වෙසක් අව අටවක 2022-05-22
අරපිරිමැස්මට හුරුවෙමු
බොහෝ කලකට පෙර, දුරබැහැර ගමක පුංචිරාළ නම් ගමරාළ කෙනෙක් සිටියේ ය. දිනක්, තරුණ වයසේ
පසුවන සිය පුතුට විවාහයක් කර දෙන්නට ඔහු කල්පනා කළේ ය. සුදුසු තරුණිය තෝරා දෙන්නට
උත්සුක වූයේ ද ගමරාළ ම ය. ඔහු ඒ සඳහා යොදාගත්තේ අපූරු පරීක්ෂණයකි. ඒ නිවෙසේ ආහාර
පිසූ වළං හා වෙනත් බඳුන් අසල වූ ගඟට ගෙන ගොස් සේදීමට කීමය. පරීක්ෂණයට ලක්වූ තරුණ
දියණිවරු කැමැත්තෙන් ම එය භාරගත් හ. එක් එක් වළඳට වෙන වෙනම ජලය ගනිමින් ඒවා සේදීමය,
බොහෝ දියණිවරු විසින් සිදු කරනු ලැබුවේ. එහෙත් ඒ කිසිවකුට ගමරාළගේ සිත් ගන්නට
නොහැකි විය. එහෙත් තවත් දියණියක් එක් බඳුනකට පමණක් ජලය ගෙන බොහොම අරපරෙස්සමෙන්
යුතුව සියලු වළං ටික පිරිසුදුව සෝදා ගමරාළගේ සිත දිනා ගත්තා ය. ඔහුගේ ලේලිය බවට
පත්වූයේ ඇයයි. මේ අපූරු පරික්ෂණය අරපිරිමැස්ම ගැනයි.
ගඟෙහි අපමණ ජලය වේ. ඒත් තිබූ පමණින් නාස්තිය හොඳ නැත. ජීවිතයට ලබා දෙන මේ පාඩම වෙන
අන් කවර කලෙකටත් වඩා අද දවසේ අපි අත්විඳිමින් සිටිමු.
නැතිබැරිකම බොහෝ විට නිර්මාණය වන්නේ නැතිකම නිසා ම නොව තිබෙන දෙය අරපරෙස්සම් කර
නොගැනීම නිසා ය. අතීතයේ සිංහලයාට අරපිරිමැස්ම ආගන්තුක වූයේ නැත. මහින්දාගමනයත් සමඟ
සම්බුදු දහමින් සුපෝෂිත වූ ලක් සමාජය ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූයේ ධර්මානුකූල පිළිවෙත
ජීවිතයට ප්‍රායෝගික කර ගැනීම නිසා ය. අරපිරිමැස්ම පිළිබඳ සම්බුද්ධ දේශනාව තුළ දෙන
සදූපදේශ මිල කළ නොහැකි ය. අන් ශාස්තෘවරයකුගෙන් එවැනි උපදේශයක්, අනුශාසනාවක්
බලාපොරොත්තු වීම පවා උගහට ය.
බෞද්ධ සාහිත්‍යයේ එන ලෙස භික්ෂූන් වහන්සේගේ චීවරයක් දුර්වර්ණ වූයේ නම්, එහි සිදුරු
ආදිය වේ නම් ඒවා වසාගෙන පෙරවිය යුතු ය. එසේ පෙරවීමට අපහසු වූයේ නම් එයින් අඳනයක්
කොට පරිහරණය කළ යුතු ය. එලෙස පරිහරණය කළ නොහැකි වූ විට ඇතිරිල්ලක් ලෙසට ද, අනතුරුව
පාපිස්නාවක් බවට ද, එය ද නොහැකි වූ විට ආවාස ගෙවල්වල වරිච්චි බැඳීම සඳහා ලනු වශයෙන්
ද භාවිත කළ යුතු ය. මේ භික්ෂූන් වහන්සේ සිවුරු පරිහරණය කිරීමේ පිළිවෙත ය. එම
අරපිරිමැස්ම ගිහියාට ද පොදු ය. ඒ බෞද්ධ චර්යාවයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නාස්තිය දුරු කරන ලෙසට ය. එහෙත් සාමාන්‍ය නිවෙසක
වුව ද දිනකට කොපමණ ආහාර ප්‍රමාණයක් අපතේ හරිනවා ද? අනවශ්‍ය ලෙස කෑම බීම වෙනුවෙන්
සම්පත් වෙන් කරනවා ද? ආහාර ගැනීම එපා වන තුරු, ගැමි බසින් කියනවා නම් උස්මුරුත්තාවට
එන තුරු ආහාර ගැනීම බෞද්ධ සාරධර්ම නොවේ. කුඩාකල සිට ම අරපිරිමැස්ම හුරුවිය යුතු ය.
ලද දෙයින් සෑහී සම්පත් අපතේ නොයවනවා නම් සමාජයේ කිසිවකුට කුසගින්නේ සිටින්නට
සිදුවන්නේ නැත. ගොවිතැන ප්‍රධාන කොටගත් අපේ ආර්ථිකය තුළ යම් කෙනෙක් නියැළෙන වෘත්තිය
කවරක් වුව ද උත්සාහය වීර්ය, ධෛර්ය, කැපවීම, අනලස් බව වේ නම් ගැටලු පැන නඟින්නේ ඉතාම
අවම ලෙස ය. පහසුවෙන් පෝෂණය කළ හැකි වීම තුළ ජීවත්වීම අපහසු නොවන්නේ ය. මෙවැනි චර්යා
ධර්ම පුරුදු කරනවා නම් කවර දුෂ්කර කාලයක වුව ද නැතිබැරිකම් කියමින් ඔවුනොවුන්ට
දෝෂාරෝපණය කරන්නට සිදු වන්නේ නැත. මේ ඒ චර්යාධර්ම ජීවිතයට ප්‍රායෝගික කර ගන්නට වහා
උත්සුක විය යුතු කාලයයි. |