Print this Article


භයානක විපත් දෙන පාපී සිතිවිලි

භයානක විපත් දෙන පාපී සිතිවිලි

ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙන කාලයකි. දිනක් ස්වාමීන් වහන්සේ පිරිසක් උන්වහන්සේ වෙත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ අමතා හරි අමුතු කතාවක් කියා සිටියා.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අද අප මෙහි වඩින විට පිදුරු ගොඩකට ගිනි තබා තිබෙන ආකාරය දුටුවා. ඒ වෙලාවේ ම ඒ ගිනි ගොඩට උඩින් අහසේ කපුටෙක් පියඹා ගියා. එක්වරම අර ගිනිගොඩේ ඇවිලී තිබෙන පිදුරු කැබැල්ලක් අහසට ඇදී ගියා. ඒ සමඟම කපුටාගේ ශරීරයේ වැදුණා. අනේ බුදුරජාණන් වහන්ස, අප බලා සිටියදී ම ඒ කපුටා ගිනි ගන්නට පටන් ගත්තා. සම්පූර්ණයෙන් ම ගිනිගෙන දැවී ගියා. ස්වාමීනී අපට සිතා ගන්නට නොහැකි වුණේ සිදුවූයේ කුමක් ද කියා.

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එසේ ගිනි ගෙන මිය ගිය කපුටාගේ සසර කතාව දේශනා කොට වදාළා.

“පින්වත් මහණෙනි, මේ කපුටා බොහෝ ඈත කාලයේ මිනිස් ලෝකයේ ජීවත් වූ අයෙක්. ඔහු ගොවියෙක් ලෙසයි ජීවිකාව ගෙන ගියේ. දිනක් මේ මිනිසාගේ ගවයා කුඹුරට බැස මුළු ගොයම ම විනාශ කර දැමුවා. ඒ දුටු ගොවියාට ඉවසාගත නොහැකි කෝපයක් ඇති වුණා.

ඔහු ඉක්මන් තීරණයක් ගත්තා. නොසෙල්විය හැකි සේ ගවයාගේ අතපය බැඳ දැමූවා. ඌ සිර කර සිරුර පුරා පිදුරු දැමුවා. ගිනි තැබුවා. ගිනිගත් ගවයා වේදනාවෙන් කෑ ගැසුවා. අවසානයේ බොහෝ දුක් විඳ මිය ගියා.

එතැනින් ඒ කතාව අවසන් වුණා. එහෙත් කළ පාපය අවසන් වුණේ නැහැ.

කලකට පසු ඒ ගොවියා මිය ගොස් නිරයේ ඉපදුණා. නිරයේ විඳිය යුතු යම් දුක් ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ සියල්ලම ගෙවා දැමුවා. පසුව තිරිසන් ලෝකයට ආවා. ඒ ලෝකයේ උපදින හැම ආත්මයක ම ගිනිගෙන මිය යනවා. “පින්වත් මහණෙනි, මේ කපුටා ගිනිගෙන මිය ගිය පස්වෙනි ආත්මය මෙය යැයි” භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.

තරහ සිතිවිලිවල, පාප කර්මවල භයානක බව, දුක් සහිත විපාක සසර පුරා තමන් පසු පසම කරත්ත රෝදය සේ එන බව වටහා ගන්නට මේ පුංචි කතාව වුවත් ප්‍රමාණවත් නොවන්නේ ද?