Print this Article


දුටුගැමුණු මහ රජතුමා 65 කොටස:

දේශ විමුක්ති සටනට සියල්ල සූදානම්

නන්දිමිත්‍ර මඳ සිනා පෑවේ ය. සෙසු යෝධයන්ගේත් සෙනෙවිවරුන්ගේත් මුහුණුවල සිනා නැඟෙනු දුටුගැමුණු රජතුමා බලා සිටියේ ය. දස මහ යෝධයන්, සියලු සෙනෙවිවරු පැමිණ විහාර මහා දේවියට වැඳ නමස්කාර කර සිටියහ.

ජය ශ්‍රී! ජය ශ්‍රී! හඬ නැඟුණේ දුටුගැමුණු රජතුමාගේ මුවිනි.

යුද්ධය සඳහා දුටුගැමුණු රජතුමාත්, විහාර මහා දේවියත් පිටත් ව ගිය පසු මාගම රාජ්‍යයේ පාලනය සමන්තා කුමරියට පැවරීමට කවුරුත් කැමැති විය. එහෙත් සමන්තා, සීවලී, මහිලා යන සහෝදරියන් තිදෙනාම විහාර මහා දේවිය සමඟ යුද්ධයට යාමට කැමැත්ත පළ කළහ.

“එහෙමනම් අපි මාගම රාජ්‍යයේ සියලු කටයුතු කාම්බෝජ බ්‍රාහ්මණතුමාට පවරමු. යුද්ධ උපාය මාර්ග, උපදෙස් අපි එතුමාගෙන් හී පණිවුඩ මඟින් ලබා ගනිමු.” විහාර මහා දේවියගේ යෝජනාවට කවුරුත් කැමති වූහ.

“ගිරි රාජ්‍යයත් දැන් ප්‍රබල රාජ්‍යයක්. එය තව තවත් දියුණු කරන්නට ඕනෑ. අපට අවශ්‍ය ආහාර පාන මෙන්ම යුද අවි සැපයීමට ගිරි නුවරටත් පුළුවන්. ඒ නිසා ගිරි රාජ්‍යයේ පාලනය උත්තර මහ ඇමතිතුමාට පැවරෙනවා.”

ගැමුණු මහ රජතුමාගේ එම ප්‍රකාශයට කාගේත් අනුමැතිය හිමිවූහ. මහ ඇමැතිතුමා එම ඉල්ලීමට කැමැත්ත පළ කළේ ය.

“එකම මඟකින් නොගොස් කසාතොට දක්වා මාර්ග හතරකින් යාම නවාතැන් පහසුකම් සඳහා වැදගත් වන බව දාව ආචාර්යතුමාගේ අදහසක්.” වේළුසුමන කීවේ ය. “ඔව් ඒ අදහස හරි. ගුත්තාහල සිට කසා තොට දක්වා මාර්ග හතරකින් යාමටයි අපේ ගමන් මාර්ගය සැලසුම් කොට ඇත්තේ. මහ ඇමතිතුමා කීය.

“වේළුසුමන, කවදා ද ඔබට දාව ආචාර්යතුමා හමුවුණේ” රජතුමා විමසී ය.

“මා හදා වඩාගත් පියාණන් වන ගිරිභෝජක සුමන සිටුතුමාගේ නිවසේ උත්සවයක් තිබුණා. ඒ සඳහා ගිය ගමනේ දී ගිරි මාලිගයටත් ගියා.”

“දාව ආචාර්යතුමා යුද්ධය සඳහා ගමන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා ශුභ නැකතකුත් යොදාගෙන. යුද කඳවුරේ සියලු සෙබළුන්ට දවස් තුනක නිවාඩුවක් දීලා තමන්ගේ නිවෙස්වලට ගොස් මව්පිය ඥාති මිත්‍රාදීන් මුණ ගැහිලා යුද්ධයේ අරමුණු කියා ඔවුන්ගේ ආශීර්වාදය ලබාගෙන එන ලෙසට දන්වලා. ඈත ගම්මානවලත් මෙම විමුක්ති සංග්‍රාමයේ අරමුණ පිළිබඳ පුවත ප්‍රචාරය කරන ලෙසට තල්පත බැගින් දී තිබුණා.

දාව ආචාර්යතුමා සංග්‍රාමිකයන් අමතා කළ කතාව මට තවමත් මතකයි.”

“මේක විමුක්ති සංග්‍රාමයක්. සිංහලයන් හැටියට රටට ජාතියට ආගමට වන විපත බලා ඉන්නට බැරි නිසා ආරම්භ වන විමුක්ති සංග්‍රාමයක්. අපේ රටෙන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන, අපේ මිනිස්සුන්ට විපත්ති කරමින්, අපේ ධන සම්පත් කොල්ලකමින්, අපේ සංස්කෘතික දායාද විනාශ කරමින් බුදු සසුන විනාශයට පත් කරමින්, වසර පනහකට ආසන්න කාලයක් ත්‍රස්තවාදියකුට ඉඩ දී බලා සිටීම අනුවණ කමක් නොවේද?

“සිංහලයා මේ තරම් දීන වූ යුගයක් සිංහල ඉතිහාසයේ තිබේද? එළාර රජු මවා පෙන්වන ධර්මිෂ්ඨකම, සාධාරණත්වය තුළ ඇත්තේ මිලේච්ඡත්වය නොවේද? දුටුගැමුණු මහරජතුමා ආරම්භ කරන්නට යන්නේ දේශ විමුක්ති, ජාතික විමුක්ති, ආගම විමුක්ති සංග්‍රාමයක්. ඒ සංග්‍රාමයට දැන් අපි පෙළ ගැසෙමු.”

වේළුසුමන එය කී විලාසය දෙස කවුරුත් බලා සිටියේ ය.

“යුද්ධය පිළිබඳ රුහුණු වැසියන් දැනුවත් කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් යෙදිය යුතු බව කාම්බෝජ පඬිතුමා කියා තිබෙනවා. එයම අනුරාධපුර රාජධානියේ සිංහලයන් වෙනුවෙනුත් කරන්නට සිදු වෙනවා.”

මහ රජතුමනි, මෙම විමුක්ති සංග්‍රාමය පිළිබඳ ප්‍රචාරය කළ යුතු කරුණු කාම්බෝජ පඬිතුමා විසින් සටහන් කර එවා තිබෙනවා. එය ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කරනවා ද? කටින් කට ප්‍රචාරය කරනවා ද? යනුවෙන් තීරණයක් ගන්නට ඕනෑ.” මහ ඇමති කීය.

“මහා සිව මාහිමියනුත්, කාම්බෝජ පඬිතුමාත් අදහස් කරන්නේ කටින් කට ප්‍රචාරය යවන එක වඩාත් හොඳ බවයි. රුහුණු ජනපදය තුළත්, අනුරාධපුර රාජධානියේත් මෙය කිරීමට ත්‍රිපිටක තිස්ස මහ තෙරුන් වහන්සේ යෝජනා කර තිබෙනවා.

පසුදින යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ පැවතියේ වෙනදා නැති සන්සුන් බවකි. එහෙත් සම්මන්ත්‍රණ ශාලා භූමියේ තැනින් තැන පිරිස් කතාබහ කරන්නට මාතෘකාව වී ඇත්තේ ළඟදී ආරම්භ කරන්නට යෙදෙන යුද්ධය ගැන ය. නමුත් නොබෝදා සිදු වූ පුංචි යුද්ධය ගැන කිසිවකුත් කතා කළේ සතුටකින් නොවේ.

යුද්ධය පිළිබඳ සියලු තීරණ ගන්නා මෙම යුද්ධ මණ්ඩල රැස්වීමට මහ සෙනෙවිවරුන්, සෙනෙවිවරුන්, උප සෙනෙවිවරුන් විශේෂ කාර්යභාර නිලධාරීන් ද අවි ගබඩා බාර සෙන්පතිවරුද කැඳවනු ලැබූහ.

අමාත්‍ය මණ්ඩලය හා මහසෙනෙවි මණ්ඩලය අතුරු ශාලාවක රැස් වී සිටිති. දාව ආචාර්යතුමාගේත්, කාම්බෝජ බ්‍රාහ්මණ පඬිතුමාගේත් උපදෙස් මත යුද්ධ මණ්ඩලයේ න්‍යාය පත්‍රය පිළියෙළ කරති. විහාරමහා දේවියගේ ප්‍රධානත්වයෙන් කලකට පසු එක්වන මෙම යුද්ධ මණ්ඩලය ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ යුද්ධ කාර්යය පිළිබඳ අවසාන රැස්වීම ද වන්නේ ය.

කා තුළත් උනන්දුවක් දැකිය හැක්කේ එහෙයිනි. කාවන්තිස්ස රජතුමාගේ අඩුව මහත් පාඩුවක් ලෙස සැමටම හැඟී ගියේ ය.

හිරු බැස යද්දී පැමිණි සෙනෙවිවරු තිස්ස මහ චෛත්‍යය දෙසට දොහොත් මුදුන් දී වැඳ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වූහ.

විහාර මහා දේවිය, සමන්තා කුමරිය සමඟ පැමිණි අස්රිය පැමිණියේ ද තිස්ස මහා විහාරය දෙසිනි. ඒ පිටුපසින් ආ අශ්වාරෝහක පිරිස දුටුගැමුණු මහ රජතුමා පෙරටු කර ගත්හ. මහ සෙනෙවිවරු විසින් ගෝපුර ද්වාරයේ දී පිළිගනු ලැබ සම්මන්ත්‍රණ ශාලාවට කැඳවාගෙන ගොස් අසුන් ගැන්වූහ. සියල්ලෝම විහාර මහා දේවින් වහන්සේට වැඳ නමස්කාර කර අසුන් ගත්හ. ඵුස්ස දේව මහ සෙනෙවිගේ සක් හඬින් යුද්ධ මණ්ඩලයේ කටයුතු ආරම්භ වන බව ඇඟ වීය.

සිලාපස්ස පිරිවෙනින් වැඩම කර සිටි ස්වාමීන් වහන්සේසභාගත සියලු දෙනා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටුවා ජය පිරිත හා සෙත් පිරිත සජ්ඣායනා කොට සභා ගබින් පිටව ගියහ. අරෝහ පරිණාහ සම්පන්න සන්නද්ධ සෙනෙවියකු දාඨාසේන සමඟ පැමිණියේ සුරනිමල අසලින් අසුන් ගැන්විණි. ඒ සමඟම ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්සේ, මහාසිව මහා ස්වාමීන් වහන්සේත් වැඩියහ. සියලු දෙනාම නැඟී සිට දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කළහ.

“කාලය නිකරුණේ ගත කළ යුතු නැහැ. පලවත් ලෙස වැය කරන හැම හෝරාවක් ම අපට වාසනාව ගෙන ඒවි. මෙම සම්මන්ත්‍රණ වාරයේ දී අපට කියන්නට අමුතු කිසිවක් නැහැ. අද සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ යුද්ධයයි. බාධක මඟහැරී ඇතත් නැතත් ගැමුණු මහ රජතුමාගේ අදහස පරිදි එය නියම දිනයෙහි සුබ නැකතින් සිදු වෙනවා.”