Print this Article


අපේ භික්ෂූන් වහන්සේගේ විනයගරුක බවට විදේශිකයන් බොහොම ගෞරව කරනවා

අපේ භික්ෂූන් වහන්සේගේ විනයගරුක බවට විදේශිකයන් බොහොම ගෞරව කරනවා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොඩ සිරි සුනන්දාරාම විහාරාධිපති කොස්ගොඩ සිරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, කෙළි දෙළෙන් ගත කරන ළමාවියේදී ම පැවිදි ජීවිතය ඇලුම්කළ ඔබ වහන්සේ අල්පේච්ඡතාදී ගුණයන්ගෙන් සමුපලක්ෂිත යතිවරුවනක් ලෙස වැඩ සිටිමින් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වශයෙන් සුවිශාල ශාසනික කාර්යභාරයක් සිදුකරනු ලබනවා. ඔබ වහන්සේ පැමිණි ගමන්මඟ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ 1952 වර්ෂයේ මාර්තු 21 වැනි දා. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ගොඩ ඓතිහාසික ගම්පියස මගේ ජන්ම භූමියයි. ඒ වගේම මගේ පියාණන් වන හෙන්දාදුර සයිමන් ද සොයිසා මහෝපාසකතුමාත්, ආදරණීය මෑණියන් වන අප්පුවාදුර මැසිලින්හාමි ද සොයිසා මහෝපාසිකා මාතාවත් බොහොම ගුණගරුක ශ්‍රද්ධාවන්ත මව්පිය දෙපළක්. කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබාගත් කාල පරිච්ඡේදයේ දී ම පිරිත් පින්කමකට වැඩම කළ ස්වාමීන් වහන්සේලාගේ පාදෝවනය කිරීමේ අවස්ථාව ලැබුණා. සංසාරගත පුණ්‍ය මහිමයක් නිසාදෝ පාදෝවනය කළ මොහොතේ පැවිදිවීමේ බලවත් ආසාවක් ඇති වුණා. ඒ අනුව පින්වත් මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව 1964 වර්ෂයේ දී කොස්ගොඩ සිරිවිමල යන උතුම් ශාසනික නාමයෙන් කොස්ගොඩසිරි නිවේසාරාම විහාරස්ථානයේ දී උත්තරීතර ප්‍රව්‍රජ්‍යා භාවයට පත්වුණා.

පූජනීය කොස්ගොඩ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ්, රාජකීය පණ්ඩිත කොස්ගොඩ සිරි සුමේධ නාහිමිපාණන් වහන්සේ්, රාජකීය පණ්ඩිත කොස්ගොඩ සිරි විසුද්ධි නාහිමිපාණන් වහන්සේ මගේ පැවිදි ආචාර්යන් වහන්සේලා බව මේ අවස්ථාවේ දී ගෞරව සම්ප්‍රයුක්තව පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදීව සිහිපත් කළ යුතු යි. ශාසනික ජීවිතයට ඇතුළත්වීමෙන් පසුව රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙන, බද්දේගම රතනසාර විද්‍යායතන පිරිවෙන යන දීප්තිමත් පරිවේණාස්ථානයන්හි වැඩ සිටි ධර්ම විනයධර සාර්වභෞම වියත් ඇදුරු මඩුල්ලක් හමුවේ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගත්තා වගේම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය හා සමාජ සංවර්ධනය පිළිබඳ ව ඩිප්ලෝමාවත් ලබා ගත්තා.

ඒ වගේම අමරපුර සිරිසද්ධම්මවංස නිකායේ මහා නායක ධුරන්දර අමරපුර සංඝ සභාවේ හිටපු සභාපති රාජකීය පණ්ඩිත කොස්ගොඩ ධම්මවංශ මහානායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් 1972 වර්ෂයේ ජූනි මස 22 වන දින බලපිටිය මාදුනදී ස්වේජින් සීමාමාලකයේ දී සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගැනීමට තරම් පූර්වෝකෘත පුණ්‍යමහිමය බලවත් වුණා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට පාත්‍ර කරමින් අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සුධර්මා කාරක සංඝ සභාව 2010 වර්ෂයේ දී බෙන්තර වළල්ලාවිට කෝරළයේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය ද, 2014 වර්ෂයේ දී බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමමින් 2020 වර්ෂයේ දී සිරි විසුද්ධ අරියවංසපාල සිරිසුමේධ වංසාවතංස සිරිනිවාසවංසාලංකාර ගරුනාම සම්මුතිය සහිතව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනැමීමට කටයුතු කළා.

ජාත්‍යන්තරය තුළ ආගමික ප්‍රබෝධය නැංවීමේ අරමුණින් ධර්මදූත සේවය සඳහා ඔබ වහන්සේ බොහෝ රටවලට වැඩම කරනු ලබනවා. එම පසුබිම සකස්වුණේ කොහොමද? හාමුදුරුවනේ.

ජනසන්නිවේදනය හා සමාජ සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරීමෙන් පසුව ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අනුව තායිලන්තය, කාම්භෝජය, ලාඕසය වැනි රටවලට වැඩම කිරීමට අවස්ථාව උදාවුණා. තායිලන්තයේ දී ජනසන්නිවේදනය පිළිබඳව තවදුරටත් හැදෑරීමේ අවස්ථාව ලැබුණා. එම ශිෂ්‍යත්වයෙන් පසු නැවත ලංකාවට වැඩම කරමින් ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධන පදනම ආරම්භ කළා. එය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන ආරම්භ කළ පදනමක් නිසාම ඒ යටතේ පාසල් ළමුන් සඳහාත් ත්‍රිවිධ හමුදාව සඳහාත් නායකත්ව පුහුණු වැඩමුළු පවත්වනු ලැබුවා. එම කාලයේ දී ම තරුණ ප්‍රජාවගේ චින්තනය සදාචාරයට යොමු කිරීමේ අරමුණින් යොවුන් ජනතා පුවත්පත සඳහා “තරුණ ගැටලු” නමින් ලිපි මාලාවක් පළ කළා. ඒ තුළින් ලැබුණු ජනපි‍්‍රයත්වය නිසාම තායිලන්තය, කාම්භෝජය, ලාඕසය, ඉන්දියාව, සිංගප්පූරුව, අමෙරිකාව, මැලේසියාව ආදී රටවලින් ලැබුණු ආරාධනා මත ධර්ම දූත සේවය සඳහා නැවත වැඩම කරනු ලැබුවා. අපේ භික්ෂූන් වහන්සේගේ විනයගරුක බවට විදේශිකයන් බොහොම ගෞරව කරනවා. අපේ ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලැබුණු ආභාසය නිසාම භික්ෂුත්වය ආරක්ෂා කර ගෙන උදාර පැවිදි ජීවිතයක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබුණා. උපසම්පදාශීලයට පත්වෙනකම්වත් අවම වශයෙන් පාවහන් පැළඳුවේ නැහැ. වර්තමානය තුළ පිරිකර සඳහා මුදල් පූජා කිරීම නිසා පොඩි හාමුදුරුවන් වහන්සේලාට දුරකතන ලබා ගැනීමේ පහසුව ඇතිවෙලා තිබෙනවා. ජංගම දුරකතන පරිහරණය තුළින් විශාල විනාශයක් සිදුවෙමින් පවතින බවත් සිහිපත් කළ යුතුයි.

ඔබ වහන්සේගේ ජාතික, ආගමික, ශාසනික සේවය පිළිබඳ කෙටියෙන් සඳහන් කරනවා නම් නායක හාමුදුරුවනේ,

තිස්වරක යුද්ධය පැවැති කාලයේ දී, උතුරු නැඟෙනහිර ප්‍රදේශවෙත වැඩම කරමින් යුද භූමියේ සිටි සෙබළුන්ගේ චිත්ත ධෛර්යය හා මානසික ඒකාග්‍රතාවය සඳහා අවශ්‍ය කටයුතු සිදුකළා. ඒනිසාම ත්‍රිවිධ හාමුදාවට අයත් විවිධ ආයතනවල ආගමික උපදේශකයකු හා අනුශාසකයකු ලෙස කටයුතු කරනු ලබනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ ආධාර උපකාර ඇතිව කොස්ගොඩ හෑගල්ල සිරි සුනන්දාරාමය සියලු විහාරාරාංගයන්ගෙන් අලංකෘත අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළා. ජාතික තරුණ සේවා සභාවේ පළමු “යෞවන සමාජය” ආරම්භ කළා වගේම තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ලෙස සේවය කළා. ඒ වගේම වෘත්තීය පුහුණූ අධිකාරිය යටතේ වෘත්තීය පුහුණු ආයතනයක් ආරම්භ කරමින් වසර පහක කාලයක් තරුණ ප්‍රජාව වෙනුවෙන් විදුලි කාර්මික ජලනළ ආදී පාඨමාලා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. බලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන් කටයුතු කරමින් බලපිටිය ආසනයේ මුල්ම විහාරාධිපති සංගමය ආරම්භ කරමින් සභාපතිත්වය දරමින් එය හොඳම විහාරාධිපති සංගමය දක්වා රැගෙන ආවා. ඒ තුළින් විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලාගේ සුබ සාධනය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වුණා.