑදෑයන්ගෙන් ලැබෙන දන්වලින් යැපෙන බව ද කුලයට තමාගේ ඇල්මක්, බැඳීමක් නැති බව ද කියා සිටියේ ය.

බුදුරදුන් මෙම කරුණු මුල්කරගෙන අප්‍රමාද වූ තැනැත්තා ලොව්තුරා සුවයෙන් ගිලිහී යාම නොවන බවත්, මගඵල ලබා සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා ගන්නා බවත් වදාළ සේක. අප්‍රමාදයෙහි ඇලුන භික්ෂුව නොපිරිහෙන්නෙකි. හේ නිවන ළඟම සිටින්නෙකි.