සැබෑ දියුණුව ධර්මයත් සාමයත් ඇති තැනයි
කැලණිය රාජමහා විහාරාධිපති
අග්ගමහා පණ්ඩිත
මහාචාර්ය
කොල්ලුපිටියේ
මහින්ද සංඝරක්ඛිත නා හිමි
සිඟාලෝවාද සූත්‍රයෙන් මුළු සමාජයම ඒකක හයකට බෙදා ඔවුන්ට අයත් වගකීම් සහ යුතුකම්
පෙන්වා දී ඇත.
අඹු සැමියෝ, මව්පිය දූදරුවෝ, ගුරු ශිෂ්‍යයෝ, මිතුරු මිතුරෝ, සේව්‍ය සේවකයෝ, ගිහි
පැවිද්දෝ යනුවෙන් කොටස් කළ අතර අන්තර් පුද්ගල සම්බන්ධතාවඔවුනොවුන් දරන වගකීම් මත සහ
ඉටු කරන යුතුකම් මත බැඳී ඇති බව අවධාරණය කරයි.
මෙය එක පාර්ශ්වයක් විසින් ප්‍රත්‍ය උපකාර ගුණය (පච්චුපට්ඨිතා) මත යුතුකම් ඉටුකළ
යුතු අතර, අදාළ දෙවන පාර්ශවය අනුකම්පා (අනුකම්පති) ගුණයෙන් යුතුකම් ඉටුකළ යුතු බව
පෙන්වයි.
පවුල් ඒකකය මෙසේ ශක්තිවන්ත කර ඇත්තේ යුතුකම සහ වගකීම යන බන්ධනයෙන් ය. මේ ඒකක අතර
ඈත්වීමක් සිදුනොවන්නේ එක පාර්ශවයක් එනම් මව්පියන්, ගුරුවරු, බිරිඳ, සේවකයා,
පැවිද්දා අනුකම්පාවෙන් තම යුතුකම ඉටුකරන නිසා ය. ඊට සමගාමීව දරුවන්, ශිෂ්‍යයින්,
ස්වාමියා, සේව්‍යයා දායකයා, ප්‍රත්‍යුපකාරයක් ලෙසට තම වගකීම දරන නිසා ය. මේ තුළ
සාමකාමී සමාජයක් නිර්මාණය වේ.
ඔවුනොවුන්ට ගරුකරන සමාජයක් නිර්මාණය වේ. සේව්‍ය සේවක සම්බන්ධයේ දී සේව්‍යයා විසින්
පඤ්ච විධ ශුභසාධන ක්‍රියාවලියක් ඉටුකළ යුතුව ඇත. වේතන, ආහාර, සෞඛ්‍ය පහසුකම්,
නිවාඩු සියල්ලක් එයට ඇතුළත් ව ඇත.
සේවකයා රැකියාව කළ යුත්තේ කාලය සහ වේතනය මත නොව, රැකියාවේ ඇති වගකීම මත ය. එවිට
සේවකයා සහ ආයතන ද දියුණුවට පත්වේ.
බෞද්ධ චින්තනය ආර්ථික ක්ෂේත්‍රය තුළ පවා වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය මඟ පෙන්වීම
දක්වා ඇත. ලෝක සම්මත සුවපත් ජීවිතයක් සඳහා සතරාකාර තෘප්තියක් අවශ්‍ය බව අනණ සූත්‍රය
පෙන්වයි.
තමාට වස්තු දේපළ ඇතැයි යන සුවය (අත්ථිසුඛ) ධන පරිභෝජන සුවය (භොගසුඛ), ණය නැති බව
නිසා ඇතිවන සුවය (අණනසුඛ) සහ වස්තු සම්පත්වල නිරවද්‍යභාවය නිසා ඇතිවන සුවය
(අනවජ්ජසුඛ) මේවා කෙනකු මනසින් ශක්තිවන්ත කරන, දූෂණ චෝදනාවන්ගෙන් නිදහස් කරන
ශක්තිවන්ත ආර්ථිකයකට ආත්ම විශ්වාසය ඇති කරන කරුණු වේ.
බුදුසමය ධනය උපයන මාර්ගයත්, ධන පරිභෝජනය කරන පිළිවෙළත්, ධන රක්ෂණයත් යන විෂය
පද්ධතිය සඳහා අවශ්‍ය උපදේශනය කාම භෝගී, රාසිය, පත්තකම්ම වැනි සූත්‍ර ගණනාවකින්
ඉදිරිපත් කර ඇත.
ධනය ධාර්මිකව උපයාගත් (ධම්මලද්ධා) දෙයක් විය යුතු ය. මේ ධාර්මිකව උපයාගත් ධනය
පරිභෝජනය කළ යුතු පිළිවෙළ බුදුදහමේ උගන්වා ඇත. ස්වකීය ශ්‍රමදායකත්වයෙන් ධනය උපයා
ගත්ත ද ආත්මාර්ථකාමීව එය පරිභෝජනය කළ නොහැකි ය.
එසේ තමා පමණක් පරිභෝග කළහොත් එය නියම තැනට නොගිය (අප්පත්ත), නියම තැනට නොපැමිණුනු
(අට්ඨාන) ධනයක් ලෙසට බුදුසමය සලකයි.
පංච භෝගාදිය සූත්‍රයට අනුව නියම ආකාරයට පරිභෝග කිරීම යනු තමා සුව සේ භුක්ති විඳියි.
(අත්තානං සුඛෙති පිනෙති) ධනය බෙදා දී අඹුදරුවන්, සේවක, සේවිකාවන් ද සතුටු කරයි.
ඥාති හිතමිතුරන් සතුටු කරයි. ආගන්තුකයින්, බදු ගෙවීම්, මලගිය ඥාතීන් සිහි කිරීම
සඳහා කටයුතු කිරීම, දේව පූජාවන් පැවැත්වීම, දන් දීම, ධන විභජනය ලෙසට උගන්වා ඇත.
ධාර්මිකව ධනය උපයනවා පමණක් නොව සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන පරිද්දෙන් ධනය බෙදී යෑම
සිදු වූ විට තෘප්තිමත් සමාජයක් නිර්මාණය වේ.
ධන සංරක්ෂණය ද බුදුදහමින් පෙන්වා දුන් නව දර්ශනයකි. උපයන මුදලින් වැඩි කොටසක් ඉතුරු
කළ යුතු ය.
ස්වකීය පරිභෝජනයට වෙන් වී ඇත්තේ එක් කොටසක් පමණි. කොටස් දෙකක් නව ආයෝජන සඳහා වෙන්
කළ යුතුයි. මේ ආකාරයට උපයන ධනය විභජනය කරන විට පවුලක් හෝ රටක් හෝ පිරිහීමට ගමන්
නොකරයි.
ධන සංරක්ෂණයේ දී ධනයෙන් කොටසක් ඉතිරි කළ යුත්තේ ආපදාවක දී ගැනීම සඳහා ය. ජල, ගිනි,
රජ, සොර, අපි‍්‍රයයන් අතට පත්වීම යන ක්‍රමවලින් ඇතිවන ආපදාවලින් වැළකී උවදුරු රහිතව
විසීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ යි.
ලිච්ඡවි කුමාර සූත්‍රයෙහි ද මෙ කරුණු ම දක්වා මහානාම ලිච්ඡවි කුමාරයාට ප්‍රකාශ කළේ
මේ කරුණු ඉටු කරන කෙනකුට දියුණුව මිස පරිහානියක් නම් නොවන බවයි.
ජන සම්මුතියෙන් පත් වූ රජු ජනරඤ්ජන ලෙසට හඳුන්වයි. රඤ්ජනය නම් ජනයා තෘප්තිමත් කිරීම
යි. බෞද්ධ සංකල්පය මත ගොඩනැඟෙන රාජ්‍යයක විශේෂත්වය හඟවන විශේෂ පද දෙකක් යෙදී ඇත.
ධම්මෙන, සමෙන යනු ඒ පද දෙක යි. එහි අරුත දැහැමින් සෙමෙන් යන්න යි. එයින් අදහස්
වන්නේ ධර්මයත්, සාමයත් යන දෙකයි.
ජයග්‍රහණය නම් රටේ ආර්ථික සාමයික සංස්කෘතික ජයග්‍රහණය යි. රට පාලනය කිරීමේ දී ධර්මය
මුල් කොට සිදු කිරීමේ අගය චක්කවත්තී සීහනාද සූත්‍රයෙන් පෙන්වයි. ධර්මය පදනම්ව ඇසුරු
කොට, ධර්මය කෙරෙහි සැලකිලිවන්තවෙමින්, ධර්මයට ගරු කරමින්, යටත්වෙමින්, ධර්මය ධජයක්
කුන්තයක් සේ ඔසවා පාලනය කළ යුතු බව චක්කවත්ති සීහනාද සූත්‍රය, ධර්ම රාජ සූත්‍රය
පෙන්වයි. මෙහි ධර්මය යනු යුක්තිය සහ සාධාරණත්වය යි.
මෙම සූත්‍රයේ දක්වන ආකාරයට රජු ජනතා විශ්වාසය අහිමි කරගත් විට එය නැවත ලබා ගැනීම
සඳහා එක් අවස්ථාවක චක්කවත්තිවත්ත (සක්විති පිළිවෙත්) සම්පූර්ණ කරන ලෙසට අවවාද කළ
අතර, දෙවන අවස්ථාවේ දස රාජ ධර්මය සම්පූර්ණ කරන ලෙසටත් අවවාද කරයි. චක්කවත්තිවත්ත
යනු ධර්මානුකූල පාලනය යි. එනම් සාධරණත්වය සහ යුක්තිය ඉටුකරමින් පාලනය කිරීම යි. සෑම
ජන කොටසකට ම සාධාරණත්වය ඉටු කරමින් ආරක්ෂාව රැකවරණය සැලසිය යුතු යි. මෙහි වචන තුනක්
ඇත. රක්ඛා, ආවරණ සහ ගුත්ති යන වචන තුනයි. පොදු අර්ථය ආරක්ෂාව යි. නමුත් විස්තර
විභාග ගත්විට ජීවිත සහ ධන සම්පත් ආරක්ෂාවත්, ආර්ථික සහ ස්වාභාවික විපත්තිවලින්
වළක්වා ගැනීමත්, සතුරන්ගෙන් රැක ගැනීමත් අර්ථවත් වන බව පෙනේ.
මේ සූත්‍රය දක්වන අන්දමට සෑම ජන කොටසක් පමණක් නොව රටේ ජීවත් වන මෘග පක්ෂීන් පවා
ආරක්ෂා කළ යුතු වේ. අයුක්ති සහගත අසාධාරණ ක්‍රියා නැවැත්විය යුතුයි. එසේම යමෙක්
දුගී නම් ඔහුට ධනය දිය යුතු යි. මෙය පළමු චක්කවත්ති වෘත්තය යි.
දෙවැනි පිළියම දස රාජ ධර්මයෙන් පාලනය කිරීම යි. සුබ සාධනය, විනය ගරුකවීම, අවංක බව,
මෘදු බව එනම් දරදඬු නොවීම, නිවුණු බව, මෛත්‍රී සහගතව කටයුතු කිරීම, අවිහිංසාව,
ඉවසීම සහ අවිරොධතාව යි. එනම් දේශ විදේශ වශයෙන් විරුද්ධවාදීන් තනා නොගැනීම යි.
මේ ආකාරයට පාලනය කිරීම දසරාජ ධර්මයෙන් පාලනය කිරීම යි. සෑම රට වැසියකුගේ ම
අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ස්වාධිපත්‍යය ජනතාව සන්තක කරමින් පාලනය කිරීම, බෞද්ධ
දේශපාලන දර්ශනය යි. රටක කවර සංවර්ධනයක් වුවත් පාලනයක් වුවත්, ආර්ථික කළමනාකරණයක්
වුවත්, සිදුවිය යුත්තේ රටේ ජනතාව මූලස්ථාන කොටගෙන ය. ජනතා ඉලක්කයෙන් බාහැර වූ ඕනෑම
ක්‍රියාදාමයක් ඉක්මනින් පරිහානියට පාදක වේ.
මෙම ලිපියේ මුල් කොටස
වෙසක් පුර පසළොස්වක පෝදා (15)
පත්‍රයේ පළවිය |