Print this Article


ජීවිතයට වටිනාකමක් දෙන්න

ජීවිතයට වටිනාකමක් දෙන්න

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින සමයෙහි එහි ධම්මික නම් උපාසකයෙක් සිටියේ ය. ඔහු දැහැමි ය. බොහෝ උපාසකයන්ට ප්‍රධාන වූයේ ය. උපදෙස් දීමෙහි ද සමතෙකි. මිල මුදල් අතින් දිළිඳු වූව ද ගුණධර්මයන්ගෙන් පොහොසත් ය. සිල් ගුණයෙන් පොහොසත් ය.

ඔහුට දරුවන් දහ හතර දෙනෙකි. ඒ දියණිවරු හත් දෙනෙක් හා පුතුන් හත් දෙනෙක් ලෙසිනි. බිරිඳ ද ඔහුට ම සැසඳෙන්නී ය. ගුණවන්ත ය. සිල්වන්ත ය. තම සැමියා, ධම්මික උපාසක සේ ම පිනට දහමට ද බොහෝ ලැදිය. දරුවෝ ද මව්පියන්ගේ අඩි පාරේ ම ගමන් කළහ. දන් පින් කළහ. ගුණයහපත් වූහ.

මෙසේ දැහැමෙන් සෙමෙන් කාලය ගෙවී ගියේ ය. ධම්මික උපාසක ද කෙමෙන් මහලු විය. ලෙඩ රෝගයන්ට ද මුහුණ දෙන්නට විය. මරණාසන්න මොහොතට එළඹුණි. තම පියා වයෝවෘද්ධ වූව ද දහම් ඇසීමටත්, සංඝයා වහන්සේ දැකීමටත් ඉතා කැමැත්තෙන් සිටින බව දරුවෝ දනිති.

වහා වහා තම නිවසට සංඝයා වහන්සේ වැඩම වීම සඳහා දෙවුරම් වෙහෙරට ගියහ. තම පියා ගැන පවසමින් සංඝයා වහන්සේට නිවසට වඩින ලෙස ගෞරවයෙන් ආරාධනා කළහ. සංඝයා වහන්සේ දොළොස් නමක් එම නිවසට වැඩම කළහ.

ධම්මික උපාසක වැතිරී සිටි සයනය වටා පණවා තිබූ අසුන්හි වැඩ සිටියහ. ධම්මික උපාසකතුමාට මහත් සතුටක් දැනුණි.

“මේ සිල්වතුන් වහන්සේ දැකීම මට මහත් වාසනාවකි. මම ජරාවෙන් හා රෝගයෙන් පෙළෙමි. මගේ ඉඳුරන් දුබල ය. එහෙයින් මම බොහෝ පුහුණු කරන ලද “සතිපට්ඨාන” සූත්‍රය දේශනා කරන ලෙස සංඝයා වහන්සේගෙන් ඉල්ලීමක් කළේ ය.

සංඝයා වහන්සේ ද සතිපට්ඨාන සූත්‍රය දේශනා කළහ. මේ අවස්ථාවේ දී දෙව්ලොව දෙවියන් ද අහසෙහි පෙනී සිටියහ. ධම්මික උපාසකතුමාට ගති නිමිති පහළ විය.

තමන්ගේ මරණින් පසු පිළිගැනීමට පැමිණි දෙවියන් අහසෙහි සිට කරන ආරාධනය නො පිළිගත්තේ ය. සතිපට්ඨාන සූත්‍ර දේශනය, දේශනා කොට අවසන් නො මැති නිසාත්, එම දේශනයට තමා ඉතා කැමැත්තෙන් සවන් දෙමින් සිටින නිසාත් දෙවියන්ට ටිකක් නවතින ලෙස ධම්මික උපාසක පැවැසී ය. දෙවියන්ට කළ මේ දැනුම් දීම සංඝයා වහන්සේ තමන්ට කළ අයැදුමක් ලෙස සලකා ධර්ම දේශනය නවතා පෙරළා දෙවුරම් වෙහෙරට වැඩම කළහ.

ධම්මික උපාසක කලුරිය කොට තුසිත දෙව්ලොව උපන්නේ ය. මෙම සිදුවීම සංඝයා වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකර සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “ධම්මික උපාසකට ගති නිමිති පහළ වූ බවත්, ඔහු දෙව්ලොව රැගෙන යෑමට පැමිණි දෙවියන් සමඟ ඇති වූ දෙබස භික්ෂූන් වහන්සේට පැවසුවා යැයි සිතා දෙවුරම් වෙහෙරට ආපසු වැඩම කොට ඇති බවත් ය.

ඉධ මොදති පෙච්ච මොදති
කත පුඤ්ඤො උභයත්ථ මොදති
සො මොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනො

කුසල් කළ තැනැත්තා මෙලොව සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොවෙහි ම සතුටු වේ. තමා ගේ පිරිසුදු වූ කුසල් දැක සතුටු වේ. වෙසෙසින් ම සතුටු වේ.

පින් කළවුන් මෙලොවත් සතුටු වෙමින් පරලොවත් අපමණ සැප විඳ බොහෝ සෙයින් සතුටුවන බව වදාළ සේක.

දුර්ලභ වූ මනුෂ්‍ය ජිවිතයක් අපි සියලු දෙනා ම ලබා ඇත්තෙමු. එයින් ද උතුම්ම අවස්ථාව වන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය මුණ ගැසීමයි. ඒ වගේ ම ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ ද ආයු කාලය වේගයෙන් පිරිහෙමින් පවතී. එම ආයු කාලය ද අප සියලු දෙනාට ම එක හා සමාන නොවේ. ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව ඕනෑ ම මොහොතක් ජීවිතයේ අවසන් මොහොත විය හැකි ය. මෙම උපත සහ මරණය අතර කාලය ගෙවී යන්නේ බොහෝ දුක්ඛ දෝමනස්සයන් සමඟිනි. එයට හේතුව ලෙසින් තථාගත ධර්මයේ පෙන්නා දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, උපායාස, පරිළාහ, මෙන් ම අප්‍රියයන් හා එකතුවන්නට සිදුවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දෑ ඉටුනොවීම ආදී වශයෙනි. කෙටියෙන් මෙය සඳහන් කරන්නේ නම් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සිට ගතවෙන සෑම මොහොතක් පාසාම එනම් සෑම ක්ෂණයක් පාසාම ජීවිත කාලය අවසන් වන අතර මරණයට සමීප වීම ලෙසයි. මේ ආකාරයෙන් ගතවෙන අපේ ජීවිතය තුළ දහම් ඇස පාදාගෙන සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යක් ප්‍රධන් වීර්යය පවත්වා ගත යුතු බවට නිතර මෙනෙහි කරන්න. පස් පව්, දස අකුසල්වලින් මිදෙන්නට යැයි මොනතරම් පැවසුව ද වැඩි පිරිසක් ඒ ගැන නොසිත යි. එයට හේතුව නම් දුර්ලභව ලබා ඇති මෙම මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කර නො ගැනීමයි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් තිස් එකක් සක්වල උපත ලබා ඇති සියලු සත්වයෝ ඔවුන්ගේ අතීත සසරෙහි උපත ලබා ඇත්තේ සතර අපායේ ය. සතර අපායේ ඉපිද ඉන් නිදහස් වීමට නොහැකිව කල්ප ගණන් දුක් විඳ ඇත්තේ ය. ඒ වගේ ම ප්‍රේත විෂයෙහි අපි ද අපවිත්‍ර දෑ ආහාරයට ගනිමින් වචනයකින් කියා නිමකළ නොහැකි තරම් දුක්විඳ ඇත්තෝ ය. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ බව, අපට පියවී ඇසින් දැක ගත හැකි තිරිසන් අපාය දකින විට අවබෝධ නොවේ ද? ඉතා ම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය අප ලබා ඇති බව සිහිපත් කොට ඉන් උතුම්ම ප්‍රයෝජන ලැබීමට වීර්යය ආරම්භ කළ යුතු ය.

පස් පව් දස අකුසල් නොකළ යුතුය. අතීත සසරෙහි විඳි අපමණ දුක් නැවත නැවත සිහිපත් කරමින් ද, ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගැන සිහිපත් කරමින් එයට වටිනාකමක් දිය යුතුය.