Print this Article


උසස් පහත් බව තීරණය වන්නේ තමන්ගේ හැසිරීමට අනුවයි

උසස් පහත් බව තීරණය වන්නේ තමන්ගේ හැසිරීමට අනුවයි

බ්‍රාහ්මණයින් හඳුන්වා දෙන වර්ණ ධර්ම බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ දෙදරා යෑමට පටන් ගත්තේ ය. එම මිථ්‍යා දෘෂ්ඨික නිර්මාණවාදය බුදුරජාණන් වහන්සේගේ දෝෂ දර්ශනයට ලක් වූ ආකාරයත්, එය ප්‍රතික්ෂේප වූ ආකාරයත් ත්‍රිපිටක සාහිත්‍යයෙන් මැනවින් ප්‍රකට වේ. ඒ අතර අග්ගඤ්ඤ, චක්කවත්තී සීහනාද, අස්සලායන, අම්බට්ඨ,මධුර, වසල, වාසෙට්ඨ ආදී සූත්‍ර ඉතා වැදගත් වේ.

බුදුරදුන්ගේ දේශනය වූයේ, “අත්තාහි අත්තනෝ නාථො” යනුවෙන් තමාට පිහිට තමාම යන බව ය. පුද්ගලයා හා සමාජ සංස්ථාව කිසිවකුගේ මැවීමක් නොව කාලීනව හේතුඵලවාදීව ඇති වූවක් බව දී.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් පැහැදිලි වේ. එහි සාරාංශය වශයෙන් දැක්වෙනුයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වූ සත්වයෝ විශ්වයෙහි ප්‍රථම වරට පහළ වී රස පොළොව, බදාලතා, භූමි පප්පටක හා ස්වයංජාත සහල් ආදිය අනුපිළිවෙලින් ආහාර වශයෙන් ගනිමින් ජීවත් වූ ආකාරයකි.

එම සූත්‍රයේ ඓතිහාසික කතා පුවතට අනුව සත්වයාගේ සම්භවය සිදුවූ ආකාරයත් ක්‍රමයෙන් එය විකාශය වූ ආකාරයත්, දීර්ඝ ලෙස එම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත. එම පුරා වෘත්තය තුළින් බුදුරජාණන් වහන්සේ බමුණන් විවේචනයට ලක් කොට ඇත. බැමිණියක කුසින් උපන් පමණට ම බමුණකු නොවන බව මම කියමි යනුවෙන් සඳහන් කළ අතර, “යේ බ්‍රාහ්මණෙ බාහිත පාපධම්මා” යනුවෙන් යමෙක් පව් දුරු කළේ ද හෙතෙම බ්‍රාහ්මණයෙක් බව අවධාරනය කළහ.

එබැවින් බමුණන් මෙම මුසාවාදය ඔවුන් ඔවුනට කර ගන්නා පවක් හැටියට පෙන්වා දී ඇත.

උතුනී (මාසිකව ඍතු වෙන),ගබ්බනී (ගැබ් ගන්නා බව),විජයමාන (ප්‍රසූත කරන), පායමාන (කිරිපොවන) ආදී ක්‍රියාකාරකම්වලින් යුතු බැමිණියන් සිටියදී මහා බ්‍රහ්මයාගේ මුවින් බමුණන් උපන්නා බව කියන දෙය සත්‍යයක් ද යන්න දී.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් බුදුහිමි ප්‍රශ්න කොට ඇත.

තමා උසස් කොට සැලකීම, අනුන් පහත් කොට සැලකීම බමුණු ප්‍රතිපත්තිය යි. දී.නි. චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව කෙත් වතු මුල් කාලයේ පෞද්ගලික අයිතියට ගැනීම නිසා බිඳී ගිය සමානාත්මතාවය තුළින් ඇති නැති පිරිසක් බිහි විය. දුප්පත්කම එයින් ප්‍රකට විය. එය සමාජ ගැටලුවක් බවට පත්වී සමාජ විපර්යාසයක් ඇති විය.

දිළින්දන්ට ධනෝපායන මාර්ග අහිමි වීමෙන් දිළිඳුකම තව තවත් වැඩි විය, දිළිඳුකම වැඩි වීම නිසා හොරකමට පෙළඹුණි, හොරකම වැඩි වීම නිසා අවි ආයුධ බහුල විය, අවි ආයුධ වැඩිවීම නිසා ප්‍රාණඝාතය බහුල විය, ප්‍රාණඝාතය නිසා බොරු කීමත්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදී අමානුෂික සිතිවිලිත් සිත්වල හටගත්හ.

මෙම අවාසනාවන්ත සිදුවීම් දෙස එවකට බුද්ධිමතුන් අවධානය යොමු කොට යුක්තිය සාධාරණත්වය ඉටු කරන රජ කෙනකු පත් කර ගැනීමට සිතූහ. ඒ සඳහා දක්ෂ කාර්යශූර මනා පෞරුෂයකින් යුත් පුද්ගලයකු පත්කරගෙන ඔහුට සියලු වගකීම් හා බලතල පවරා ඔහු “මහා සම්මත” කියා (මහජන සම්මතයෙන් තෝරා) හඳුන්වන ලදී.

මෙම ක්‍රියා ඇති වීමෙන් බ්‍රාහ්මණ මතය තුරන් වී ගිය අතර නවතම බ්‍රාහ්මණ පිරිසක් බිහි විය. ඔවුන් සමාජයේ දූෂණ අපරාධ දැක කළකිරී වනගත වූ පිරිසකි.

ඉහතින් දක්වන ලද බ්‍රාහ්මණ වර්ණධර්ම බුදුරජාණන් වහන්සේ කරුණු කිහිපයක් ඔස්සේ ප්‍රතික්ෂේප කළ අයුරු පැහැදිලි වේ. එනම්,

ඓතිහාසික සාධක – (අස්සලායන, අම්බට්ඨ සූත්‍ර) ජීව විද්‍යාත්මක සාධක – (වාසෙට්ඨ සූත්‍රය) සමාජ විද්‍යාත්මක සාධක– (අස්සලායන සූත්‍රය) දේශපාලනික සාධක– (මධුර සූත්‍රය) ආචාර විද්‍යාත්මක සාධක – (වසල සූත්‍රය) මනෝවිද්‍යාත්මක සාධක – (මධුර සූත්‍රය) ආර්ථික සාධක – (මධුර සූත්‍රය)

මේ තුළින් ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක, ඓතිහාසික තොරතුරු පරීක්ෂා කර බැලීමෙන් වර්ණ ධර්ම බුදු රදුන් ප්‍රතික්ෂේප කළ ආකාරය මැනවින් ප්‍රකට වේ.

ජීව විද්‍යාත්මක ව බලන කල්හි සතා සිව්පාවුන් අතරත්, ගස් කොළන් අතරත් ප්‍රභේදයන් පවතී. අපාද, ද්වීපාද, චතුප්පාද, බහුප්පාද ආදි වශයෙන් සත්ත්ව කොටස් බෙදී ඇත. ම.නි. වාසෙට්ඨ සූත්‍රය මෙයට කදිම නිදසුනකි. එහි සඳහන් මේ ගාථාව තුළින් ප්‍රකාශ වන්නේ එයයි.

නයි, පොළොං, මාපිල්, පිඹුරු, යැයි උරග සත්ව ප්‍රභේදයක් ද, කපුටු, කුකුලු, පරවි, මයින ආදී පක්ෂී ප්‍රභේදයක් ද, බලු බළල් හස්ති සිංහ ආදී සිවුපා සත්ව ප්‍රභේදයක් ද, කුහුඹු, ගෝනුසු , පත්තෑ, ගරුඩ ආදි බහුප්පාද, සතත්ව ප්‍රභේදයක් ද දක්නට ලැබෙතුදු මිනිසාගේ එවන් ජාති ප්‍රභේදයක් දැක්වීමට උත්සාහ කිරීම මුළාවක් බව එම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත.

මේ අනුව, ගසක විවිධ ස්ථානවල හටගන්නා ගෙඩි එකම ස්වරූපයක් ගන්නා මෙන් මහා බ්‍රාහ්මයා මැවූ සමාජ සංස්ථා අතර ද කිසිදු ප්‍රභේදයක් නැති බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

වෘත්තීය අනුව ද මිනිසුන් වෙන් කිරීම බුදු දහම අනුමත නොකරයි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව වාසෙට්ට හා භාරද්වාජ භික්ෂු දෙනම මිනිසා කවර වර්ණයකට අයත් වුවත් දැහැමි වීමෙන් ශ්‍රේෂ්ඨ වන බව පිළිගනිති.

මේ අනුව දිළින්දා රජවීම, රජු දිළිඳු වීම කර්ම ශක්තිය අනුව සිදුවේ. යෝනම්බුජ ජනපදයෙහි ආර්ය දස්සු ප්‍රභේදය තදින් පැවතුණි. ඒ අනුව අද ආර්යයා හෙට දාසයකු විය හැකි සේ ම, අද දාසයා හෙට ආර්යයකු වීමට ද පුළුවන. මෙය සමාජ පරිනාමය බවත් පැහැදිලි වේ. රටක යුද්ධයක් ඇති වීමේ දී චතුරංගනී (ඇත්, අස්, රිය, පාබල) සේනාවට විවිධ කුලවලින් මිනිසුන් බඳවා ගන්නා බවත්, පළමුව සමඟියෙන් රියදුරන්, අරක්කැමියන්, සෙබලුන්, ආහාරපාන ගැනීම් කතා කිරීම් එකම වාහනවල විවිධ පිරිස් ගමන් යෑම් ආදිය සිදුවන බවත්, පන්ති භේදයක් එවන් අවස්ථාවල නොහැකි බවත් පැහැදිලි වේ.

දේශපාලනික නොහොත් ආචාර විද්‍යාත්මක වශයෙන් ගත් කල්හි ප්‍රධාන වශයෙන් කරුණු විග්‍රහ වන්නේ මධුර සූත්‍රය තුළිනි. වැරැදි කළ අයට දඬුවම් දීමේ දී කුල ක්‍රමය බලනොපාන බව ඉන් පැහැදිලි වේ. ආර්ථික සාධක ද එහි විග්‍රහ වේ.

පහත් කුලයක ඉපදී ධනවතෙක් වීමත්, උසස් කුලයක ඉපදී ධනවතෙක් වීමත් උසස් කුලයක ඉපදී නිර්ධනයකු වීමත් එහි ස්වභාවය යි. එයින් ද කුලය ප්‍රතික්‍ෂේප වේ.

කුසල් අකුසල් විපාක දීමේදී ද එහි කිසිදු භේදයක් නැත. මෙය මනෝ විද්‍යාත්මකව ද බලපාන සාධකයකි. ඒ අනුව ඉහත කරුණුවලට අනුව කුල ක්‍රමයේ නිස්සාරත්වයම පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම බ්‍රාහ්මණ කුලය බැහර කළ බවත්, එයට සාධක තුනක් බලපෑ බවත් පැහැදිලි වේ එනම්,

සිව් කුලයෙන් ම සසුන්ගත වීම, සපදාන චාරිකා ක්‍රමය, කුල ක්‍රමය නොසලකා තනතුරු දීම, ගිහි ගෙය අත්හැර ඕනෑම කෙනකුට පැවිදි වීමේ නිදහස තිබුණි.

සමාජයේ සෑම කොටසකට ම පැවිදි වීමේ නිදහස ලැබුණි. කොණ්ඩඤ්ඤ, වප්ජ, භද්දියත්, ක්ෂත්‍රිය වශයෙන් ආනන්ද, නන්ද, රාහුල, දේවදත්තත්, ක්ෂුද්‍ර කුලයෙන් සුනීත, සෝපාක පැවිදි කිරීමත් හා ඔවුන් සියල්ලෝ ම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ යන නාමයෙන් හැඳින්වීමත් මෙයට ඉදිරිපත් කළ කදිම උදාහරණයකි.

ගංගා, යමුනා, සරභූ, අචිරවතී මහී වැනි විවිධ ගංගා මුහුදට වැටීමෙන් එකම ලවණ රසයක් ඇතිවන්නා සේ ශාසනයට කවුරු පැමිණියත් ශ්‍රමණ නාමයෙන් හැඳින්වේ.

ගෙයින් ගෙට ගොස් කුලය ගැන නොතකා පිඬු සිඟා යෑමෙනුත් කුල ක්‍රමය ප්‍රතික්ෂේප වන බව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ නිදහස් චින්තනයත්, සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවත් මූලික වූ නිසා බමුණු මත බිඳ වැටුණි. ඒ සඳහා ආචාර විද්‍යාත්මක පැවිදි ක්‍රමය ඉතා වැදගත් විය.

ඓතිහාසික වශයෙන් ගත් කල්හි දී.නි. සෝණදණ්ඩ සූත්‍රයට අනුව බමුණන්ගේ සත්මුතු පරම්පරාවෙන් ම උභය කුල පිරිසුදු බව සඳහන් කරති. බුදු හිමි අංග ජනපදයෙහි සැරිසරමින් චම්පා පුරයට වැඩම කොට ඊට නුදුරින් තිබූ ගර්ගරා පොකුණ ළඟ සිටිද්දී එහි පැමිණි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා බුදුහිමිට පංචවිධ ගුණාංගයන් ගැන සඳහන් කරයි. එනම්,

සත්මුතු පරම්පරාවෙ ම මව්පිය දෙපසින් පිරිසුදු වීම, වේද වේදාංග හදාරන්නකු වීම, අතිශය රූප ස්වභාවයෙන් යුක්ත වීම, සිල්වතකු වීම, නුවණැත්තකු වීම ය.

සැබෑ බමුණකුගේ ලක්ෂණ මේවා කී කල්හි එය විහිලුවක් බව පැහැදිලි වේ. ලෝක ඉතිහාසයේ ඕනෑම ජාතියක් පවතින්නේ සම්මිශ්‍රණය වීමෙනි. සත්මුතු පරම්පරාවට ඉහත පැවතුණ ඔවුන්ගේ අපිරිසුදුකම පිළිබඳ ඔවුන් ඉදිරිපත් නොකරයි. ඒ අනුව ඔවුන්ගේ සම්මිශ්‍රණය ඔවුන් වක්‍රව පිළිගනු ඇත.

සෑම ජාතියකින් ම භින්න වූ උපජාති ලෝකයේ කොතෙකුත් දක්නට ඇත. එසේ නොපිළිගැනීම ලෝක ධර්මතාවයට ද, ඉතිහාසයට ද ඉඳුරා පටහැනි ය. සමස්තයක් වශයෙන් ගත් කල්හි උපතින් කිසිවකු බ්‍රාහ්මණයකු නොවන බවත්, ක්‍රියාවෙන් ම එය සිදුවන බවත් ඉහත කරුණු පරීක්ෂා කිරීම තුළින් අනාවරණය වේ.