වෙසක් පෝ දිනය හා සබැඳි හෙළදිව සැමරුම්
පිරිනිවන් මංචකයෙහි වැඩ හුන් බුදු රජාණන් වහන්සේ සිදු කළ අධිෂ්ඨාන පහක් පිළිබඳ
තොරතුරු ඉතිහාස මූලාශ්‍රයන් හි සඳහන් වේ.
ලංකාද්වීපයෙහි පිහිටුවනු පිණිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ගැනීම පිණිස
ධර්මාශෝක රජතුමා පැමිණි කල දක්ෂිණ බෝධි ශාඛාව ඉබේම ගැලවී රන් කටාරමෙහි පිහිටනු
ලැබේවා.
බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිම වළා ගැබක් අතරට වැද සිටීවා. සත් දිනකට පසු නැවත රන්
කටාරමෙහි පිහිටි කල පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ගණ බුදු රැස් විහිදේවා
ථූපාරාම චෛත්‍යයේ පිහිටන මගේ අකුධාතුව අහසට නැඟී යමා මහ පෙළහර පානා සේක්වා
මාගේ ද්‍රෝණයක් පමණ ධාතූන් ලක්දිව රුවන්වැලි සෑයේ පිහිටන කල බුද්ධ වේෂය ගෙන අහසට
නැඟී යමා මහ පෙළහර පානා සේක්වා.
ශ්‍රී ලංකාවට ද සම්බන්ධ මෙම අධිෂ්ඨානයන් සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ
දින දී ය.
දේවානම්පියතිස්ස රජු දෙවන වර රාජ්‍යාභිෂේකයට පත් වීම ද වෙසක් පුර පසළොස්වක පොහෝ දින
සිදු වූ බව කියැවේ. දේවානම්පියතිස්ස රජු රාජ්‍යත්වයට පත් වීමෙන් පසු අරිට්ඨ ඇමති
වරප්‍රමුඛ දූත පිරිසක් තුටු පඬුරු රැගෙන ධර්මාශෝක රජු දැක්මට ගිය බවත්, එහිදී ගිය
දූත පිරිස වෙතින් ලක්දිව රාජාභිෂේක චාරිත්‍ර විධි විමසූ කල නව යෂ්ටියක් දැරීම විනා
අන්‍ය අභිෂේකයක් ලක්දිව නොපවතින බව දූත පිරිස පැවසූ බව වංසත්ථප්පකාසිනී නම් වූ
මහාවංස ටීකාවෙහි දැක්වෙයි.
එබැවින් පංච කකුධ භාණ්ඩ සහිත සම්පූර්ණ අභිෂේක චාරිත්‍ර ඉටු කොට රාජාභිෂේක කිරීමට
අවැසි සියල්ල ධර්මාශෝක රජතුමා ලක්දිවට එවීය. මජ්ක්‍ධිම නිකායෙහි චූල සීහනාද සූත්‍ර
වර්ණනාවෙහි හෙළ අටුවාවෙහි ද මෙම අභිෂේක චාරිත්‍ර පිළිබඳ කියැවේ යැයි සඳහන් ය.
සූ සැට බරණින් සැරසුණු අභිනව රාජකීයයා අභිෂේක උත්සවය පිණිස පිළියෙල කළ මණ්ඩපයෙහි
උදුම්බර භද්‍ර පීඨයෙහි සිටුවා සර්වාභරණයෙන් සැරහුණු ක්ෂත්‍රීය කන්‍යාවක් දක්ෂිණාවෘත
සංඛයකට ගංගා නම් ගඟෙහි ජලය ගෙන, අභිනව රාජකීයයාගේ හිසට දිය වත් කරමින් ක්ෂත්‍රීය
ගණයා රකින ලෙසත්, දැහැමින් රට පාලනය කරන ලෙසත් අයැද සිටියි. ඉනික්බිති පුරෝහිත
බමුණා ද, සිටුතුමා ද තම පිරිස රකිනා ලෙසත්, දැහැමින් රට පාලනය කරන ලෙසත් පිළිවෙළින්
රජතමය හා රත්නමය සංඛයකට ගංගා නම් ගඟේ ජලය ඉසිමින් අයැද සිටිති. මෙලෙසින් මෞර්ය
චාරිත්‍රවලට අනුව ධර්මාශෝක රජතුමාගේ රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පොහෝ දිනක
දී ය.
දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහ සෑ රදුන්ගේ වැඩ ආරම්භ කොට ඇත්තේ වෙසක්
පුන් පොහෝ දිනයක වීම සුවිශේෂී කරුණකි.
අනුරාධපුර යුගයෙහි සිංහල රජවරුන්ගේ රාජ්‍ය කාලය පවසන ලද්දේ සමරන ලද වෙසක් උත්සව
ගණනිනි. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව විසි හතරක් සැමරූ බව කියැවේ. භාතිකාභය
රජතුමා වෙසක් උත්සව විසි අටක් සිදු කෙළේ ය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථී
සංචාරය කරමින් පැවැත්වු මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිත ද
පැවතිණි.
වසභ රජතුමා ද ඔටුනු පලන් වර්ෂයේ පටන්ම පිළිවෙළින් වෙසක් උත්සව විසි හතරක් කරවීය.
වෝහාරතිස්ස රජතුමා වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන්ට තුන් සිවුරු පිදීය.
එමතු නොව ගෝඨාභය රජු ද, ජෙට්ඨතිස්ස රජු ද, දල්ල මොග්ගල්ලාන රජු ද, දෙවැනි සේන රජු ද
රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන්ව තිබේ.
දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජ දවස පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක්
පිළිබඳ වාර්තාවක් පූජාවලියෙහි දැක්වෙයි. ඒ මෙසේ ය.
“එ දවස් මේඝරාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඩලෙහි ඇවිදිනා සේ ඒ
ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජාලෝලීන් දිවූ සමුද්‍ර
රාජයාගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා
බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා
මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා
පෙළහරින් මිටගත් මනුෂ්‍ය සේනාව ම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට.....”
මෙලෙසින් ශ්‍රී ලංකා වාසීන්ගේ අතිශය පූජාර්භ දිනය ලෙසින් සම්භාවනාවට පත් වෙසක් පුන්
පොහෝ දින වාර්ෂිකව සිදු කෙරෙන අතිශය වැදගත් ශාසනික සංසිද්ධියක් ඇත.
එනම් වර්ෂ 1753 වර්ෂයේ දී වැලිවිට සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන්, කීර්ති ශ්‍රී
රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් ස්‍යාම ජාතික උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ
ස්‍යාමෝපසම්පදා චාරිත්‍ර ලක්දිවට හඳුන්වා දුන්හ.
පසුව වාර්ෂිකව මල්වතු, අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා විනය කර්මය වෙසක් පුර
පසළොස්වක පොහෝ දින ආරම්භ විය.
ශීලයෙහි උපරිම ශීලය යැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ.
පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය
අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත.
වෙසක් පොහෝ දින පටන් පොසොන් පොහෝ දිනය දක්වා යෙදෙන මාසය තුළ විසි වයස් සපිරීම, උගත
යුතු බණ දහම් ප්‍රගුණ කොට සිටීම ආදී සුදුසුකම් සපුරන ලද උපසම්පදාපේක්ෂක සාමණේරයන්
වහන්සේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරවල දී එකී මහා
විහාර පාර්ශ්වයන්ට අයත් මහ තෙරවරුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් අධි ශීල ශික්ෂා
සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාවට පැමිණවීම සිදු කරනු ලබයි.
මෙම පුර පොහෝ දෙදිනත් ඇතුළත්ව යෙදෙන අටවක- අමාවක ආදී පොහොයන් ද ඇතුළත් පොහෝ දින
පහෙහි දී වාහල නාග නම් වූ සුවිශේෂී චාරිත්‍රයක් ක්‍රියාත්මක කරනු ලබයි. එක් එක්
පොහෝ දින විහාර දෙකෙහි උපසම්පදා ලැබීමට නියමිත සාමණේරයන් වහන්සේ එක නම බැගින් තෝරා
ගෙන සියම් රටෙහි රාජ කුමාරයකු සේ වෙස් ගන්වා ශ්‍රී දළදා මාලිගාව වෙත කැඳවා ගෙන යනු
ලබයි. එතැනදී දළදා මාලිගාවේ දියවඩන නිලමේ විසින් ඔටුණු පළඳවනු ලබයි.
උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේ ඇතකු පිට නංවා පෙරහරින් ඒ ඒ විහාර වෙත වැඩම කරවා
උපසම්පදා කිරීම සිදු කරනු ලබයි.
නාග යනු උපසම්පදාපේක්ෂක සාමණේර හිමියන් උපසම්පදා අවස්ථාවේ හඳුන්වන නාමයයි. ශ්‍රී
දළදා මාලිගාව පෙර කල මෙරට රජ වාසලයි. වාසලෙහි දායකත්වය හා අනුග්‍රහය ඇතිව උපසම්පදාව
ලබන බැවින් මෙම විශේෂ උපසම්පදාපේක්ෂක සාමණේර හිමි නම වාහල නාග නමින් හැඳීන්වේ.
වාර්ෂික ව වෙසක් පුර පසළොස්වක පොහෝ දින පටන් පොසොන් පුර පසළොස්වක පොහෝ දින දක්වා
අඛණ්ඩව සුවිශේෂී චාරිත්‍ර සමුදායක් සහිතව මෙම විනය කර්මය සිදු කෙරෙයි.
දිමුතු පුන්සර කොළඹගේ |