Print this Article


බුදු උපත සැපතකි

බුදු උපත සැපතකි

බුදුරජාණන් වහන්සේ සත්වයින් සසරින් මුදවා ගැනීම සඳහා තම උතුම් දේශනා පැවැත්වීම පිණිස ඉතා දුර බැහැර විවිධ ස්ථාන සඳහා මහා කරුණා පෙරදැරිව වැඩම කිරීම පිළිබඳ විවිධ ප්‍රවෘත්ති ඉතා බහුලව දක්නට ලැබේ. මෙම සිදුවීම ද උන්වහන්සේ බරණැස් නුවර දෙවුරම් වෙහෙර වැඩ විසු අවදියක සිදුවූවකි.

දිනක් තථාගතයන් වහන්සේ එම නුවර ආසන්නයේ වූ මහරී නම් ගසක් මුලට වැඩමවාලුහ. උන් වහන්සේ එහි වැඩමවීමට කල්පනා කරන ලද්දේ තමන් වහන්සේගේ වැඩමවීමත් සමඟ ඒ ස්ථානයට පැමිණෙන ඒරකපත්ත නම් වු නාග රාජයකු සහ මහජන සමුහයාට සිදුවන මහත් වු යහපත පිළිබඳ සලකා බැලීමෙන් යුතුව ය. ඒරකපත්ත නා රජු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි උසස් මිනිස් බවක් ලබා, මනාව වැඩුණේ එම බුදුරදුන්ගේ සසුනෙහි පැවිදිව මහණ දම් පිරීමෙහි නිරත වූවෙකි.

දිනක් කිසියම් කටයුත්තක් සඳහා වැඩමවන ලද මෙම තෙරුන් වහන්සේ ගංගාවකින් එතෙරව යා යුතු වූයේ ගඟ තරණය සඳහා අඟුලකට ගොඩ වූහ. එසේ අඟුලට ගොඩ වීමේ දී ගං තෙරට නැමී තිබු ඒරූ නම් වු ගසක අත්තක් අල්ලා ගත් උන්වහන්සේ අතින් අඟුල ඉදිරියට ඇදී යාමත් සමඟ එම අත්තෙහි කොටසක් කැඩී ගියේ ය. එය උපසපන් භික්‍ෂුවකගෙන් නොවිය යුතු ඉතාම සුළු ඇවතකි. එම ආපත්තියෙන් මිදීම සඳහා ඇවත් දෙසා නිදොස් විය හැකිව තිබිණි. කෙසේ නමුත් තමන් වහන්සේගෙන් සිදු වූ මෙම ඉතා කුඩා ආපත්තියෙන් තමන් වහන්සේ පිරිසුදු නොවූ බව සිතා මරණාසන්න මොහොතේ දී පසුතැවිලි සහිතව මිය ගියේ, ඔරුවක් තරම් වු නා රජෙක් ව උපන්නේ ය. මහත් ආනුභාව සම්පන්න වු හෙතෙම ඒරකපත්ත නම් වුයේ ය.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ උතුම් බුද්ධ ඥානයෙන් දුටුවා සේ ම ඒරකපත්ත නා රජු ද එම ස්ථානයට පැමිණියේ ය. හෙතෙම බුදුරදුන් හමුවට පැමිණියේ ය. මහා හඬින් හඬා වැළපුණේ ය. එසේ හඬා වැටීමට හේතු වූයේ එතෙක් කලක් මිනිසත් බවක් ලද නොහැකි වීමත්, බුදුවරයන් වහන්සේ නමක් දැක ගත නොහැකි වීමත් නිසා ය. බුදු බණක් ඇසිය නොහැකි වීම නිසා ය. මෙම සිදුවීම අරමුණු කර ගත් තථාගතයන් වහන්සේ ඉහත ගාථා ධර්මයෙන් දහම් දෙසූ සේක. එහිදී “මිනිසත් බවක් ලබා ගැනීමට ඇති දුෂ්කර බව, මිනිසත් බවක් ලබා ගත්තේ එම ජීවිතය රැක ගැනීමේ ඇති දුෂ්කර බව පෙන්වා දුන්හ. එමෙන් ම සදහම් ඇසීමේ ඇති දුෂ්කර බවත්, බුදුවරයන් වහන්සේ උපත ලැබීමේ අති දුෂ්කර බවත්, දුලභතාවයත් දේශනා කොට වදාළහ. එම දේශනාවසානයෙහි ඒරකපත්ත නා රජ ඇතුළු සුවාසු දහසක් දෙනා නිවන් දුටු ආකාරය අපේ ත්‍රිපිටක සාහිත්‍ය මගින් අනාවරණය කර ඇති ආකාරය ඉතා චමත්කාර ය.

එසේනම් වෙසක් සමය ඒ උතුම් බුද්ධ වචනය අර්ථවත් වන කාලය යි. “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ ” බුදුවරයන් වහන්සේගේ ඉපදීම දුර්ලභ වන ආකාරය සැකෙවින් සලකා බැලිය යුතුව ඇත. ඒ සඳහා සුදුසුම කාලය වන්නේ මෙකල යි. බුදුවරයන් වහන්සේගේ පරමාර්ථය වන්නේ සියලු සත්වයින් භයානක වු සාංසාරික දුක්ඛයන්ගෙන් මුදවා ගැනීම වන්නේ ය. බෝධි සත්වයන් වහන්සේ තමන්ට තනිවම සසරින් මිදීමේ ඇති හැකියාව තිබියදී චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරණය කරමින් බුද්ධත්වය සඳහා එළඹෙති. ඒ දුර්ලභව බව සිහි කළ යුතු කරුණකි.

එසේනම් සංසාරිකව අප්‍රමාණ වශයෙන් දුක් විඳිනා සත්වයින් සසරින් මුදවා ගැනීම සඳහා හැකියාව ලැබෙන්නේ බුද්ධෝත්පත්තියත් සමඟ ය. ජාති, ජරා ව්‍යාධි, මරණාදී විවිධාකාර දුක්වලින් අත්මිදීම ලොව ඇති උතුම්ම සැපය යි. සසර දුකින් සත්වයා එතෙර කරන ශාස්තෘන් වහන්සේගේ උපත දුර්ලභ වූ එකක් ම ය. කලකින් සිදුවන දුලභ සිදුවීමක් වන නිසා බුදු උපත ද සැපයක් ම ය. උන් වහන්සේගේ ධර්ම දේශනයන් ද දුර්ලභ වුවක් ම වේ. ඒ තුළින් දෙව් මිනිස් සැප සහ නිවන් සැපත ද ලබා ගත හැකි වේ.

එසේනම් තථාගත බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වු වෙසක් පුර පොහෝ දිනය ලොව සැපවත් කිරීම සදහා ආරම්භයක් ලබා දුන් දිනයක් බව ඉතා පැහැදිලි ය.