Print this Article


ගුණ රුව වරුණ: 'සතිය' පුහුණු කරනවා නම් මානසික පීඩනයක් න

ගුණ රුව වරුණ:

'සතිය' පුහුණු කරනවා නම් මානසික පීඩනයක් නෑ

කොළඹ 07, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති විදුර රණසිංහ

බුදු, පසේ බුදු, මහ රහත්වීමට නම් බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතා පුරන්නට අවශ්‍යයි. මේ පාරමිතා අතුරින් මුල්ම පාරමිතාව දාන පාරමිතාවයි. දන් නොදී අනුන්ට යමක් දෙන්නට මැළිකම් දක්වන්නාට අනෙකුත් පින්කම්, පාරමිතාවන් පුරන එක අපහසුයි. ඒ නිසා යමෙක් සසරින් එතෙරවීමට සිතා පින් පුරනවා නම් මුලින්ම හුරුවිය යුත්තේ දන් දීමටයි. එවන් අසීරු කාර්යයක නියැළෙමින් දානමය පින් පුරන සත්පුරුෂයකු මෙවර ‘ගුණ රුව වරුණ’ විශේෂාංගයට එක්කර ගතිමි. ඔහු කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සභාපති, විදුර රණසිංහ මහතායි. ඔහුත් සමඟ කළ සාකච්ඡාවකි මේ.

මදි කියන දේ, බැහැ කියන දේ පාලනය කර ගෙන අනුන්ට දීමේ සිත ප්‍රගුණ කර ගැනීමට තරම් අපේ සිත නිර්භීත කරගත යුතුයි. අපේ සිත ශක්තිමත් කර ගත යුතුයි. නිවන් දකින්න භාවනාව අවශ්‍යයි. ඊට කලින් තෘෂ්ණාව නැතිකර ගත යුතු යි. ලෝබකම තියාගෙන භාවනා කිරීමෙන්, ඒ භාවනාවේ නියම ප්‍රතිඵල ගන්න අමාරුයි.

මගේ දරුවන් හතර දෙනාටම කුඩා කාලයේ සිටම අත්හැරීම පුරුදු කරලා තියෙන්නේ. එහි පළමු පියවර විදියට ඔවුන්ට කුඩා කාලයේදී ම සල්ලි එකතු කරන්න කැට හතරක් දුන්නා. ඒවායේ මුදල් එකතු වුණා ම ඔවුන්ගේ පරිහරණයට ගන්නේ නැහැ. බැංකු පොත්වල දමන්නේ නැහැ.. කැටයේ ඉදිරිපස බෝඩ් එකක් අලවනවා “මෙහි මුදල් ඕනෑම අයකුට පරිහරණය කළ හැකියි “ කියලා. ඉන්පසු එය පාර අයිනේ තිබෙන බෝගසක් යටින් තබනවා.

මගේ දරුවන් තරමක් වයසින් මුහුකුරා යත්ම මම ඔවුන්ට යම් දෙයක් පැවසුවා. මේ ගෙදර මිනී පෙට්ටි හයක් තියන්න වෙනවා. මේ හැම දරුවෙක්ට ම මිනී පෙට්ටි පහක් දකින්න වෙනවා. කවුරු ඉස්සර වෙනවා ද කියන්න බැහැ. මගේ දරුවෙක් හෙට මැරුණත් කම්පා වෙන්නේ නැහැ. මොකද ඒ අය ඉපදෙන්නේ කොහෙද කියලා මම දන්නවා.

මිනිස්සු හිතන්නේ සල්ලි තමයි ජිවිතේ කියලා. ඒක වැරැදියි. මම දරුවන්ට නිතරම කියන්නේ සල්ලි පස්සේ යන්න එපා කියලයි. මුදල් පසුපස ගියොත් අපට කෝටිපතියෙක් වෙන්න පුළුවන්. එහෙත් අපේ ගෙවල් අපායවල්. අපි ඉන්නේ අඳුරේ. හැබැයි සල්ලි අපේ පසුපස එන ක්‍රමය තමයි මේ ධර්මය තුළ ජිවත් වීම. සල්ලි ගලාගෙන එනවා. ඒ බව මා ප්‍රායෝගිකව දන්නවා.

මම බුරුමයට ගිහිල්ලා මාස දෙකක් තාවකාලික පැවිදි බව ලබා සිටියා. එහි කිසිම දවසක පහන් පත්තු කරනවා, මල් පුජා කරනවා දැක්කේ නැහැ. එහි තිබෙන්නේ හිත හදන වැඩපිළිවෙළක්. මේ මොහොතේ ජීවත්වීම උගන්වන්නේ. මේ ක්‍රමය පාදක කර ගනිමින් උඩඊරියගම ධම්මජිව ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් “සති පාසල “ ආරම්භ කළා. මම එහි අධ්‍යක්ෂවරයෙක් ලෙසට වැඩ කරනවා. මේ වැඩසටහන පාසල්වල ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වෙනවා. සතිය පුහුණු කළ දරුවාට මානසික පීඩනයක් නැහැ . අද සිංහල බෞද්ධයන්ට මානසික පීඩනය වැඩියි. මම හැම අවුරුද්දකම මානසික රෝහලට, පිළිකා රෝහලට හා ලාදුරු රෝහලට දානයක් දෙනවා.ඔබ විශ්වාස කරනවාද ? මානසික රෝහලේ 99% ඉන්නේ සිංහල බෞද්ධ තරුණයෝ. මුස්ලිම්, කතෝලික තරුණයෙක් දකින්නේ කලාතුරකින්.

අපි පින්දහම් කරනවා, ධර්මය පිළිපදිනවා. නමුත් තාපස ජිවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ . විවේක වෙලාවට පවුලේ හැමෝම එකතු වෙලා සින්දු කියනවා. සින්දු අහනවා. හැම සතියකට ම එක දවසක් එළියට ගිහිල්ලා කෑම ගන්නවා. එදාට මල්ලිගේ පවුලේ හැමෝමත් එකතු වෙනවා. අවුරුද්දට එක් වරක් නෑදෑයන් එකතු කරගෙන විනෝද ගමනක් යනවා. හැම ඥාතියෙක්ටම සලකනවා. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමින් පින්දහම් කරමින් ජිවත් වෙන්න පුළුවන් නම් මනුස්සයකුට වෙන මොනවද ඕනේ ?

පුළුවන් හැම මොහොතෙම කාට හරි පිහිටවෙන්න. ජිවිතේ කොතනකදීවත් වරදින්නේ නැහැ. සිරීපාදේ වැඩ වෙසෙන භාවනා යෝගී ස්වාමින් වහන්සේ කෙනෙක් පවසනවා. මනුස්ස ලෝකේ ලක්ෂ දහයක් මැරුණොත් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ එක පුද්ගලයෙක් පමණයි කියලා. “ පොඩ්ඩක් හිතන්න මේ අතර අපිත් ඉන්න පුළුවන් නේද ?

කොරෝනා කාලේ මාස දෙකක් බත් දන්සැල් දුන්නා. හැම මාසයක ම වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවා. නිවාස 14 ක් හදල දීලා තියෙනවා. ගර්භනී මාතා වැඩසටහන යටතේ මව්වරුන්ට බඩු මලු බෙදල දෙනවා. සිංහල අවුරුද්දට මේ පැත්තේ මිනිස්සුන්ට හාල් පොල් මල්ලක් දෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව, රෝගී තත්ත්වයේ පසුවන ස්වාමීන් වහන්සේට ඖෂධ ගැනීමට මුදල් ලබා දෙනවා.

ජීවිතය දෙස ආපසු හැරී බැලීමේ දී පුදුමාකාර සතුටක් දැනෙනවා. මේ අත් දෙකෙන් ඕනෑතරම් දන් දීලා තියෙනවා. පින්කම් කරලා තියෙනවා. හෙට මැරුණත් මම බය නැහැ. මොකද මම දන්නවා ඉපදෙන්නේ කොතැනද කියලා. කවදාවත් මනුෂ්‍ය ලෝකයෙන් පහළට වැටෙන්නේ නැහැ. අපි කළ හොඳ නරක සහ හිත විතරයි ගෙනියන්නේ. අවසන් හුස්ම හෙළන මොහොතේ අපේ හිතට දුක, තරහ, එන්න පුළුවන්. ඒ නිසා අන්තිම මොහොතේ කිසිවක් හා නොගැටී ඉන්න මේ හිත හදල තියන්න ඕනේ.

ඒ නිසා හැම විටම සූදානමින් ඉන්න. සිහියෙන් ජීවත් වෙන්න.

මා ඉතා අගය කරන රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොතක සඳහන් වූ බුද්ධ දේශනාවක් මෙහිදී සිහිපත් වේ. “තමා කරන ලද පින් ඇත්තෝ මෙලොව ද සතුටු වෙයි. පරලොව ද සතුටු වෙයි. දෙලොව ම සතුටු වෙයි. හෙතෙම තමාගේ පින්කම් ගැන මෙලොව සතුටු වෙයි. එහි විපාක විඳිමින් පරලොව වඩාත් සතුටු වෙයි. මෙහි අර්ථය ගළපා ගත් විට විදුර රණසිංහ මහතාගේ චින්තනය මැනවින් නිරූපණය වේ.

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුර පසළොස්වක පෝදා (15) පත්‍රයේ පළවිය