Print this Article


තිලොවටම සෙත සෑදූ බෝමැඩ විප්ලවය

තිලොවටම සෙත සෑදූ බෝමැඩ විප්ලවය

බොහෝ ඈත සමයෙක – දුරාතීතයේ දී එක්තරා තරුණ පුතකු ස්වකීය මෑණියන් ද සමඟ වෙළෙඳ ගමනක් යද්දී සමුද්‍ර තරණයේ දී මහ සමුදුර මැද කුණාටුවකට හසුව නෞකාව කැඩී බිඳී සිඳී මුහුදුබත් විය. එකල තම ප්‍රාණ සම මෑණියන් සිය කරපිට තබා ගත් මේ සූර, වීර, ධීර පුතණුවෝ අම්මගෙ පණ කඳ සුරකින්නට ගත සිත සවිබල ගන්වා අධිෂ්ඨානශීලිව, උට්ඨාන වීර්යයෙන්, උදම්රළ ගෙඩි හා පොර බදිමින් සිහිල් සඳරැස් ඇති රාත්‍රියේ ද, උණුසුම් හිරු එළියේ ද ගොඩබිමක් සොයා දින ගණනාවක් ම පිහිණුවෝ ය. මේ වනාහි අප මහා බෝසතාණන් ම ය.

මේ දෘඨ ව්‍යායාමය – අප්‍රතිහත ධෛර්යය, උත්කෘෂ්ට වෑයම නිසා සක්දෙව් රද පඬුපුල් අස්න, රත් වී ගියේ ය. ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ පෙළහරින් මහ මුහුදත්, ගොඩබිමත් අතර දුර ප්‍රමාණය අඩුවුණි.

මතු බුදුවන්නට වරම් ඇත්තේ මෙබඳු පුරුෂයකුට ම යැයි සිතා බුදුවීමේ අධ්‍යාශ්‍ය – අදහස අසීමිත මාතෘ ස්නේහයෙන් යුතුව මව් කරපිට තබා පිහිනන මේ සත්පුරුෂයාගේ හදසන්තානයේ රෝපණය කළේ ය.

දින කිහිපයකින් මව් තුමියගේ ජීවිතය රකිමින් ගොඩබිමට බට මොහොතේ ඉහවහා ගිය පුත්‍ර ස්නේහයෙන්, බලවත් දරු පෙමින්, අසීර පුතුගේ හිස මත දෙඅත් තබා ගත්, මෑණියෝ අනේ, මගෙ පුතා මතු බුදුවේවායි සපථ කළෝ ය.

අති දීර්ඝ සංසාර ගමනක යෙදී උපනූපන් සත්වග කෙරෙහි පතළ මහ දයාවෙන් ස්වකීය මෑණියන් කර පිට තබා මහ සයුරින් එතෙර කළ පරිදි සංසාර සමුද්‍රයෙන් අනන්තාපරිමාණ සත්වග එතෙර කරවන්නෙමි’යි යන උදාර පැතුමෙන් මහ බෝසතාණෝ භවයක් භවයක් පාසා උතුම් සම්බෝධිය පිණිස බුද්ධාංකුර ධර්මයන් පූර්ණය කළෝ ය.

බුදුවීමේ අධ්‍යාශය, අපේක්ෂාව, අභිමතාර්ථය උදෙසා වාග් ප්‍රණිධාන පූරණය කරමින් මහ මඟ මහමඩ වළක ඒදණ්ඩක් ලෙසින් මුණින් අතට නැමී දිගාවී දීපංකර බුදුරදහු මගේ ඇඟ - සිරුර, මතින් වඩිත්වා'යි කෙනකුට සිතා ගත නොහැකි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් එදා දීපංකර බුදුරදුහු පිදූහ.

අසාමාන්‍ය පූජාවකින් බුදුරදුන් පිදූ මේ සැදැහැති බමුණු තෙමේ කවරෙක් දැයි පිරික්සූ ත්‍රිභූවනශේඛර දීපංකර බුදුරජාණෝ මොහු මතු ගෞතම නමින් සම්මා සම්බුදු වන බවට නියත විවරණ දුන් සේක. මෙය අබිනීහාරයයි. එනම් ලොව්තුරා බුදු කෙනකුන් ඉදිරියේ බුදුබව පැතීමයි.

එදා පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පාරමිතා, උප පාරමිතා,පරමත්ථ පාරමිතා වශයෙන් සසර වැද, දස පෙරුම්දම් පිරූ සේක් මේ භයංකර බිහිසුණු සසර සැඩ පහරින් එතෙරව අනන්තාපරිමාණ සත්ව සංහතිය ද එතෙර කරවන්නෙමි’ය යන පරම පවිත්‍ර නිමල පැතුමෙනි.

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා

ලෝකයාට අසීමිත සේවාවක් සිදුකරන්නේ ය යන අරුතින් යුතු සිද්ධාර්ථ නමින් වෙසක් පුන් පොහෝදා ලුම්බිණී සාල වනෝද්‍යානයේ දී සංසාර චාරිකාවේ අවසාන නැවතුම්පොළ – අන්තිම ජන්මය දක්වා ම මහ බෝසතාණෝ දිවි පරදුවට තබා ඇඟ, මස, ලේ දන් දී උතුම් බුදුබව උදෙසා සුදුසුකම් සපුරාලූ සේක.

සුදොවුන් මහ රජතුමා ප්‍රමුඛ ශාක්‍ය ඥාති සමූහයා රජකම පවරා යස ඉසුරු දී සසර රඳන්නට මඟ තනද්දීි සිදුහත් මහ බෝසතාණෝ සසරින් මිදෙන්නට මාවත සොයා සුඛෝපභෝගී දිවි පෙවෙත, සුකුමාල පි‍්‍රයම්බිකා – දයාබරිත පාදපරිචාරිකාව යශෝධරාව ද, කිරිකැටි රාහුල පුතණුවන් ද හැරදා, අනුපිය අඹ වනයට වැද ආර්ය පර්යේෂණයේ විමුක්ති මාවතේ ව්‍යාවෘත වූහ. සකල ලෝ දනන් වෙත පෑ අසමාන මෙත් කරුණාධ්‍යාශයෙනි.

වින්ද්‍යා කෝෂ්ඨයේ අෂ්ටසමාපත්තිලාභි ආලාරකාළාම, රාමපුත්ත උදාක ආදි ඍෂිවරුන්ගේ ඉගැන්වීම් ප්‍රගුණ කොට වඩා, එයද සංසාර මහෝඝයෙන් එතෙර වීමේ මඟ නොවන බැව් දැන නෙත්සිත් පැහැර ගන්නා ප්‍රසාද ජනක උරුවෙල නිල්දලා, ගංතෙර වන පියසේ හුදකලාව බවුන් වඩන්නට වූහ.

සසර ගමනේ නිමාව, උන්වහන්සේ ආධ්‍යාත්මික පර්යේෂණයේ ගවේෂණයේ නිමග්න වූ සේක. ඉමහත් වෙර වීරියෙන් භාවනාවේ යෙදුණූ උන්වහන්සේට වරපටකින් හිස වැරෙන් බැන්ද පරිද්දෙන් දරුණු හිසරුජා ඇතිවුණ ද, උදරයේ බලවත් වේදනා හටගත්ත ද, ඒ සියල්ල උතුම් සම්බෝධිය පතා උන්වහන්සේ ඉවසූ සේක.

භාවනා පිළිවෙත නොසිඳ අඛණ්ඩව ප්‍රගුණ කළහ. වැඩූහ. සේනානි නිගමයෙන් මුල් කල පිණ්ඩපාතය සරි කර ගත්ත ද පසුවභාවනා වැඩූ තැනට පතිත වූ ඵලපත්‍රාදියෙන් දිවි පැවැත්වූහ.

කයට දැනුණු සියලු වේදනා නොතකා සත්‍ය ගවේෂණ පර්යේෂණයේ නිරත වූ සේක. ආහාර නොවළඳා සිරුරට අධික දුක් දීමෙන් විටෙක උන්වහන්සේ සක්මන් මලුවෙහි අප්‍රාණික ව ඇද වැටුණාහ. සිදුහත් මහ බෝසතුන් මෙබඳු අතිදුෂ්කර භාවනා, ව්‍යායාම් අභ්‍යාස නොකඩවා පවත්වාගෙන යන විට මෙසේ ක්ලාන්තව, ඇදවැටුණු විටෙක ඒ බැව් දුටු එක්තරා දේවතාවෙක් සිද්ධාර්ථ තවුසාණන් කළුරිය කළේ යැයි සිතා මහ බෝසතුන් කළුරිය කළේ යැයි සුදොවුන් පිය රජතුමාට දැන්වූවේ ය.

බුදුව මිස මහ බෝසතුන්ගේ දිවි නොනැසෙන බැව් පවසා දේවතාවාගේ පණිවුඩය රජතුමා නොඇදහුවේ ය. මහ බෝසතාණන් වහන්සේ පුරා සය වසක් මෙසේ සිරුරට අපමණ දුක් දී විමුක්තිය සෙවූ හ.

එවිට බෝසත් සිරුර දුර්වර්ණ විය. හිස අතුගෑ විට කෙස් ගැලවී වැටුණේ ය. බඩ සම ඇල්ලූ කල පිටකොන්ද ඇළිණ. සමින්, නහරින් වැසුණු ඇටසැකිල්ලක් බවට උන්වහන්සේ පත්වූහ.

පුරා වසර හයක් මේ සා දුෂ්කර ක්‍රියාත්කොට විමුක්තිය නොලත් තැන මෙය ද විමුක්ති මඟ නොවේ යැයි ඉඳුරා දැන යළිදු පිඬුසිඟා ලද අහරින් කය සතපා අනතුරුවැ සමාධිය වැඩූහ.

එදා බෝසතුන්ට උවටැන් කළ පස්වග තවුසෝ මහ සතාණන් හැර දමා ඍෂිපතනයට වැඩම කළේ බෝසතුන් දුෂ්කර ක්‍රියා හැරදැමූ නිසාවෙනි. කාය විවේකයෙන් දින කිහිපයක් ගත කළ බෝසත් තවුසාණෝ නැවත ලොව්තුරා ප්‍රඥාව පිණිස අෂ්ටසමාපත්ති පංචාභිඥා වැඩීමේ ආධ්‍යාත්මික පිළිවෙතෙහි නිමග්න වූ සේක. පසුව බෝමැඬ වෙත අවුත් මේ ශරීරයේ සම්, මස්, ඇට, නහර වියැළී ගිය ද සම්බෝධිය ලබා මිස මින් නොනැඟිටිමි’යි යන චතුරංග සමන්වාගත, වීර්යයෙන් වජ්‍රාසනයේ අපරාජිතවැ වැඩහුන් සේක.

ගිරිමේඛලා ඇතු පිට නැඟී වසවතු දසබිම්බරක් මරු සෙන් සමඟ විත් මහ බෝසතුන්ට වජ්‍රාසනයේ අයිතිය ගැන ප්‍රශ්න නඟා ඉන් ඉවත් කරලීමට තර්ජනාංගුලිය එසවුවේ ය. භයංකර දසුන්, බියකරු ශබ්ද, දුර්නිමිති මවා පා බෝසතුන් බිය වැද්දීමට, පලවා හැරීමට තැත් කළහ. මේ කිසිවෙකින් පසු නොබා මහසත්හු ‘තමන් වහන්සේ වජ්‍රාසනයේ අපරාජිත බව ද, ඉන් විජය ශී‍්‍ර ලබා මිස නොනගිටිමි’යි මාරයාට පැවසූහ. අති දීර්ඝතර සංසාර ගමනේ දී පිරූ බුද්ධාංකුර ධර්මයන් ම ඊට හේතු බැව් මහ බෝසතාණෝ දකුණත් ශ්‍රී හස්තය දිගුකරමින් හිරු සඳු තරු කැට ගන අඳුරු පිරි රාත්‍රියේ ද, කඨෝර අව් රශ්මියෙන් රැඳි ගී‍්‍රෂ්ම දහවලේ ද, කප්සුවහස් කල් පෙරුම් පුරාගෙන මා පිරූ ගුණ සමුදායට මහ පොළොව සාක්ෂි යැයි පවසත් ම මහ පොළොව ප්‍රකම්පිතව ගිගුම් දෙන්නට විය. දසබිම්බරක් මරු සෙනඟ භීතියට පත්වැ හිස් ලූ ලූ අත පළා ගියහ.

මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් අව අටවක පෝදා (22) පත්‍රයේ පළවේ.