Print this Article


සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වූ යතිවරයාණෝ

සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වූ යතිවරයාණෝ

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසු ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 80 වැනි ජන්මදිනය නිමිත්තෙනි.

ශ්‍රේෂ්ඨ සඟ පරපුරෙන් පැවත ආ ඓතිහාසික වගකීම මැනවින් අවබෝධ කොට ගෙන ඒ සඳහා අප්‍රමාණ කැපකිරීමක් කළ ශ්‍රේෂ්ට යතිවරයකු ලෙස අපවත් වී වදාළ අපේ මාදුළුවාවේ සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ හඳුන්වාදිය හැකි ය.

1942 මැයි මස 29 වන දින කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි හා පතිරගේ දොන් පීරිස් අප්පුහාමි යන මව්පියන්ට පුත්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක මාදුළුවාව ග්‍රාමයේ දී උපත ලද උන්වහන්සේ මාදුළුවාව ග්‍රාමය මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ප්‍රචළිත කිරීමට තරම් භාග්‍යවන්ත වූහ.

මාදුළුවාව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය හදාළ උන්වහන්සේ පෙර පින් බෙලෙන් එවකට කෝට්ටේ නාග විහාරාධිපති ව වැඩ විසු මුල්ලේරියාවේ රේවත මාහිමියන් වහන්සේ,දේවහන්දියේ ශ්‍රී සද්ධාතිස්ස මහා නායක මාහිමියන් වහන්සේ, අංගම්පිටියේ ගුණරතන මාහිමියන් වහන්සේ යන යතිවරයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1955 මැයි මස 06 වැනි දින කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමයේ දී පැවිදි දිවියට පත් වූහ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇසුරින් සිය පැවිදි අධ්‍යාපනය හදාළ උන්වහන්සේ යක්කඩුවේ පඤ්ඤාරාම,කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර,බඹරැන්දේ සිරි සීවලී,කොටහේනේ පඤ්ඤාකිත්ති යන විශිෂ්ට යතිවරයන් වහන්සේ යටතේ උද්යෝගයෙන් අධ්‍යාපනය හදාරමින් පෙර කී යතිවරුන්ගේ ශාස්ත්‍රීය ඥානය පමණක් නොව පෞරුෂත්වය, රට දැය, සමය වෙනුවෙන් ඇති කැපකිරීම ආදී ගුණාංග ද සිය දිවියට සමීප කර ගත්හ.1962 ජුනි 15 වැනි දින කෝට්ටේ රාජමහා විහාරිය සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලද උන්වහන්සේ 1963 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

මූලික උපාධියෙන් අනතුරුව අධ්‍යාපන සේවයට එක් වූ උන් වහන්සේ උඩුවේ නාලන්දා පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙස කලක් කටයුතු කොට සිය ගුරු පරපුරෙහි කීර්තිමත් විද්‍යස්ථානයක් වන කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනෙහි පරිවේණාධිපති ධූරයට පත්ව එම තනතුර කලක් හොබවා ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපතින් වහන්සේ වශයෙන් විශ්‍රාම ගන්නා තෙක්ම සුවිශේෂී අධ්‍යාපනික මෙහෙවරක් කළහ. එමෙන්ම සිය ගුරු දේවයන් වහන්සේගේ ඇවෑමෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ධුරයට පත් වූ උන්වහන්සේ විහාරස්ථානය අංග සම්පුර්ණ ලෙස නිමවා ප්‍රදේශයට වටිනා සේවයක් කරන ස්ථානයක් බවට පත් කළහ.

තමන් වහන්සේ අයත් කෝට්ටේ මහා සංඝ සභාව මගින් අවස්ථා ගණනාවක දී ලබා දීමට සූදානම් වූ සියලු නායක පදවි ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ කාරක සභික ධුරයක් පමණක් දරමින් සංඝ සභාවට විශිෂ්ට මෙහෙවරක් කළහ.

ජාතික සංඝ සභාව,ජාතික වීර පදනම,සිංහල බල මණ්ඩලය,මවුබිම සුරැකීමේ සංවිධානය,සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ආදී කලින් කලට රටේ මතු වන විවිධ අභියෝග ජය ගැනීම උදෙසා විවිධ සංවිධාන නිර්මාණය කොට ගිහි පැවිදි කාගේත් සහයෝගය ඒවාට ලබා ගනිමින් ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අමිල ය.

කිසිදාක වරප්‍රසාද වෙනුවෙන් තමන් වහන්සේගේ ප්‍රතිපත්ති පාවා නොදුන් උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත් ප්‍රිය කළහ. කිව යුතු දෙය කිව යුත්තාට නොපැකිළව කීමත්, අව්‍යාජ නායකත්වයත්, වරප්‍රසාද වෙනුවෙන් අතර මගින් සටන් අත් නොහැරීමත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියත්,සුවිශේෂී පෞරුෂත්වයත්, කුමන අවස්ථාවක දී වුව ද ශ්‍රමණ සාරුප්‍යයට හානි නොවන ලෙස ක්‍රියා කිරීමත් ඉහත කි ප්‍රසාදයට හේතු වුහ.

ධර්ම දේශකයකු වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලු උන්වහන්සේ තරම් මෑත යුගයෙහි ධර්මදේශනා කළ වෙනත් ධර්ම දේශකයකු නැතිතරම් ය. උන්වහන්සේ සතු වූ ධර්ම ඥානයත්, ආරෝහ පරිනාහ දේහ විලාශයත්, වෙනත් කිසිවකුට හිමි නොවූ අපුරු කටහඬත්, සුමිහිරි භාෂා විලාශයත් ප්‍රකට ධර්ම දේශකයෙකු වීමට උන්වහන්සේට ශක්තියක් වූහ.

රටේත්, ලොවේත් කෙතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවත්, ජනප්‍රිය වුවත් පුහු අටෝපයන්ගෙන් තොර වූ උන්වහන්සේ ඕනෑම අයකුට පහසුවෙන් හමුවීමටත්, කතා බහ කිරීමටත්, ආරාධනාවක් කිරීමටත්, දුරකතනයෙන් සම්බන්ධ වීමටත් කලින් වෙලාවක් වෙන් කරගත යුතු වුවේ නැත. මහා මන්දිරයේ වුවත්, දුප්පත් පැල්පතේ වුවත් ලද ආරාධනාවෝ උන්වහන්සේ සතුටින් භාර ගත්හ.ඒවාට නිසි වෙලාවට වැඩමවා එම කටයුත්ත නිසි ලෙස කර දුන්හ. අළුයම අවදි වන උන්වහන්සේ සමහර දිනවලට උදේ හීල් දානයෙන් පසුව වැඩම කොට විවිධ පින්කම්, උත්සව, රැස්වීම්වලට වැඩමවා නැවත විහාරස්ථානයට වැඩම වන්නේ මධ්‍යම රාත්‍රියට ආසන්නව ය. නැවතත් පෙර දින මෙන්ම කාර්යබහුලව පොදු යහපත සඳහා කැප වි කටයුතු කළ උන්වහන්සේ තමන්ගේ පෞද්ගලික යහපත සුඛ විහරණයට වඩා පොදු සමාජයේ යහපත වෙනුවෙන් කැප වුහ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරාර්ථ චර්යාව සිය ජිවිතයේ ප්‍රමුඛතම වගකීම හා යුතුකම කර ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වැනි දින අපවත් වීමෙන් අප රටට, සසුනට ඇති වූ අඩුව තවත් දශක කිහිපයකටවත් සම්පුර්ණ වේදෝ යි සිතිය නොහැකි ය.උන්වහන්සේගේ අසූවන ජන්ම දිනය යෙදෙන මෙම අවස්ථාවේ උන්වහන්සේ නිරතුරුව බලාපොරොත්තු වූ යුක්තිය, සාධාරණය සැමට උරුම වන දේශයක් නිර්මාණය කිරීමට අප කැප වන්නෙමු නම් එය උන්වහන්සේට දක්වන උසස්ම ගෞරවය වනු ඇත. ඒ වෙනුවෙන් ගිහි පැවිදි අප කවුරුත් එකාවන් ව කැප වෙමු. අපේ මාදුළුවාවේ සෝභිත මාහිමියෝ නිවනින් සැනසෙත්වා.