Print this Article


කූරගල රාජමහා විහාරය මතු පරපුරට රැක ගන්නට ඕනෑ - වතුරකුඹුරේ ධම්මරතන නා හිමි

කූරගල රාජමහා විහාරය මතු පරපුරට රැක ගන්නට ඕනෑ - වතුරකුඹුරේ ධම්මරතන නා හිමි

සබරගමු පළාතේ පිහිටා ඇති බොහෝ ඓතිහාසික ස්ථාන අතර කූරගල මහා පුදබිමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන මෙම පූජා භූමිය හෙළයාගේ ප්‍රෞඪත්වය විදහා දක්වයි.

ඈත අතීතයේ මහ රහතන් වහන්සේ සමාධි සුවයෙන් වැඩසිටි ඓතිහාසික කූරගල රාජ මහා විහාරය බෞද්ධ අපගෙන් ගිලිහී ගොස් තිබූ පින් බිමකි. 1960 දශකයේ අගභාගයේ සහ 1970 දශකයේ මුල් භාගයේ දී රත්නපුර සුධර්මශාලා පිරිවෙන් පරිවේනාධිපති පණ්ඩිත වටද්දර ඤාණිස්සර නාහිමියන්ට මෙම පින්බිම ගැන දැන ගන්නට ලැබුණි. එදා සිට කූරගල පුදබිම බේරා ගැනීමට මහත් වෙහෙසක් ගත් උන්වහන්සේගේ ජීවය වූයේ මේ කූරගල යි.

කූරගල පිළිබඳ සමාජ කතිකාවක් සහ එම පුද බිම ගොඩනැඟීමෙහිලා ජාතික ව්‍යාපාරයන් හි ද නිර්මාතෘ වූ අපගේ ඤාණිස්සර නා හිමියෝ අප්‍රමාණ කැපකිරීම් කළහ. මේ අයුරින් කටයුතු කරන අතරතුර කාගේත් අවධානය යොමු වූයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෙතට ය. එහි නිර්මාතෘ වූ වතුරකුඹුරේ ධම්මරතන නාමය පුදබිම භාර කිරීමට යෝජනා විය.

ඒ අනුව දීර්ඝ කාලයක් ගුරු සිසු පරම්පරාවෙන් ආ මෙම පින්බිම අපගේ ධම්මරතන හිමියන් වෙත අතපැන් වත්කොට පිරිත් දේශනා මධ්‍යයේ ප්‍රතිනිර්මාණය කිරීමේ අදහසින් භාරකාරත්වය පවරන ලදී. එදා සිට දිස්ත්‍රික් හයකටත්, පළාත් හතරකටත් ශාක්‍ය සුගත මහා සෑරදුන් වහන්සේ දිස්වෙන පරිදි ඉදිකිරීම් ඇරැඹිණි.

අපේ උරුමය සුරකිමින් මේ භාරදුර කාර්යය වසරක් වැනි කෙටි කාලයකින් ඉදිකර ගෞතම සම්බුදු සසුනට පූජා කිරීමට මහත් වෙහෙසක් ගත්තේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ ය. සුවහසක් බොදුනුවන්ගේ ශ්‍රමයෙන්, ධනයෙන්, ශක්තියෙන්, දහඩියෙන් ඉදි වූ ඓතිහාසික පින්බිම පිළිබඳ වතුරකුඹුරේ ධම්මරතන හාමුදුරුවෝ අදහස් පළ කළේ මෙලෙසිනි.

මා මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා විහාරයේ මුල්ලේගම පරපුරේ මහා විහාරයේ භික්ෂුවක්. අපේ මහා විහාරයට හිමි වූ දැවැන්ත විහාර කර්මාන්තය මේ කූරගල පින් බිමයි. 2021 මාර්තු 28 දා “යළි පිබිදෙන කූරගල” යන ශීර්ෂ පාඨය ඔස්සේ කූරගල විහාරය නැවත වතාවත් ගොඩනැඟීමේ අරමුණෙන් මා විශ්වාස කොට පවරා දුන්නා.

කූරගල කියන්නේ අවුරුදු 2300ක ලිඛිත ඉතිහාසයක් ඇති ථේරීය සම්ප්‍රදාය රැක ගත් ආරණ්‍ය සේනාසනයක්. එය ලාංකීය රහතන් වහන්සේ වැඩ සිටි ඓතිහාසික පුද බිමක්. කාලයක් පුරාවට වෙනත් ආගමික නිකායන්ට අයත් පිරිස් අත්පත් කර ගත් නිසා බුද්ධ ශාසනයටත් බෞද්ධ අපටත් මේ පින්බිම අහිමි වුණා.

1971 සිට 2021 දක්වා ලංකාවේ සිටි සිංහල බෞද්ධ ජනතාව කූරගල රැක ගන්න ඕනෑ, නැවත අපට ලබා ගන්න ඕනෑ, සංවර්ධනය කරන්න ඕනෑ කියන හැඟීමෙන් අරගල කළා. ලාංකීය භික්ෂු වංශකතාව තුළත්, ලාංකීය ශාසන වංශකතාව තුළත් ලාංකීය ඉතිහාසය තුළත්, විහාරයක් නැවත ඉල්ලා අරගල කළා නම්, ඒ එකම විහාරය කූරගල යි. රජ දවසේ නම් රජතුමා සුදුසු ඉඩමක් බලා එතැන විහාරයක් ඉදි කළා. රට වැසියා එතැන විහාරයක් ඕනෑ කියලා අරගල කළේ නැහැ. එහෙත් අද වන විට රට වැසියා අවුරුදු පනහක් තිස්සේ විහාරස්ථානය නැවත අපට ඕනෑ කියා අරගල කර දිනා ගත් එකම පින්බිම මෙම ස්ථානය යි.

නෙල්ලිගල හාමුදුරුවන්ට හිතිලා කූරගල ගොඩ නැඟුවා නොවේ. අවුරුදු 50 රටේ පැවිදි ගිහි උතුමෝ අරගල කරනවා කූරගල විහාරය මතු පරපුරට රැක ගැනීම උදෙසා. අවුරුදු 50 අපට මේ පින්බිමේ ගඩොල් කැටයක්වත් තබා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. පසුගිය අවුරුදු 50 තුළම කූරගල මහා පුදබිම බේරාගන්න සටන් කළ ඒ අමිහිරි අතීතයට තිත තබා 2021 මාර්තු 28 වැනි දා අපි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කළේ “යළි පිබිදෙන කූරගල” නමිනුයි යුගයේ අසිදිසි මහා විහාර කර්මාන්තය ගොඩනැඟුණේ එලෙසිනුයි.

අපි නෙල්ලිගල සිට මෙහි පැමිණ, මේ ස්ථානයේ පදිංචි වෙලා රටට ම කියා සිටියා පැවිදි වේවා, ගිහි වේවා අපෙන් පසුව නැවත කූරගල වෙනුවෙන් අරගල කරන්නට ඉඩ තබන්නේ නැහැ කියා. ඒ අදහස අද යථාර්ථයක් වී තිබෙනවා. කූරගලට මේ වෙසක් සඳ පායද්දී පැවිද්දාට හෝ ගිහියාට කූරගල වෙනුවෙන් අරගල කරන්නට දෙයක් ඉතිරි වී නැහැ. එදා අපි කියා සිටියා 2022 වෙසක් සඳ පායන්නේ කූරගල සුදෝ සදුවන් රැසින් බබළන මහා සෑයේ රන්වන් කොත මතටයි කියා. අඩි 130 උස අසදිසි ශාක්‍ය සුගත මහා සෑය වසරක් වගේ කාලයක දී නිර්මාණය කළා. සබරගමු පළාතේ තිබෙන විශාලතම සෑය වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා සහ නෙරන්ජලා සරෝජනී මැතිනිය මුල්වෙලා එහි රන්කොත පළඳා අනගාරික ගෞතම බුද්ධ ශාසනයට වෙසක් පුන් පෝ දා පූජා කරනවා.

ඒ වගේම දිස්නා වනිගසේකර සහ චන්ද්‍රසේකර වික්‍රමරත්න පින්වතුන් මුල්වෙලා ශාක්‍ය සුගත දම් සභා මණ්ඩපය මතු පරපුර වෙනුවෙන් බුද්ධ ශාසනයට පූජා කරනවා.

භාග්‍යවතුන් වහන්සේගේ සහ රහත් උතුමන්ගේ ධාතුන් වහන්සේ තැම්පත් කොට ශාක්‍ය සුගත සුගන්ද කුටියක් ඉතාම විශිෂ්ට කර්මාන්තයක් ලෙස සම්බුද්ධ ශාසනයට පූජා කරනවා.

එලෙසම මෙම් ප්‍රදේශයට අධිපති ආර්ය ශ්‍රාවක සම්‍යක් දෘෂ්ටික සුමන සමන් දෙවියන්ගේ විශාලතම ප්‍රතිමාව මේ වන විට ඉදිවෙමින් පවතිනවා. මේ සියල්ලම පූජනීය ඉදිකිරීම්. මේ පූජනීය ඉදිකිරීම්වලට අමතරව කූරගල උද්‍යානයක් තැනවීමට අදහස් කරනවා. ශ්‍රී ලංකාවේ දැවැන්තම පියගැට පෙළත් මෙහි ඉදිවෙනවා.

අවුරුදු 50 කූරගල වෙනුවෙන් අරගල කළ පැවිදි ගිහි උතුමන් අනුස්මරණය කිරීම උදෙසා මේ දැවැන්ත පියගැට නිර්මාණය වුණා. එය ඔවුන්ට උපහාරයක් යැයි මම සිතනවා.

මංමාවත්, වැව් ආදී සෑම දෙයක් ම පොදු මානව වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා වෙසක් සඳ පායා එනවිට අප දායාද කරනවා.

අප මේ පින්බිම කලාප හතරක් ඔස්සේ සංවර්ධනය කිරීමටයි බලාපොරොත්තුව. පළමුවැන්න පූජා භූමිය යි. එහි කටයුතු නිමාවී තිබෙනවා. පූජා භූමියේ ආමිස කලාපය යි මෙසේ නිමාවට පත් වුණේ. ආධ්‍යාත්මික කලාපය ලෙස කුටි සෙනසුන් නිර්මාණය වෙනවා. එය මේ වසරේ තනවා නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අප අධ්‍යාපන කලාපයක් ලෙස සුගත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ශාක්‍ය සුගත සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කළා. රටේ පවතින භාණ්ඩ හිඟය නිසා එය අපට නිමාවට පත්කර ගන්නට නොහැකි වූවා. මේ වසර අවසානයේ අධ්‍යාපන කලාපයට අයත් ඒ සියල්ලම නිමාවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රදේශයේ සිටින ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි ආර්ථික කලාපයක් ලෙස කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එයත් නිසි ඉලක්කයකට නිමාවට පත්කර ගැනීමට නොහැකි වූයේ රටේ ඇති වූ තත්ත්වය නිස යි. නමුත් මේ වසර තුළ එයත් නිමාවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ සංකල්ප හතරම එකතුව ලංකාවේ නිර්මාණය වූ එකම සහ ප්‍රථම විහාරස්ථානය කූරගල රාජමහා විහාරය බව අපි සඳහන් කරන්න ඕනෑ. රජය මඟින් මෙම පුදබිම මතු ආරක්ෂාව පිණිස පූජා භූමියක් ලෙස නම් කළා. වසරක් වැනි කාලයක අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනංවා රාජ්‍ය වෙසක් උත්සවයක් පැවැත්වෙන ප්‍රථම ස්ථානය මේ කූරගල පුදබිම යි. එය සුවිශේෂී අවස්ථාවක්.

අක්කර 150 ක දැවැන්ත පුද බිමක සෑම පංචායතනයක් සමඟම මේ විහාරංගය ගොඩනැඟුණා. ඉලක්කගත කාලය තුළදී අප එය අවසන් කළා.

මේ කූරගල පුදබිම පුබුද පුබුද නොතබා එය අප පුබුදුවා අවසන් කළා. වෙසක් පෝ දිනෙන් පසු අපි යළි පිබිදෙන කූරගල වචනය වෙනුවට පිබිදුන කූරගල ලෙසට පත් කරනවා.

මෙම පින්බිම රජය විසින් පුජා භූමියක් ලෙස නම් කිරීම මතු ආරක්ෂාව පිණිස හේතු වෙනවා. අප මෙම පින්බිම ගොඩනැඟුවාට වැඩිය ශ්‍රේෂ්ඨ වන්නේ පුදබිම මතු පරපුරට රැක දෙන යාන්ත්‍රණයක් හදන එකයි. එහි ප්‍රබලම දේ තමා එය පූජා භූමියක් ලෙස ගැසට් කරන එක.

මෙම පුදබිම මෙසේ ඉදිකිරීමට මුදල් කොහෙන්ද කියා යමකුට සිතෙන්න පුළුවන්. අප මේ වන විට ලක්ෂ මිලියන 1500 ක් මේ පුදබිම ඉදිකිරීමට යොදවා තිබෙනවා. ඒ සියලු මුදල් අපි කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයන්ගෙන් ලබාගෙන නැහැ.

මේ රටේ තෙරුවන් සරණ ගිය අහිංසක මිනිසුන් ලබා දුන් මහජන ආධාර මුදල්වලින්, ඔවුන් පූජා කළ තුටු පඬුරුවලින් ඉතිහාසයේ ගොඩනැඟුණ දැවැන්තම නිර්මාණය මේ පුදබිම යි. රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයක් නැතුව මිනිසුන්ගේ තුටුපඬුරුවලින් මේ මෑත ඉතිහාසයේ ගොඩනැඟුන ශ්‍රේෂ්ඨ විහාර කර්මාන්තය කූරගල වීම ගැන අපට තිබෙන්නේ සතුටක්.

මම බුදු සසුනට සේවය කරන්න කැමැති කෙනෙක්. අර්බුදයක් තිබෙන ස්ථානයක් වේවා, නැති තැනක් වේවා මගෙන් සේවය අවශ්‍ය නම් මම ඒ සඳහා ඉදිරිපත් වෙනවා. කූරගල රැඳී සිටිනවා කියා දෙයක් නැහැ.

ලොව පුරා වසංගතයක් පැතිරෙන කාලයක, විපත්ති කාලයක, මිනිසුන් මාරයා සමඟ, බඩගින්න සමඟ සටන් කරන කාලයක තමයි අපි මේ පින්බිම ඉදිකිරීමට පටන් ගත්තේ. ආර්ථික, වසංගත, දේශපාලන අර්බුද තුනට ම මේ වසර තුළ දී අපට මුහුණ දෙන්න සිදුවුණා. මේ රටේ මිනිසුන් දුක සේ ඉදිකළ පුදබිම කූරගල කියා මම හඳුන්වන්නේ එනිස යි.

සෑම අතින්ම මේ පින්බිම ශාසනික යි. මෙහි තිබෙන සෑම ගඩොලකම අහිංසක මිනිසුන්ගේ දුක වගේම ශ්‍රද්ධාවත් තැවරී තිබෙනවා. එනිසා කූරගල කියන්නේ ලාංකීය ශාසන වංශකතාවේ 21 වැනි සියවසේ දෙවැනි දශකයේ ජීවත්වන මිනිසුන්ගේ ශ්‍රද්ධාව අනාගත පරපුරට දායාද කරපු පරම පවිත්‍ර නිර්මාණයක්. ඔවුන්ගේ ශ්‍රද්ධාව, කැපවීම, ශාස්තෘ ගෞරවය, උරුමය රැක ගැනීමට තිබෙන වුවමනාව ආදී මේ හැම දෙයක්ම එහි ගැබ් වී තිබෙනවා.

ඉලක්කගත වසරක වැනි කාලයක ලංකාවේ නිර්මාණය වූ මෙම දැවැන්ත විහාර කර්මාන්තයට ලක්ෂ 20 කට වැඩි ශ්‍රම දායකත්වයක් ලැබුණා. අවුරුදු දහස් ගණනකට පසු ලාංකීය ඉතිහාසයේ ඉදි වූ ප්‍රථම හා එකම විහාරස්ථානය මෙයයි.

මැයි 15 සිට 22 දක්වා රාජ්‍ය වෙසක් කලාපය මෙම විහාරස්ථානයේ පැවැත්වෙනවා. ආමිස, සංස්කෘතික ශාසනික කලාපය කියා කලාප තුනකින් වෙසක් කලාප පවත්වනවා.

අපගේ ශාස්තෘන් වහන්සේගේ ගුණයක් වන කරන දේ කියන, කියන දේ කරන ගුණය අපටත් තිබෙනවා. එනිසා අපි වෙසක් සඳ පායා එද්දී මේ පින්බිම සම්බුදු සසුනට පූජා කරන බව පැවසුවා. එලෙසම එය අප සිදු කළා.

මෙම පින්බිමට මුල්ගල තැබූ තැන පටන් මා විශ්වාස කරමින් මුද්‍රිත අනුග්‍රහය ලබා දුන්නේ ලේක්හවුස් ආයතනය යි. මුද්‍රිත මාධ්‍යයක් වශයෙන් ඔවුන් මේ පින්බිම සමාජගත කිරීමට අනුග්‍රහ නොඅඩුව ලබා දුන්නා. මේ කටයුත්ත නිමාවට පත්වෙන මේ මොහොතේ ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුලු සියලු දෙනාටත්, ලේක්හවුස් පාඨකයන්ටත් අප පින් අනුමෝදන් කරනවා.

- නයනා නිල්මිණී

ඡායාරූප - ගයාන් පුෂ්පික