Print this Article


තුන්ලොව සුගන්ධවත් කළ අසමසම ශාස්තෘන් වහන්සේ

තුන්ලොව සුගන්ධවත් කළ අසමසම ශාස්තෘන් වහන්සේ

මහ බෝසතාණෝ සසර නැවතුම්පොළ තනන තෘෂ්ණා වඩුවා නසා අවිද්‍යා කැණිමඬල සිඳ බිඳ දමා අති දුර්ලභ සම්‍යක් සම්බෝධිය තිලොව විජය ශ්‍රීය අත්පත් කර ගත් සේක. මේ වනාහි තිලොව සත්වගට සදාතනික සැබෑ සුබ සදාලු බෝමැඩ විප්ලවයයි.

බෝමැඩ විප්ලවයේ ප්‍රතිලාභය ශාන්තිය සුළුතරයකට හෝ බහුතරයට නොව සමස්ත සත්ව සංහතියට ය. ගහකොළ ඇළ දොළ සතා සීපාවා සහිත මුළු පරිසර පද්ධතියට ම ය.

රත්පියුම්, හෙළපියුම්, හිරු කිරණ වැද සුපුෂ්පිත වන්නේ යම් සේ ද පෙර පින් මහිමැත්තෝ සම්බුදු ප්‍රඥා හිරුකැන් වැද ප්‍රඥාවේ ආලෝකයෙන් නිර්වාණ ක්ෂේම භූමියට මාර්ගය හෙළි පෙහෙළි කරගත්තෝ ය.

දිනකට වේලක් වළඳමින් දෙවාරයක් මහ කුළුණු සමවතින් පිනැතියනට පිහිට සදමින්, අසරණ වූවනට සරණ සදන්නට, ගව්ගණන් මහ මඟ වඩිමින් වචනයෙන් කිව නොහැකි, සිතින් සිතා ගත නොහැකි අපමණ සේවාවක්, අපමණ දෙව් මිනිසුන් වෙනුවෙන් ඉටුකළ බුදුරදාණෝ ගත සිත සතපා ගැනීමට විඩා දුරු කර ගැනීමට සැතපුණේ දිනකට පැය දෙකකට ආසන්න කාලයකි.

සසර පුරා පිරූ පාරමී දම් ඇතිව සම්බුදු බවට පත්ව දෙව් මිනිසුන්ගේ දෙලොව හිත පිණිස මෙවන් අයුරින් අද්විතීය මෙහෙවරක නිරත වෙද්දි ලෝක ස්වභාවය ද අටලෝ දහම ද උන්වහන්සේට ද පොදුවේ ක්‍රියාත්මක වුණි.

පරසතු මදාරා, නිලුුපුල්, රතුපුල්, හෙළ පියුමෙන් දෙව් මිනිස් ගණ මුනි සිරිපා පද්මය පුදද්දී තවත් කෙනෙක් උන්වහන්සේගේ දිවි නසන්නට ගල් පෙරළූහ. දුනුවායන් යොදා දිවි නසන්නට උපා යෙදවූහ.

නාලාගිරි චණ්ඩ ඇතු රා පොවා මත්කර කුලප්පු කරවා බුදුරදුන් වඩිනා පෙරමඟට එවූහ. මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ අපවාද, උපහාස, ගැරහුම්, චෝදනා බොහෝ විය. ස්ත්‍රී දුෂණ මිනීමැරුම් ආදි බරපතල චෝදනා මධ්‍යයේ පවිටු චිංචිමානවිකා කුස දරමිටි බැඳ අවුත් තුන් ලෝ දෑරඟමිණට දම්සභා මණ්ඩපය තුළ දීි නිග්‍රහ කළා ය. මේ කිසිවෙකින් අබමල් රේණුවක් තරම්වත් උන්වහන්සේ නොසැලුණු සේක. මේ සෑම ක්‍රියාවකින්ම ඔපවත් ව ඉස්මතුවූයේ සම්බුදුපියාණන් වහන්සේගේ තාදි ගුණයයි. නොසැලීමේ ගුණාංගයයි.

මෙලොව ඇති සත්‍යය ඇති සැටියෙන් පෙන්වු උන්වහන්සේ යථාභූත ඥාන දස්සනය මොනවට දේශනා කළ සේක.

මව්පිය උපස්ථානය, සමාජ යුතුකම් වගකීම්, අසරණ සරණ සේවාවේ වටිනාකම, ලොවට දේශනා කළ බුදුන්වහන්සේ යමෙක් ගිලනුනට උවටැන් කරයි ද හෙතෙම තමන් වහන්සේට උපස්ථාන කරයි යනුවෙන් ලෝකයාට ගිලානෝපස්ථානයේ අගය පෙන්වා දුන් සේක.

මෙලෙස දේශනා කළ සෑම සදූපදේශයක් ම ක්‍රියාවෙන් පෙන්වූ උත්තමයාණෝ බුදුරදාණෝ ය. එනිසාම මගේ බුදුපියාණන් වහන්සේ යථාවාදි තථාකාරි ගුණයෙන් යුතු ලොව පහළවූ ශ්‍රේෂ්ඨතම නායකයාණෝ ය. අසහාය මාර්ගෝපදේශකයාණෝ ය.

උන්වහන්සේ පුරා පන්සතළිස් වසරක් සත්වග දුකින් එතෙර කිරීමෙහි නිරත වූ සේක. දරුවකු කෙරෙහි හැදු වැඩූ මව පියා බොහෝ කාරුණික ය. ඒ මව්පියන් නිසාවෙනි. දරුවන්ට උපන් සෙනෙහස, දයාව, කරුණාව භවයෙන් භවය සිඳී යයි. එහෙත් අපමණ සත්වග කෙරෙහි පතළ කරුණාවෙන් උපන් අනුකම්පාවෙන් සසර වැද ඉවසිය නොහැකි දුක් කම්කටොලු බුදුපියාණෝ මහ බෝසතුන් ලෙසින් අප වෙනුවෙන් ම අනුභව කළෝ ය.

අහසේ තරු කැට ගණනට වැඩියෙන් ඇස් දන් දුන්හ. සයුරේ ජලකඳට වැඩියෙන් ලේ දන් දුන්හ. හිමගිර උසට වැඩියෙන් ඇඟ මස දන් දුන්හ. ඉන් නොනැවතී උතුම් බුදුපදවි උදෙසා සිය ජීවිතයම අපමණ වාරයක් දන්දුන්හ. ස්වකීය ලෙයින් මසින් උපන් දරුවන් දන් දුන්හ. ධර්මය සොයා රකුසන්ගේ රකුස් කටට බිලිවූහ. ඒ සියල්ල සම්බෝධිය, උතුම් අවබෝධය පිණිස ම ය. එනිසාම අපේ භවගමන – සංසාර චාරිකාව නිම වන තුරුම උන්වහන්සේ අපට බුදුපියාණෝ ය. බුදු අමා මෑණියෝ ය. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ අපදානය ද, අද්විතීය මෙහෙවර ද, උත්කෘෂ්ට කැපවීම ද, අසමසම චරිතාංග ද, උතුම් ජගදාචාර්යයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හා උත්තරීතර බව මොනවට ප්‍රකට කරයි. එනිසාම උන්වහන්සේ් ලොවැ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියාණෝ ය. විප්ලවයේ මිහිරි ප්‍රතිලාභ සකල සත්වග විමුක්ති සුව පිණිසමය.

පියුමක් දියෙහි හටගෙන ඉස්මතුව හාත්පස සුගන්ධවත් කරන්නාක් මෙන් බුදුරදාණෝ මිනිස් ලොවැ රාග, දෝෂ මෝහාදියෙන් පිරුණු මිනිසුන් අතර ඉපිද මිනිසුන් තුළ ඇති සකල දුර්වලතා මූලෝත්පාඨනය කොට බෝමැඩ අභියස බුදුව තුන්ලොව ම සුගන්ධවත් කළ සේක. උන්වහන්සේ මිහිමඩලේ උත්තරීතරම මිනිසාණෝ ය. මිනිසුන් අතර බුදුරදාණෝ අසාමාන්‍ය මිනිසෙක් වූහ.

උන්වහන්සේ සමාන වනුයේ පෙර බුදුවරුනට පමණි. එනිසාම බුදුරදාණෝ අසම සම වූහ. එදා භාරතීය සමාජයේ මිථ්‍යාවේ ගණාන්ධකාරයට පෑයු මහ දිනිඳාණෝ බුදුරජාණන් වහන්සේ ය. ගතානුගතිකත්වය, අන්ධානුකරණය විධ්වංසනය කොට ජනපීඩක, සත්වඝාතක, මිථ්‍යා තිමිර පටල බිඳ මිනිස්ලොව සත්‍යාලෝකයෙන් ඒකාලෝක වූයේ බුදුරදුන්ගේ සර්වකාලීන අමිල වටිනාකමැති ඉගැන්වීම් සමුදාය නිසාවෙනි. සන්තානගත පරිවර්තනයකින් පුද්ගලයාගේ දෙලෝ අභිවෘද්ධියට පදනම බුදුදහමින් වැටිණ.

නිදහස්ව, විචාරශීලිව, සිතන්නට ද, ප්‍රඥාසම්පන්න මනෝභාවයකට ද බුදුදහමේ මඟ පෙන්වීම සුළුපටු නොවෙයි. පරම්පරාවෙන් පැමිණි නිසාවත් පොතට, තර්කයට අනුකූල නිසාවත්, යමක් පිළිනොගෙන බුද්ධියේ ස්වෛරීත්වය තුළින් තුලනාත්මකව විමසා බලා යමක් පිළිගැනීම බුදුන් වහන්සේ කාලාම සූත්‍රයෙන් පෙන්වා වදාළ සේක.

ඒ වූ කලි එදා භාරතය තුළ පැළපදියම් වූ අතාර්කික දර්ශන මිථ්‍යා මතවාද සියල්ල අවලංගු කාසියක තත්ත්වයට පත්වීමකි. සත්‍යය ඉස්මතු වී, අසත්‍යය යටපත් වී බුදුන් වහන්සේගේ දර්ශනයේ ආගමනය විප්ලවීය ගමනක සමාරම්භය සනිටුහන් කළේ ය. හරසුන් බමුණු මත ඉවතලා අනුසෝතගාමී ලොවැ පටිසෝතගාමී මාර්ගයේ සත්‍යතාව ඉන් නිරාවරණය වුණි.

කරුණාව, මෛත්‍රිය, දයාව, කෘතවේදීත්වය යන උතුම් යහ ගුණාංග මනු සිතේ පැළපදියම් වීමට ඉන් විධාන නිකුත්වුණි. සුන්දර මිහිමඩලේ සැනසිලිදායක සරුසාර දිවියකට මංගල, සිඟාල, ව්‍යග්ඝපජ්ජ, ධම්මික ආදි සූත්‍ර ඉගැන්වීම් තුළින් මං විවර වුණි. මෝහාන්ධකාරය නසා ජාති, ජරා, ව්‍යාධි,මරණ, දුක් රැස් දුරු කිරීමට ද, අරි අටැඟි මඟ වැඩීමෙන් ලබන නිර්වාණ ධාතුවට ද ඉන් මං විවරවුණි.

මිනිසා පහත් තත්ත්වයට පත්වනුයේ මිනිසාගේ පහත් ක්‍රියාකාරකම් තුළිනි. උපතින් කෙනෙක් වසලයෙක් නොවෙයි. පහත් ක්‍රියාවෙන් ම යමෙක් වසලයකු වන බව බුදුරදුහු අවධාරණය කළෝ ය.

පංච දුශ්චරිතයෙන්, දස අකුසලයෙන් බැහැර වූ මිනිස් පවුර ඇති තැන දෙව්ලෝ සිරි ගනියි. සමාජ ප්‍රගමනයට ද, මිනිසාගේ අභිවෘද්ධියට ද එයම පදනම වෙයි. ශක්තිමත් ආර්ථිකයකට , සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතකට, නිරවුල් පවුල් සබඳතාවට, ගිහිදිවියේ ආලෝකයට බුදුදහමේ පිටිවහල සුළුපටු නොවෙයි.

අද්‍යතන ලෝකයේ නීතිය, නිදහස, රාජ්‍ය පාලනය, ගැටුම් නිරාකරණය, මානව හිමිකම් සහ පාරිසරික සංරක්ෂණය යන සමාජ සුරක්ෂණයේ සියලු මූල ධර්මයන්හි පදනමට එදා බෝමැඩ විප්ලවයෙන් බුදුරදුන් අවදි කරත් මහා ප්‍රඥාවේ ප්‍රභාව මොනවට පිහිටාධාර වී ඇත්දැයි හඳුනාගැනීම දුෂ්කර නොවෙයි. ඉරහඳ සහිත මේ පෘථීවි ධාතුව පවතින තුරාවට ම බුදුන්වහන්සේගේ මේ උතුම් සදූපදේශ මිහිමඬලේ සකල සත්වග ශාන්තිය පිණිසම හේතුවනු ඒකාන්ත ය.

බුදුන් වහන්සේගේ උදාර දර්ශනයෙන් ආලෝකය බලාපොරොත්තු වන සැමගේ අධිෂ්ඨානය හා වගවීම විය යුත්තේ උන්වහන්සේ ලෝකයාට අවධාරණය කළ උතුම් ඉගැන්වීම් සමුදාය ජීවිත ක්‍රියාකාරකම් තුළින් ප්‍රකටවැ ඉස්මතු කිරීමයි. එය සැබෑ ම බුද්ධ පූජාවයි.

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුර පසළොස්වක පෝදා (15) පත්‍රයේ පළවිය