සම්බුද්ධ පරිනිර්වාණය මෙසේ සිදු විය
ඌරුගමුවේ අස්සජී හිමි
බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ
පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ බේලුව ගමෙහි ය.
තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරණ බව ඉටා ගත්තේ එහි දී ය.
මේ අතර බුදුරදුන්ට ලෝහිත පක්ඛන්දිකා නම් බලවත් වේදනා සහිත මාරාන්තික වූ රෝගයක් හට
ගැනිණි. උන්වහන්සේ ඉදිරියට දස මාසයක් ම එම රෝගය යළි මතු නොවන ලෙස සමාපත්ති බලයෙන්
යටපත් කළහ. රෝගී භාවයෙන් මිදී බුදුරදුන් සුවසේ වැඩ සිටිනු දුටු ආනන්ද හිමියෝ බලවත්
සැනසිල්ලකින් උන්වහන්සේ සමීපයට පැමිණ මෙසේ පැවසූහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෝගීව සිටිනු දුටු මට බලවත් ශෝකයක් හට
ගැනිණි. මම සිහිය උපදවාගත නොහැකි තත්ත්වයකට පත්වීමි. දැන් ඔබ වහන්සේ ඉන් මිදී
සිටිනු දකින මාගේ සිතට ඇතිවනුයේ අපරිමිත සොම්නසකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට
අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නෙපානසේකැයි, සිතීමෙන් යන්තම් සිතට අස්වැසිල්ලක්
ඇති කරගත හැකි ය.”
මේ අසා සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“ආනන්දය, මම කිසිදු සැඟවීමක් නොකොට ධර්මය මනාව හෙළිදරව් කොට දේශනා කළෙමි.
ගුරුමුෂ්ටි කිසිවක් තබා නොගතිමි.
ආනන්දය, භික්ෂූන් වහන්සේ පාලනය කරමි'යි, කියා හෝ උන්වහන්සේ මා උදෙසා ජීවත්විය යුතු
ය, කියා හෝ කිසිදු අදහසක් මා තුළ නොමැත. මම දැන් අසූවැනි වියට පත්ව සිටිමි. දිරාගිය
ගැලක් උණපතුරු ආදිය තබා බැඳ පවත්වාගෙන යන්නේ යම් සේ ද මාගේ ශරීරය ද එපරිද්දෙන් ම
පවතී. ආනන්දය, එබැවින් තමා ම තමාට පිහිට කොට ධර්මය ම සරණකොට වාසය කරන්න.”
බේලුව ගමෙහි ගත කළ වස් කාලය නිම කළ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරට වැඩම කළහ. තමා
ළඟින් ඇසුරු කළ ශ්‍රාවකයන් හා දායක පිරිස් අවසන් වරට දැක බලා ගැනීමේ කැමැත්ත මත එහි
මඳ කලක් වැඩ සිටිමින් තව සිව් මසකින් තමන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව වදාළහ.
එය ඇසූ පෘථග්ජන භික්ෂූන් වහන්සේගෙන් සමහරක් කඳුළු වගුරවමින් හඬා වැළපුණහ.
ඇතැම් භික්ෂූන් වහන්සේ. “අපි කුමක් කරන්නෙමුදැ”යි, සිත සිතා තැන තැන රැස් වී කතා
කරමින් හුන්හ. රහතන් වහන්සේලාට ධර්ම සංවේගය පහළ විය. එහෙත් ඒ අතර සිටි ධම්මාරාම නම්
භික්ෂූන් වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේලා හා කතාබහට නොගියහ.
ශෝකීව හඬා නොවැළපුණහ. “බුදුරදුන් පිරිනිවීමට පෙර රහත් වන්නෙමි” යි, දැඩි සේ අදිටන්
කර ගත් උන්වහන්සේ පසෙකට වී හුදෙකලාව ධර්මය ආවර්ජනය කරමින් බවුන් වඩන්නට වූහ.
භික්ෂූන් වහන්සේ ධම්මාරාම තෙරුන්ට චෝදනා කරන නියායෙන් ඒ බව බුදුරදුන්ට සැළකර
සිටියහ.
එවිට බුදුරජාණන් වහන්සේ ධම්මාරාම තෙරුන් කැඳවා මේ කියන දේ සැබෑවක් දැයි විමසූහ.
ධම්මාරාම තෙරණුවෝ ස්වකීය අදහස කීහ. බුදුරදුන් එහිදී වදාළේ “මහණෙනි, මට හිත ඇති සෑම
කෙනෙක් ම මෙම ධම්මාරාම තෙරුන් ආදර්ශයට ගත යුතු ය.
මල් සුවඳ ආදියෙන් මා පුදන්නෝ නිසි ලෙස මා පුදන්නෝ නොවෙති. ධර්මානුකූලව පිළිවෙත්
පුරන්නෝ ම මා පුදන්නෝ වෙති” යි කියා යි.
මේ අතර අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම ආයු කාලය අවසන් වන බව වටහාගෙන බුදුරදුන්
වෙත වැඩමවා වැඳ පිරිනිවීමට අවසර ගත්හ.
මිථ්‍යාදෘෂ්ටිකව සිටි සිය මෑණියන් සොයා නාලක ගමට වැඩම කළ සැරියුත් තෙරණුවෝ මැණියන්
තිසරණයෙහි පිහිටුවා එහිදී ම පිරිනිවන් පා වදාළහ.
බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගේ සිරුර ආදාහනය කරවා සෑයක් ද ඉදි කරවා
රජගහනුවර බලා වැඩම කළ සේක. සැරියුත් තෙරණුවන් පිරිනිවි දෙසතියකින් මුගලන් තෙරණුවෝ ද
බුදුරදුන් වෙත වැඩමකර අවසර ගෙන කාල සීලාවේ දී පිරිනිවන් පෑහ.
බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරණුවන්ගේ ආදාහන කටයුතු ද කරවා සෑයක් ඉදිකරවීමෙන්
අනතුරුව උක්කවේලා නියම්ගමට වැඩම කළහ. නැවතත් විශාලා මහනුවරට වැඩම කළ උන්වහන්සේ එහි
චාපාලචේතිය නම් ස්ථානයෙහි විසූහ.
එහිදී ආනන්ද හිමි අමතා මෙසේ වදාළහ.
“ආනන්දය, සතර සෘද්ධිපාද මැනවින් ප්‍රගුණ කළ කෙනකුට කැමති නම් ආයු කල්පයක් හෝ ඊට වඩා
මඳක් වැඩි කාලයක් හෝ ජීවත්විය හැකි ය.
තථාගතයන් වහන්සේ එකී සතර සෘද්ධිපාද වඩා ඇති හෙයින් ඒ සඳහා සමත්කම් දක්වන්නාහු” ය.
බුදුරදුන්ගේ මෙම ප්‍රකාශයෙහි අදහස තේරුම් ගැනීමෙහි හැකියාවක් ආනන්ද හිමියන්ට ඒ
මොහොතේ නොතිබිණි.
ඒ බුද්ධ පරිනිර්වාණය ගැන සිතමින් බලවත් සිත් වේදනාවකින් සිටි හෙයිනි. එබැවින් ආයු
කල්පයක් හෝ ඊට වඩා මදක් වැඩි කලක් වැඩසිටින ලෙස ඇරයුම් කිරීමක් සිදු නොවුණි.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත් හැරියහ.
තව තුන් මසකින් පිරිනිවන් පානා බව ප්‍රකාශ කළහ. එවිට ආනන්ද හිමියෝ දැඩි ලෙස කම්පාවට
පත්ව ආයු කල්පයක් වැඩ සිටින ලෙස තෙවතාවක් ම ඉල්ලා සිටියහ. එවිට
“ආනන්දය, එම ඉල්ලීම සිදු කිරීමට මෙය අවස්ථාව නොවේ” යැයි ප්‍රකාශ කරමින් බුදුරජාණන්
වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ.
“ආනන්ද හිමි එම ඉල්ලීම සිදු කළ යුතුව තිබුණේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය
අත්හැරීමට පෙරයි.
මෙම ප්‍රකාශයෙන් පසු සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ දැනුම්දීම සඳහා ආනන්ද හිමියන්
මඟින් විශාලා මහනුවර කූටාගාර ශාලාවට භික්ෂූන් වහන්සේ රැස්කර වූ බුදුරජාණන් වහන්සේ
මෙසේ දේශනා කළහ.
“මහණෙනි, කරුණාවෙන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්ම නැසෙන ස්වභාවයෙන් යුක්ත ය.
එළඹ සිටි සිහි ඇතිව ගුණ ධර්ම වඩන්න. මෙයින් තුන් මසක් ගිය තැන තථාගතයන් වහන්සේ
පිරිනිවන් පාන සේක.
මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය හා යශෝධරා තෙරණිය බුදුරදුන් වැඳ සමුගෙන ගොස් පිරිනිවන්
පා වදාළේ ද මේ සමයේ දී ය. අවසන් වරට විශාලා මහනුවරින් පිටත්වීමට පෙර බුදුරජාණන්
වහන්සේ
“ආනන්දය, මා විශාලා මහනුවර දකිනන අවසාන අවස්ථාව මෙය යැ”යි පවසමින් සම්පූර්ණ බුදු
සිරුර ආපසු හරවා ඇත් බැල්මෙන් නුවර දෙස බැලූහ. විශාලාවෙන් පිටත් වූ බුදුරජාණන්
වහන්සේ පිළිවෙලින් භාණ්ඩගාම, හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම යන ගම් පසුකොට භෝග නගරයට
වැඩම කළහ.
එහිදී සතර මහාපදේස දේශනා කළහ. ධර්ම විනය නිවැරැදි ලෙස තේරුම් ගැනීම සඳහා අනුගමනය කළ
යුතු පිළිවෙත එයින් ප්‍රකාශිත ය.
අනතුරුව බුදුරජාණන් වහන්සේ භෝග නගරයෙන් පාවා නුවරට වැඩම කළහ. එහි චුන්දකර්මාර
පුත්‍රයාගේ අඹ වනයෙහි වැඩ විසූහ.
ඒ බව දැනගත් චුන්දකර්මාර පුත්‍රයා වහා එහි ගොස් බණ අසා පැහැදී බුද්ධ ප්‍රමුඛ මහා
සංඝ රත්නයට දනට ඇරයුම් කළේ ය. එදින දානය සඳහා සූකර මද්දවය නම් වූ විශේෂිත ආහාරය ද
පිළියෙල කෙරිණි.
මෙහිදී දස මසකට පෙර බුදුරදුන්ට ඇති වූ ලෝහිත පක්ඛන්දිකා රෝගය යළිත් හට ගැනිණි. මනා
සිහිනුවණින් යුක්තව එම රෝග පීඩාව ද ඉවසූ උන්වහන්සේ භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන
කුසිනාරා නුවර බලා වැඩම කළහ. අතරමඟ දී උන්වහන්සේට බලවත් වෙහෙසක්, ක්ලාන්ත ගතියක් සේ
ම බලවත් පිපාසයක් ද හට ගැනිණ.
මහ රුකක් මුල සඟල සිවුර සතරට නමා බිම එළා වැඩ සිටි උන්වහන්සේ “ආනන්දය, මට පිපාසයි,
පැන් ටිකක් සොයාගෙන එන්නැ”යි, වදාළහ.
ආනන්ද හිමියෝ අසල වූ කුඩා නදියකින් පැන් ගෙන පිළිගැන්වූහ. එකල්හි ආළාරකාලාම තවුසා
ගේ ශ්‍රාවකයකු වූ පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා බුදුරදුන් දැක වැඳ එකත්පසෙක හිඳ
ගත්තේ ය.
බුදුරදුන්ගෙන් බණ අසා තෙරුවන් සරණ ගිය ඔහු උන්වහන්සේට සිනිඳු සළු යුවලක් පිදී ය.
ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට ඒවා පෙර වූහ. ඒ මොහොතේ බුදුබව ලැබූ වේලෙහි මෙන්
උන්වහන්සේගේ මුළු බුදු සිරුරම දීප්තියෙන් බබළන්නට විය.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන කුකුත්ථා නදිය වෙත වැඩම කළහ.
එම නදියෙන් පැන් වළඳා පැන් සනහා අසල වූ අඹ වනයට පිවිසි උන්වහන්සේට යළිත් තද ක්ලාන්ත
ගතියක් ඇති විය.
එබැවින් චුන්ද තෙරුන් ලවා සඟල සිවුර බිම අතුරවා ගසක් මුල සිංහ සෙය්‍යාවෙන් සැතපුණහ.
අනතුරුව ස්නානය කොට පැමිණි ආනන්ද තෙරුන් අමතා බුදුවන්නට පෙර සුජාතාව දුන් දානයත්,
පෙර දින චුන්දකර්මාර පුත්‍රයා දුන් දානයත් එක සමාන ආනිශංස ඇති බව වදාළහ.
සිය දානය නිසා බුදුරදුන් රෝගාතුර වූයේ යැයි චුන්දකර්මාර පුත්‍රයාට යම් චිත්ත
පීඩාවක් ඇති වුවහොත් ඔහුට කරුණු කියාදී සිත සනසන ලෙස ද වදාළහ.
එතැනින් පිටත් වූ බුදුරජාණන් වහන්සේ හිරණ්‍යවතී නදියෙන් එතෙරව කුසිනාරා නුවරට වැඩම
කළහ.
මල්ල රජ දරුවන් ගේ උපවත්තන සල් උයන තුළ සල් ගස් දෙකක් අතර අනඳ තෙරුන් විසින් පනවන
ලද සයනයෙහි සිංහ සෙය්‍යාවෙන් සැතපුණු සේක.
සම්බුද්ධ පරිනිර්වාණය ආසන්නව පවත්නා බව දත් පෘථග්ජන භික්ෂූන් වහන්සේ ශෝකයට පත්ව
වැළපෙන්නට වූහ. එහිදී එම භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ
සැදැහැතියන් විසින් දැක සංවේගය පහළ කළ යුතු ස්ථාන සතරක් පිළිබඳව වදාළහ.
එනම් බුදුරදුන් උපන් තැන, සම්බුද්ධත්වය ලැබූ තැන, දම්සක් දෙසූ තැන හා පිරිනිව්
තැනයි.
පිරිනිව් බුදු සිරුර කෙරෙහි සක්විති රජ කෙනකුගේ ශරීරයට මෙන් උපහාර දැක්විය යුතු බව
ද බුදු, පසේ බුදු, මහරහත්, සක්විති රජ යන සිව් දෙන ස්තූප තනා පිදිය යුත්තන් බව ද
තවදුරටත් වදාළහ.
මෙම කරුණු පහදන විට බුදුරදුන් තමා අත්හැර යන මොහොත ළඟා වන බව වටහාගත් ආනන්ද හිමියනට
දරාගත නොහැකි ශෝකයක් උපන්නේ ය. උන්වහන්සේ හඬා වැළපෙන්නට වූහ. එවිට ආනන්ද තෙරුන්
කැඳවූ බුදුරජාණන් වහන්සේ ධර්මාවවාදයෙන් සිත සැනසූහ. බුද්ධෝපස්ථානය මැනවින් සිදු කළ
අයුරු වදාරා එය අගය කළහ.
උත්සාහයෙන් ක්‍රියාකොට ඉතා ඉක්මනින් රහත්විය හැකි බව ද පෙන්වා දුන්හ. ඒ සමඟම
භික්ෂූන් වහන්සේ අමතා ආනන්ද හිමියන්ගේ ගුණ වර්ණනා කළහ.
බුදුරජාණන් වහන්සේ තමන් එදින රාත්‍රියේ පශ්චිම යාමයෙහි පිරිනිවන් පා වදාරන බව මල්ල
රජදරුවන්ට ආනන්ද හිමියන් අත දන්වා යැවුවේ ඉන් පසුව යි.
කුසිනාරාපුර මල්ල රජ දරුවෝ එම පුවත අසා ශෝකී හරිතව බුදුරදුන් වෙත පැමිණ අවසන් වරට
දැක වන්දනා කළහ. ඒ මොහොතේ සුභද්‍ර නම් පිරිවැජියෙක් බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට
ආනන්ද හිමියන්ගෙන් අවසර ඉල්ලීය.
ආනන්ද හිමියෝ අවසර නොදුන්හ. බුදුරජාණන් වහන්සේට මේ කතාබහ ඇසී සුභද්‍රට තමා වෙත
පැමිණීමට අවසර ලබා දුන්හ. එහිදී බුදුරදුන් දෙසූ බණ අසා සුභද්‍ර සෝවාන් විය. ඉන්පසු
බුදුරදුන්ගෛ් අවසරය පරිදි ආනන්ද තෙරණුවෝ ඔහු පැවිදි කළහ.
එවේලෙහි හෙතෙම විදසුන් වඩා බුදුරදුන් ධරමාණයේ දී පැවිදිව රහත් වූ අන්තිම රහත්
ශ්‍රාවකයා වීමේ භාග්‍යය උදාකර ගත්තේ ය.
පසුව භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ තෙරුවන් පිළිබඳ යම් සැකයක් ඇතොත් තමන්
වහන්සේගෙන් විචාරා දැන ගන්නා ලෙසත්, එයට ඉඩක් නොලැබුණේ යැයි පසුව පසුතැවිලි නොවන
ලෙසත් වදාළහ.
බුද්ධ ගෞරවය නිසා ප්‍රශ්න නොඅසන්නේ නම් යහළුවකු මඟින් හෝ සැක ඇති තැන් විමසන්නැයි ද
වදාළහ. එහෙත් කිසිවෙක් ප්‍රශ්න නො ඇසූහ.
අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි
වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් වදාළහ.
“මහණෙනි දැන් ඔබ අමතමි.
සංස්කාර ධර්ම නැසෙන සුලුය. එබැවින් නොපමාව සසුන් කිස සම්පූර්ණ කරත්වා” යනු එහි
අර්ථය යි. මේ බුදුරදුන් ගේ අන්තිම අවවාදය යි.
උපවත්තන සල් උයන අකලට පිපුණු සල් මලින් ගැවසී ගත්තේ ය. බුදුරදුන්ට උපහාර කරන්නාක්
මෙන් මල් රේණු හා මල් පෙති බුදුසිරුර මතට සෙමෙන් පතිත විය.
බුදුරජාණන් වහන්සේ සිය උපතින් අසූවන විය සපිරුණු වෙසක් පුර පසළොස්වක පොහෝදා
රාත්‍රියේ අලුයම උදාවට පෙර සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව සිය ජීවිතයෙන් ම
තහවුරු කොට අනුපදිසේස පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.
එසැණින් මහ පොළොව කම්පා වූයේ සම්බුද්ධ පරිනිර්වාණය මුළු ලොවට දැනුම් දීමට මෙනි.
රැය පහන් විය. අනුරුද්ධ තෙරුන්ගේ නියමයෙන් ආනන්ද තෙරණුවෝ බුදුරදුන් පිරිනිවි බව
මල්ල රජදරුවන්ට දැන්වූහ. ඔවුහු රැස් වී හඬා වැළපී ආදාහන කටයුතු සංවිධානය කළහ.
බුදු සිරුර සත් දිනක් ම එම සල් උයනේ තබාගෙන පුද පූජා පැවැත්වූ හ. අටවැනි දින මල්ල
රජවරුන් අභිෂේක කෙරෙන ස්ථානය වූ මකුටබන්ධන නම් ශාලාවට වැඩම කරවා බුදු සිරුර එහි
තැන්පත් කළහ.
රජ දරුවෝ ආනන්ද හිමියන්ගේ උපදෙසින් බුදු සිරුර නව කසී සළුවෙන් හා නෙලූ කපු
පුළුන්වලින් වෙලා සුවඳ තෙල් පිරුණු රන් දෙණක බහා තවත් රන් දෙණකින් වැසූහ. සෑම
වර්ගයකට ම අයත් සුවඳ දර පිර වූ සෑයක තැන්පත් කළහ. මල්ල කුමරුවෝ සිව් දෙනෙක් සුවඳ
පැනින් හිස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරසී චිතකයට ගිනි දැල්වූහ. එහෙත් එය
නොදැල්විණ.
අනුරුද්ධ මහතෙරුන් වහන්සේගෙන් එයට හේතුව විමසූ විට මහා කාශ්‍යප මහතෙරුන් වහන්සේ
වැඩමවන තුරු ප්‍රමාද කළ යුතු යැයි, හෙළි කෙරිණි.
මහා කාශ්‍යප තෙරුන් වැඩමවා බුදු සිරුර පැදකුණු කොට වැඳ සමුගැනීමෙන් පසුව චිතකය
දැල්විණි.
තුන් ලොවක් සනසා වදාළ සහස්‍ර සංඛ්‍යාත ගිහි පැවිදි ශ්‍රාවක සමූහයකට දහම් මඟ පෙන්වා
නිවන් සුවය වෙත යොමු කළ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් වූ ඒ අසහාය
ශාස්තෘවරයාණන් තවත් වසර දස දහස් ගණනක් පුරාවට පැතිර යන ධර්මාලෝකයක් ශේෂ කරමින්
පිරිනිවන් පා වදාළේ එලෙසිනි. |