සදහම් සිසිලෙන් ලෝ සත නිවාලු
අසමසම
ශාස්තෘන් වහන්සේ
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ
කර්මවාගාචාර්ය
කෝට්ටේ සිරි
පැරකුම්බා පරිවේණාධිපති
මහියංගණයේ පඤ්ඤානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ පහළ වූ ක්‍රිස්තුපුර්ව හය වන සියවසේ භාරතීය සමාජය පැවතියේ වඩාත්
සංකීර්ණ ස්වභාවයක ය. ඥාන ගවේෂණයේ යෙදුන කිං කුසල ගවේෂී වූ සමාජය තුළ පැවතියේ වඩාත්
ආකුල වූ ආගමික පසුබිමකි.
පැවති ආගමික,සාමාජික පරිසරය උඩු යටිකුරු කළ එම යුගයෙහි පහළ වූ අසහාය ශාස්තෘන්
වහන්සේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.උන්වහන්සේ නව ගමන් මාර්ගයක ආරම්භය
සමාජයට දායාද කළ අතර, පැවති වැරැදි සංකල්ප නිවැරැදි අරමුණු කරා රැගෙන යාමට ද මඟ
පෙන්වුහ.
ගතානුගතිකත්වයෙන් ඔබ්බට ගිය උන්වහන්සේ ආගමික වශයෙන් හා සමාජයීය වශයෙන් පීඩිතව සිටි
ජනයාට සැනසීමේ අරුණලු පාදා දුන් ප්‍රගතිශීලි ශ්‍රේෂ්ටතම ශාස්තෘන් වහන්සේ
වුහ.උන්වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ශාස්තෘ වුහ.
කුල භේදය ඉස්මතු කරමින් සමාජයේ ඉහළම වරප්‍රසාද හිමි කර ගත් බමුණන් කුල හීනයන් අතිශය
ඛේදනීය ඉරණමකට තල්ලු කර තිබුණි.
දිනක් බුදුරජාණන් වහන්සේ මහමඟ වැඩමවීමේ දී උන්වහන්සේ දැක කානුවකට බැස සැඟවුණ සුනීත
නම් කසල ශෝධකයා දැක ඔහු හා සාකච්ඡා කොට බියෙන් බිරාන්තව සිටි ඔහුව විහාරස්ථානයට ගෙන
ගොස් පැවිදි කිරීමෙන් මුළු මහත් සමාජය තුළම මහත් ආන්දෝලනයක් ඇති කළ උන්වහන්සේ ඕනෑම
අයකුට සසුනට ඇතුළත් වී සසුනින් අපේක්ෂිත අරමුණු සාධනයට ඉඩකඩ ඈති බව පෙන්වා දුනි.
කුල භේදය දැඩිව පැවතී එවන් සමාජයක ආගමික නිදහස අහුරා වරප්‍රසාද ලත් කණ්ඩායමක්
විසින් ආක්‍රමණය කර තිබු ආගමික නිදහස සියලු ප්‍රජාවටම දායාද කිරීමට උන්වහන්සේ ගත්
එකී ප්‍රගතිශීලී පියවර සුවිශේෂ ය.
වසල සූත්‍රයේ දී උන්වහන්සේ පෙන්වා දුන්නේ මිනිසා බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ
ක්‍රියාකාරිත්වය නිසා මිස උපතින් නොවන බවයි.
පුරුෂාධිපත්‍යයෙන් දැඩි පීඩාවකට පත් කර තිබු කාන්තාවන්ට සැනසිලිමත් ජීවිතයකට මග
පෑදුනේ භික්ෂුණී ශාසනය නිසා ය.
භාරතීය සමාජයේ ආගමික නිදහස අහුරා සුවිශේෂී පිරිසකට පමණක් අවස්ථාව සලසා දී තිබුණත්
එකී ආගමික මතවාද විවේචනය,විමර්ශනය කිරීමක් හෝ ප්‍රශ්න කිරීමක් කිරීමට කිසිදු ඉඩක්
නොතිබුණි.
එහෙත් බුදුරජාණන් වහන්සේ ස්වකීය ධර්මය යටපත්ව පැවතීමෙන් නොව විවෘතව පැවතීමෙන් ම
බබළන බව වදාරා තිබීමෙන් ධර්මය සාකච්ඡා කිරීමට මඟ පාදා ඇත.එපමණක් නොව කාලාම සුත්‍රයට
අනුව ධර්මය පිළිබඳ විශ්වාසය ඇති කර ගත යුත්තේ කෙසේදැයි දීර්ඝව පහදා තිබේ.
ඇසු පමණින්, පරපුරෙන් පරපුරට පැමිණි පමණින්, මෙය මෙසේ යැයි මිනිසුන් අතර පැතිර
පවතින පමණින්, උගත් ග්‍රන්ථවල තිබු පමණින්, තර්කයට අනුකූල වූ පමණින්, න්‍යායට
අනුකූල වූ පමණින්, පෙනෙන ආකාරයට නිවැරැදි යැයි හැඟුණ පමණින්, තමන් පිළිගත් දෘෂ්ටියට
ගැළපුණ පමණින්, ප්‍රකාශ කරන්නාගේ යහපත් බව නිසා හෝ මේ අපගේ ගුරුවරයා ය යන හැඟීමෙන්
යමක් නොපිළිගත යුතු බව එහිදී පැහැදිලි කොට ඇත.
මේ ධර්මය අකුසලය, සාවද්‍යය, නුවණැත්තන් විසින් ගර්හිත ය. මේ ධර්ම සමාදන් වි
සම්පුර්ණ කිරීම අවැඩ පිණිස දුක පිණිස හේතු වන බව තමාට ම වැටහේ නම් දුරු කළ යුතු
බවත්, මේ ධර්මය කුසලය, නිරවද්‍යය, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන්නෝ ය.
මේ ධර්ම සමාදන් වී සම්පුර්ණ කිරීම හිත සුව පිණිස හේතු වන බව තමාට ම වැටහේ නම්
සමාදන්ව එම ධර්මයෙහි යෙදිය යුතු බවත් වදාළහ. නායකත්වයක තිබිය යුතු විශිෂ්ටතම
ලක්ෂණයක් ලෙස ඇහුම්කන්දීම සැලකිය හැකි ය.
විනය පිටකය විමසා බැලීමේ දී මහජන මතයට කන් දෙමින් විනය ප්‍රඥප්ති පැනවූ අවස්ථා
මෙන්ම ප්‍රායෝගිකව එම ප්‍රඥප්ති වෙනස් කළ යුතු තැන්හි ඒවා වෙනස් කිරීමටත් උන්වහන්සේ
ක්‍රියා කළ ආකාරය දැක ගත හැකි ය.
වස් සමාදානය පිළිබඳ ප්‍රඥප්තිය මීට කදිම නිදසුනකි. තමන් නායකයා ය, ශාස්තෘ ය යන
හැඟීමෙන් දරදඬු ප්‍රතිපත්තියක් කිසි ලෙසකිනුත් ක්‍රියාත්මක නොකළ උන්වහන්සේ හැමවිටම
සිය ශ්‍රාවක ප්‍රජාවගේ පහසුව හා නිරවද්‍ය පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කළහ.
වරක් දේවත්ත භික්ෂුව භික්ෂුන් වහන්සේලාට පනවන ලෙස පස්විධ ප්‍රතිපත්ති මාලාවක්
ඉදිරිපත් කළේ ය.
එය භික්ෂුන් වහන්සේගේ පහසු පැවැත්මට බාධාකාරී බව වටහා ගත් උන්වහන්සේ කැමති
භික්ෂුවකට එම ප්‍රතිපත්ති පිරීම කළ හැකි බවත්, අකැමති භික්ෂුවකට එම ප්‍රතිපත්ති
බැහැර කළ හැකි බවත් සඳහන් කිරීමෙන් භික්ෂුන් වහන්සේලා පීඩාකාරී පැවැත්මකට යොමු
නොකිරීමට උන්වහන්සේ තුළ පැවති කාරුණික චිත්තනය පැහැදිලි වේ.
මහජනයාගේ සාධාරණ විවේචන අදහස්වලට ඇහුම්කන් දුන්න ද අනවශ්‍ය හෝ අයෝග්‍ය අදහස්
උන්වහන්සේ බැහැර කර ඇති බවට ද මෙය කදිම නිදසුනකි.
නිවැරැදි ප්‍රතිපත්ති කවර හේතුවක් නිසාවත් බැහැර කිරිමට උන්වහන්සේ සුදානම් වුවේ
නැත.
කිඹුල්වත් නුවරට වැඩම කළ ප්‍රථම අවස්ථාවේ දී ම පිණ්ඩපාතයේ වැඩමවමින් සිටි
බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි සුදොවුන් පිය මහරජු සිය වංශයේ කවරකුවත් සිඟමන්
යැද නොමැති හෙයින් තමන්ට අවමන් නොකොට දානය සඳහා තම රජ මැදුරට වඩින ලෙස ආරාධනා කළේ
ය.
එහිදී පිය මහා රජුට ඔබතුමා රාජවංශයේ වුවත් දැන් මම බුද්ධවංශයේ බැවින් ඊට අදාළ
කාර්යයෙහි යෙදෙන බව පැහැදිලි කර දුන් අවස්ථාව අගතියෙන් තොරව සිය අදහස හා කාර්යයෙහි
යෝග්‍ය බව පෙන්වා වදාළ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි ය.
එහෙත් පිය මහා රජුගේ ඉල්ලීම පරිදි මවුපියන්ගේ අවසරයකින් තොරව දරුවන් පැවිදි කිරීම
නොකළ යුතු බවට වූ ඉල්ලීම පිළිගත් උන්වහන්සේ මානව සමාජයේ සිතුම් පැතුම් කෙරෙහි
දැක්වූ ආකල්පය පැහැදිලි වන සිදුවීමකි.
සමාජයේ සෑම ස්ථරයක ම පිරිස් සමීපව ඇසුරු කළ උන්වහන්සේ ඒ සියලු දෙනා කෙරෙහි
කරුණාවෙන් මඟපෙන්වීම් කළහ. එහෙත් කිසිවකුත් සමඟ නොබැඳුණු සිතින් ඇසුරු කළ උන්වහන්සේ
වරද දුටු තැන ඒවා සකස් කර ගැනීමට රාජ රාජ මහා මාත්‍යවරුන් ඇතුළු කාහටත් මහත්
කරුණාවෙන් මඟ පෙන්වුහ.
වැරැදි මාර්ගයන්හි ගමන් කළ අය ඒ වැරැදි මගින් නිවැරැදි මාවතට යොමු කිරීමට මඟ පෙන්වූ
උන්වහන්සේ එවන් අයට සිය සසුනෙහි පැවිදිව උතුම් මගඵල සාධනය කර ගැනීමට ද මඟ සලසා
දුන්හ.
මුළු මහත් සමාජයේ ම ඉමහත් ගර්හාවට හා පිළිකුලට පත්ව සිටි අයට සසුන් දායාදය ලබා
දීමෙන් උන්වහන්සේ ඉටු කළේ සුවිශේෂී කාර්යයකි.අංගුලිමාල, අම්බපාලි ගණිකාව වැනි අය
මිට උදාහරණ ලෙස දැක්විය හැකි ය.
බුදුරජාණන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දින උන්වහන්සේගේ
ප්‍රතිපත්ති සමාජගත කර ගනිමින් එම ප්‍රතිපත්ති ස්වකිය ජීවිතයේ අංග බවට පත් කරගන්නේ
නම් අදට වඩා පිවිතුරු සමාජයක් අපට ගොඩනඟා ගත හැකිව පවතී. |