Print this Article


අසරණ සරණ වූ මහා කාරුණිකයන් වහන්සේගේ සඟ සසුන

අසරණ සරණ වූ මහා කාරුණිකයන් වහන්සේගේ සඟ සසුන

සව් කෙලෙසුන් නසා අද වැනි දිනක බුද්ධත්වයට පත් වී වදාළ තථාගතයන් වහන්සේ ලොව වැඩ පිණිස ඇති කළ ප්‍රගති මාර්ගයන් අතර සංඝ සංවිධානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පසුව එය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා ලෙස ව්‍යාප්ත විය.

ප්‍රාග් බෞද්ධ ආගමික සමාජයෙහි බ්‍රාහ්මණ සහ ශ්‍රමණ යනුවෙන් කොටස් දෙකක් ක්‍රියාත්මක විය. ඔවුන්ගේ ආගමික ප්‍රතිපදාවන් අන්තගාමී ස්වරූපයක් ගත්තේ ය.

බ්‍රාහ්මණ ආගමික සම්ප්‍රදාය කාමසුඛල්ලිකානුයෝගය අන්තය ලෙස ද, ශ්‍රමණ ආගමික සම්ප්‍රදායය අත්තකිලමතානුයෝගය අන්තය ලෙස ද පිළිගෙන ක්‍රියා කරන්නට විය.

විමුක්තිය උදා කර ගැනීමෙහිලා මෙම අන්තද්වය ම ආධාර නොවන බව බුදුපියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම පැහැදිලි කළහ.

බුද්ධ ශාසනය ආරම්භ වූ මුල්වකවානුවේ සිටම අනුක්‍රමයෙන් පැනවුණු විනය ප්‍රඥප්ති මාලාවක් අනුව භික්ෂු ශාසනය සංවිධානය කෙරුනු ආකාරය මහාවග්ග පාලියේ විස්තර වේ. එහි මුලින්ම සඳහන් වන්නේ පැවිද්ද හා උපසම්පදාව පිළිබඳ යි. බුදු සසුනේ ප්‍රථම පබ්බජ්ජාව පස්වග මහණුන් විසින් ලබා ගෙන ඇත.

සිදුහත් කුමරු සේ ම මොවුහුද “කිං කුසල ගවේසී” ව පැවිද්දට පත්ව සිටියෝ වූ හ. තථාගතයන් වහන්සේගේ ප්‍රථම දම් දෙසුම වූ දම්සක් පැවතුම් සුතුර අසා සත්‍ය විමුක්ති මාර්ගය එය බව දැන මොවුහු බුදුපියාණන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා ගත්හ.

ඔවුන් පැවිද්ද ලැබූයේ ඒහි භික්ඛු භාවයෙනි. උපසම්පදාව ලැබුවේ සරණාගමනයෙනි. මේ අයුරින් ම තුන්බෑ ජටිල ඇතුලු පිරිස සහ කෝලිත උපතිස්ස ආදීහු බුදුරදුන් විසින් ම පැවිදි උපසම්පදා කරනු ලැබූහ. භික්ෂු සන්තතිය දිනෙන් දින විශාල වෙත්ම, ප්‍රචළිත වෙත්ම ඒ ඒ ප්‍රදේශවලින්, ජනපදවලින් පැවිදි උපසම්පදා ලබනු රිසි කුල පුත්‍රයෝ භික්ෂූන් වහන්සේ විසින් බුදුරදුන් වෙත පමුණුවනු ලැබූහ.

මෙසේ පැමිණෙන පිරිස දිනෙන් දිනම වැඩිවූයෙන් බුදුන් මධ්‍යගතව පැවති පැවිදි කිරීමේ ක්‍රමය වෙනස් කොට තිසරණයෙහි පිහිටුවීමෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා දීමේ බලය භික්ෂූන්ට පැවරිණි.

බුදුරදුන් රාජ ගෘහයට වැඩමවූ ප්‍රථම ගමනේ දී බිම්බිසාර මහ රජතුමා විසින් බුදුරදුන්ට වේළුවන විහාරය පූජා කෙරුණි.

මෙය නිමිතිකොට බුදුරදුන් භික්ෂූන් වහන්සේට ආරාම පිළිගැනීමට අවසර ලබා දෙන ලදී. මේ අයුරින් ක්‍රම ක්‍රමයෙන් භික්ෂු ශාසනය වර්ධනය වෙත් ම ප්‍රත්‍ය පරිභෝගය පිළිබඳ භික්ෂූන් වහන්සේට අනුශාසනා ලබා දීම සඳහා උපාධ්‍යාය ග්‍රහණය අනුදැන වදාරා ඇත.

අනතුරුව ප්‍රව්‍රජ්‍යාව පිළිබඳ අනුශාසනා කරනු සඳහා ආචාර්ය ග්‍රහණය අනුදැන වදාරා ඇත. මේ සඳහා උපාධ්‍යාය වත, සද්ධිවිහාරක වත, ආචරිය වත, අන්තේවාසික වත ආදී වත් ද පැණවිනි. මෙසේ ඔවුනොවුන් අතර ගෞරවයෙන් හා ස්නේහයෙන් ක්‍රියා කරනු ලබන්නේ නම් ධර්ම විනයෙහි අභිවෘද්ධියට එය හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

තවද, භික්ෂූන් වහන්සේලා ඔවුනොවුන් අතර සතුටු සිත් ඇතිව (සම්මෝදමානා) අනවශ්‍ය වාද විවාද රහිතව (අවිවදමානා) සමඟි සම්පන්නව (ඛීරෝධඛීභූතා) සුහදව (අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සමානා) වාසය කළ යුතු බව බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළහ.

ශාසන සංවර්ධනයේ දී විවිධ ජාති කුල නියෝජනය කළ විශාල පිරිසක් ශාසනයට ඇතුළත් විය. ඇතමුන් ශාසනයට ලැබුණු වරප්‍රසාද දැක ඒ කෙරෙහි තෘෂ්ණාවෙන් ශාසනයට ඇතුළත් වූ අය වූහ.

මේ හේතුවෙන් නිර්මලව ශාසනය පවත්වාගෙන යාමට යම් යම් බාධා මතුවිය. එහිදී බුදුපියාණන් වහන්සේ පැවිද්දට අභව්‍ය හා අයෝග්‍ය පුද්ගලයන් පිළිබඳ දේශනා කොට ඇත.

ඒ අනුව අභව්‍ය පුද්ගලයෝ එකොළොස් දෙනකු සහ අයෝග්‍ය පුද්ගලයෝ දස දෙනකු පිළිබඳ බුද්ධ දේශනාවේ සඳහන් කර ඇත. බුදු සසුනෙහි පැවිදි වීම සඳහා කිසිලෙසකත් කුල පදනම නොසැලකිනි.

සූත්‍ර සම්ප්‍රදායෙන් සහ විනය සම්ප්‍රදායෙන් ද පිළිබිඹු වන පරිදි භික්ෂු සංවිධානයේ පොදු ඒකකය “සංඝ” නමින් හැඳින්වුණ ද, ධර්මධර, විනයධර , බහුශ්‍රැතයන් නිසාත්, නා නා මතිකයන්ගෙන් ශාසන ව්‍යාප්තිය සිදුවූ නිසාත් ප්‍රතිසංස්කරණ රාශියක් කරන්නට සිදු විය. කකචූපම සූත්‍රයේ සහ අනුමාන සූත්‍රයේ සඳහන් පරිද්දෙන් කාල තුනකට බෙදා දැක්විය හැකි භික්ෂූන් ශාසනයේ බිහිවූ බව පෙනේ. ඒ

සත්තුප්පාදකරණීය යුගය,අනුශාසනා යුගය හා ආණා යුගය වශයෙනි.

මෙහි ඓතිහාසිකත්වය කෙබඳු වුවද ඕවාද ප්‍රාතිමෝකෂය දේශනා කරනු ලැබුවේ මුල් කාලය තුළදි බව පෙනේ. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රාගත ශීල සික්ෂා යුගය දෙවැන්නටත්, විනයේ එන ශික්ෂා යුගය තෙවැන්නටත් ඇතුළත් කළ හැකි ය. මේ අතරින් මුලින් සඳහන් කළ සත්තුප්පාදකරණීය යුගය හා අනුශාසනා යුගය ප්‍රථමාභිසම්බෝධි යුගයේ සිට වේරංජාවේ වස්කාලය දක්වා වූ දොළොස් වසරට සීමා කළ හැකි ය.

මුල්කාලීන භික්ෂූන් වහන්සේලා ශාසන බ්‍රහ්මචරියාවෙහි මැනවින් යෙදෙමින් සසර ගමන නිමා කර ගැනීම පරම අධිෂ්ඨානය කර ගත් පිරිසක් ම වූ බව තුවටක සූත්‍රයේ එන කරුණුවලින් පැහැදිලි වේ. එහෙත් පසුකාලීන ව “ජීවිකත්ථාය නොසද්ධාය” යන්න පෙරට විත් පැවිද්දේ පරමාර්ථ වෙනස් වු නිසා ස්ව කැමැත්තෙන් කළ යුතු දේ නීති පනවා කරවීමට සිදුවිය.

කල්යත්ම ආකල්ප සම්පත්තිය පවා පිරිහුන තැනට කටයුතු යෙදිණි. උදාන පාලියෙහි සඳහන් වන පරිද්දෙන් බුද්ධත්වයෙන් විසි වසක් ගතවනතුරු අනුශාසනාවට කන්දුන් අවනත වූ භික්ෂූන් වහන්සේ විසූ බව ප්‍රකට වේ.

එහෙත් කල්යත්ම ආසවට්ඨානීය ධර්ම ඇතිවීම නිසා ශාසනික අර්බුද ඇතිවීම දිනෙන් දින වැඩිදියුණු විය. සැම දෙයකම දක්නට ලැබෙන පරිණාම ලක්ෂණයන්ට අනුව සංඝ සමාජය ද විවිධ හේතුන් නිසා පිරිහී ගිය බව පෙනේ.

ශාසනික සම්ප්‍රදාය මැනවින් ආරක්ෂා කරන පිරිසට වඩා ඇතැම්විට විවිධ දේශපාලන මතිමතාන්තරයන්ගෙන් හිස කුරුවල් කරගත් පිරිසක් යම් තරමකට සංඝ සංවිධානයෙහි බලය අල්ලා ගැනීම නිසා විවිධ දුර්වලතා අක්‍රමිකතා හා අඩුපාඩුකම් ඇතිවන බව පෙනේ.