Print this Article


පහන් සිතක කවි

ගුණ දම් සුරකිමු - බොදු සිත් සනසමු

තිසරණ සහිත දස ශික්ෂා රැක ගන්න
සිහියෙන් යුතුව සංයමයෙන් හැසිරෙන්න
ගුරු සිත නොරිදවා නැණ ගුණ වඩවන්න
දවසට තෙවරක් තෙරුවන් නමදින්න

පාත්‍රය ගෙන දනට වඩින්න
ගොටු අත්තෙන් හිස සෙවණ කරන්න
සිල් සුවඳින් ගත සුවඳ කරන්න
බොදු දනගේ සිත් සතුටු කරන්න

රස තණ්හා ඉවත දමමු
සිල්වත්කම අගය කරමු
පරහට ලෝ වැඩ සලසමු
සව් කෙලෙසුන් සිඳිමු බිඳිමු

****

කිඹුල්වත්පුර ගමන

සුපුන් මැදින් සඳකැන් සුදිලෙන නේක
මැදින් මහේ පුර පසළොස්වක් දාක
සඟුන් පිරිවරා ගුණයෙන් පරිපාක
බුදු හිමි කිඹුල්වත් පුරයට වැඩි සේක

පිය මහ රජුගෙ තුන්වැනි වර වැඳුම ලද
නෑසියො දැරූ දැඩි අභිමානය ද බිඳ
පෙළහර යමා මහ පාමින් අහස මැද
පුදුමයි දෙසූ හැටි බුදුහිමි අමත පද

විසිදාහක් අරහත් ධජ ලෙලදෙන
මොහොතක් වුණා
සවණක් ගණ සම්බුදු රැස්
තිලෝ තලේ බැබළුණා
ගිනි කඳ ජල කඳ පෙළහර දැක
මිහි කත සෙළවුණා
දෙවි බඹ සුර නර දෙව්සක්
සාධු නාද පැතුරුණා

****

කුසල් සිත් පහළ වේවා

බුදුහිමි පුදන්නේ අරගෙන සිත් සතුට
වැඳලා අහවරක් වන්නට පෙර වත් නොසිට
වෛරය ක්‍රෝධ මානය ගෙන පෙරටු කොට
ඇයි මේ ජීවිතය යන්නේ ප්‍රපාතෙට

කුල මානය තිබේ බොහො ජනයා අතරේ
පස් පව්වලින් පුරවා ජීවිත කතරේ
තෝරා ගන්න අපහසු වේ හොඳ මිතුරේ
දැනගෙන ගියොත් ජීවත් විය හැක කතරේ

හිතවත්කමට හිිටියත් බොහො ළඟ ඇසුරින්
දියුණුව දුටු විටදි වෙන් වෙයි අමනාපෙන්
ඇයි මිනිසුන් විඳවන්නේ වෛර කමින්
ජීවත්වීම වටිනව නොමැරී ඉඳුමෙන්

ආගම දහම සමහරු නැත පිළිගන්නේ
නැවත ඉපදීම නැත යැයි පවසන්නේ
බුදුන් දවස ඔය වගෙ අය සිටියානේ
කවදද සුගතිගාමී බව දැන ගන්නේ

නොසිතූ විලස මරනෙට අප ලක්වන්නේ
සමහරු ඇයිද ඒ ගැන දැන් නොතකන්නේ
පෙර පින් ඇති නිසා මනුසත් බව ලැබුණේ
කුසලේ බලය ඇයි මිනිසුන් නොසිතන්නේ

****

වෙසක් පොහෝදා

ලුම්බිණියේ
සාලවනේ
ඉපදී
වෙසක් පොහෝ දා //

සසර සරා
පෙරුම් පුරා
බුදුව ලොව්තුරා
වෙසක් පොහෝ දා //

හතළිස් පස්
වසක් පුරා
අමා දහම් බෙද බෙදා
පිරි නිවනට
හිමි වැඩියා
වෙසක් පොහෝ දා //

****

දෙව් ලොව ගිය කිරිවවුලන්

හරයක් නොදත් කිරිවවුලන් පන්සියයක්
මිහිරක් ලදුව සැදැහෙන් සදහම් පදයක්
වදයක් නොම නොවී සසරේ මහරු බියක්
හරයක් සේ ම පලදුනි දෙව්ලොව ගතියක්

පදයක් වුවත් සැදැහෙන් බුදුබණ පදයක්
ඇසුවොත් නොම දැනේ කිසිවිට සසර බියක්
වැඩුවොත් නිතර සිතතුළ බෝසත් ගතියක්
සග මොක් සුවය හැර කුමට ද අන් සැපයක්

****

ඉපදීම දුකකි

කැරකේවි ලෝ දහම රියසක ලෙසේ
ජීවිතය අනියතය මරණය ම වේ
ඉපදීම දුකකි සසරේ ම බියකී
කවදාක ගැලවේද මේ අඳුරු ලෝකේ
සංසාර ගමනේ නිම තාම නොපෙනේ
කොහේදී ද කොතැනේ ද නැත තාම දැනුණේ
ඉපදීම දුකකි
මරුවාගෙ වාසේ අවසාන ගමනේ
නොපෙනෙන මාවතක දිවි ගමන යෙදුනේ
ඝණදුරෙහි වෙළිලා ඇයිතාම පැටලී
සසරේ බැඳීලා බැම්මෙන් වෙළීලා
ගැලවීම කවදා ද ඇයි දෝ නොදන්නේ
සංසාර දුකකී බව ගමන දිගු වේ
විසඳන්න හැකි වේ ද ඉරණමක ගමනේ
ලෝ දහම කැරකේ රිය සක ලෙසේ
කර්ම විපාකේ ඵල දේ මෙසේ
ඉපදීම දුකකි

****

අනියත

ජීවන ආසා පොදි බැඳ ගන්නේ
සසරෙහි මඟ තව දික් කර ගන්නේ
ආසා සිඳ බිඳ මග ඵල යන්නේ
ඒ අය නිරතුරු බුදු බණ දන්නේ

ඇස කන නාසය දිව කය පිනවා
පුළුවන් කාලෙට හොඳහැටි නැටුවා
අඳවී බිහිරිව ජරාව ලැබුවා
තම කය තමා ම දුඟදින් පෙළුවා

ළමා වියේ මව්පිය සෙනෙහස මැද
තුරුණුවියේ සුන්දර සුව යහනද
මැදිවිය වනතුරු දරු සැලකිලි ලද
අවසන මහලුව මරු නොදකීව ද

දෙනෙතින් බැලුමුත් රූසිරි මන නද
දෙකන් පිනා ඇසු කන් කළු ගී නද
රසැති බොජුන් කා විලවුන් ගත වැද
පණ යන තුරු අප කරනා කෙළි වෙද

****

කුමටද ?

අගක් නැති
මුලක් නැති
සැපක් නැති
දුකම ඇති

දිරායන
ගලා යන
දැවී යන
ඉල්ප යන
රූපය ම

මම නොවන
මගෙ නොවෙන
මේ කයට
බැඳෙන්නේ කුමකට ද?
ඇලෙන්නේ කුමකට ද?