Print this Article


වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරවාසී

ධර්මාලෝකයෙන් ලෝකය දකිමු

“අථඛෝ භන්තේ සක්කෝ දේවානමින්දෝ..."

“දික් සඟියට අයත් මහාගෝවින්ද” සූත්‍රයේ පඤ්ඤසිඛ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අභිමුව මෙසේ ප්‍රකාශ කළේ ය. බුදුරජාණන් වහන්සේ කවුද? “බුද්ධ” කියා ව්‍යවහාර වන්නේ ඇයි? උන්වහන්සේ ම එහි අදහස සේල” සූත්‍රයේ දී පෙන්වා දී තිබේ.

දත යුතු දේ මම දැන ගත්තා, වැඩිය යුතු දේ මම වැඩුවා . දුරු කළ යුතු දේ මම දුරු කළා. එනිසා මට “බුද්ධ යැයි කියයි. බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරමින් “ධම්මචක්කප්පවත්තන සූත්‍රය” ගෙනහැර දක්වමින් මට ආර්ය සත්‍ය පරිවර්තන රවුම් තුනක් ඇති, ආකාර දොළහක් ඇති නියම අවබෝධ ය ලැබුණා.

ඉන්පසු තමයි දෙවියන්, බඹුන් මිනිසුන් සහිත ලෝකයාට මම “බුදු” බව ප්‍රතිඥා කළේ.

ඇයි බුදු හිමිට “බුදුරජ” කියා ආමන්ත්‍රණය කරන්නේ? මැදුම් සඟියේ සේල සූත්‍රයේ සේල බමුණා බුදුරජුන් පිළිබඳ නොයෙක් ආකාරයේ වර්ණනා කළා. ඔබ වහන්සේ චක්‍රවර්ති රජෙක් වීමට සුදුසුයි. එනිසා රජකම අරන් රජ කරන්න යැයි ප්‍රකාශ කළා. එහි දී බුදු හාමුදුරුවෝ සේල බ්‍රාහ්මණයාට මෙසේ වදාරනවා.

“රාජාහස්මි සේල ධම්මරාජා අනුත්තරෝ ධම්මේන චක්කං චක්කෙමි චක්කං අප්පතිවත්තියං” ඔව් සේල මම රජෙක් තමා, කෙබඳු රජෙක් ද? මගේ ධර්මය මගේ ගුරුයි. මම ධර්ම රාජ්‍යයේ රජුයි. කවර රජකෙනෙක්, කවර චක්‍රවර්ති රජ කෙනෙක් කවර ශ්‍රමණයෙක්, කවර බ්‍රාහ්මණයෙක්. කවර මාරයෙක් නොපැවැත්වූ චක්‍රයක් මා ප්‍රකාශ කළා. මා දේශනා කළ ඒ ධර්ම චක්‍රයෙන් ආඥා පතුරවමින් මම රජ කරමි.

සේල බ්‍රාහ්මණයා - ඔබ වහන්සේ රජෙක් නම් ධර්ම සේනාධිපති කෝ, ධර්ම භාණ්ඩාගාරික කෝ. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මගේ ධර්ම සේනාධිපති සැරියුත් මහරහතුන් ය. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් ය යනුවෙනි.

එමෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බුදු දහමේ ම සුවාසු දහසක් ධර්මස්කන්ධය තුළ දේශනා කළේ උත්තම ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ය. ඒ ධර්මය පිහිට කොට ඇත්තේ පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද වශයෙනි.

අනුන්ගේ උපදේශයකින් තොරව තමා විසින් ම අවබෝධ කරගත් නිසා, සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවින් “සම්මා සම්බුද්ධ” නම් විය.

ලෝකයාට දහම් එළිය ලබා දෙමින් ගෞතම බුදුසසුන ආරම්භ විය. වසර 45 මුඵල්ලේ දේශනා කරමින් බෞද්ධ දර්ශනය, ශිෂ්ටාචාරය ලෝකයාට ලබා දුනි.

භික්ෂුවගේ භික්ෂු ජීවිතය සනාථ කරමින් සිල්වත් මහණ තෙමේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර විය යුතු වූවත් භික්ෂූන්ට පැන වූ ශික්ෂා 227 රැකීම තුළින් හාත්පසින් ම ආරක්ෂාව ලැබෙන බවත් පෙන්වා දෙන ලදී. ගිහියාට පංචශීලය, ආෂ්ටාංග ශීලය ප්‍රතිපදා වශයෙන් දාන, ශීල, භාවනා ආරක්ෂා කිරීම තමාගේ හිතසුව පිණිස පවතින බව වදාරන ලදී.

චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තායහිතාය සුඛාය දේව මනුස්සානං...... ප්‍රථම ධර්ම දූත සේවාව ආරම්භ කරමින් බුදු සසුනේ, ධර්ම රාජ්‍යයේ ප්‍රතිපත්ති මාලාව ලෝකයා උදෙසා ව්‍යාප්ත කරමින් බොහෝ දෙනාගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ ධර්ම රාජ්‍යයක් බිහිකර නිවන් මඟ පෑදූ අයුරු පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසේ නායකත්වය දරමින් ධර්ම රාජ්‍යයේ නායකත්වය තුළ ලෝක සත්වයාට කළ මෙහෙවර කොතෙක් දැයි දැන යුතු ය. බුදුරජාණන් වහන්සේ ධර්ම රාජ්‍යයේ නායකත්ව දරමින් මහා කරුණා ගුණය, ප්‍රඥාව උපයෝගී කරගෙන සතවෙත කළ මෙහෙය කෙබඳු ද? බුදුරජාණන් වහන්සේ “දසබලධාරී” නම් කාය ශක්තිය මෙන් ම ඤාණ ශක්තියෙන් ද යුතු වූහ.

අද ලෝකය පුරාම නීතිය හා නීතියේ ආධිපත්‍ය ගැන විචාර දක්වනවා. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශවයේ යහපැවැත් ම රැකීම සඳහා ධර්ම රාජ්‍යයේ පාලනය පිණිස නීතිමාලා සකස් කළා. ඒ සඳහා සොයා බලන්න., පරීක්ෂා කරන්න පොලිසිය හමුදාව දැම්මේ නැහැ. ඒ සඳහා තමාගෙන් පසු ධර්මය හා විනය මත ක්‍රියා කරන ප්‍රජාවක් බිහිකිරීම උන්වහන්සෙස්ගේ උතුම් ශ්‍රේෂ්ඨ නායකත්ව ලක්ෂණ විදහාපානවා. අවවාද මෙන් ම ආදර්ශ පදනම් ව විනීත වූ ද, ව්‍යක්ත වූ ද, විශාරද වූ ද, සඟ පිරිසක් ඇති කිරිමට කටයුතු කළා.

බුදුරජාණන් වහන්සේ සර්වබලධාරී දෙවියකු නොව මාර්ගෝපදේශකයකු ලෙස ක්‍රියා කළා. අක්ඛාතාරො තථාගතා” භේද නොතකා සියල්ලෝ ම එකම ආකාරයෙන් ක්‍රියා කළ අයුරු බොහෝ තැන්වල දැකිය හැකියි. සුනීත සෝපාක, මාතංග ආදී චරිත ද, මංමුළා වූ, නොමඟ ගිය නන්ද, ඛේමා, කාල සිටු ඇතුළු පිරිසට ද දෙව්දත් ඇතුළු වෛරී චරිත ද එක සේ සලකා කටයුතු කළේ නියම නායකත්වයේ ලක්ෂණ නිසාවෙනි.

එසේ ම දේශනාවට වඩා සාකච්ඡාවට සම්මුතියට මඟ පාදා දීම. ඇත්ත ඇතිසැටියෙන් දැකීමටත්, වරද වරද ලෙස පිළිගැනීමටත් දූරදර්ශී නායකත්වයේ ප්‍රධාන ලක්ෂණයක්. එනිසා ම අන්‍ය මතවාද ඉවසන, අන්‍යයන්ගේ අදහස් ගරු කරන, යුතුකම් හා වගකීම් ඉටු කරන ගෞරවනීය සමජයක්, ධර්මානුකූල ප්‍රතිපත්තිමත පිහිටා ක්‍රියා කරන ප්‍රජාවක් බිහිකිරීම උන්වහන්සේගේ ප්‍රධාන අරමුණක් විය. සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය පරාභව සූත්‍රය, වසල සූත්‍රය ආදී සූත්‍ර දේශනා හා එහි නියම හරය රාජ්‍ය පාලනයට එන්නා වූ ද, ඉන්නා වූ ද පාලකයන්ට කොතරම් අගනේ ද?

බුදුරජාණන් වහන්සේගේ ධර්ම රාජ්‍ය අපට අද කොතෙක් වැදගත් ද, ධර්ම රාජ්‍ය හා අධර්ම රාජ්‍ය වශයෙන් එදත් තිබිණි. දසරාජ ධර්ම ප්‍රතිපත්ති ධාර්මික පාලනයට පාලකයකු තුළ තිබිය යුතු වේ. ගුණයෙන් හා ධර්මයෙන් පාලනය කරන රටක් සුඛිත මුදිත වන බව “දීඝනිකායේ කූටදන්ත සූත්‍රය” පෙන්වා දෙයි. ජය පැරදුම නැති සමාජයක් තුළ සාමය රජ වේ.

මෛත්‍රීය, කරුණාව, නීතිගරුකව යුක්තිය පසඳලීම ධර්ම රාජ්‍යක අරමුණ වේ. සමාජය තුළ සාමය සමගිය ඇතිවීම පරම සත්‍ය හෙවත් නිවන් මඟ පිණිසම හේතු වේ. අපිත් ඒ උතුම් දහම් එළියෙන් ලෝකය දෙස බලා, අන්ධකාරයෙන් ආලෝකය දැක, සසර ගමනින් එතෙර වන්නට උත්සාහ කරමු.