Print this Article


ජාතියේ අනන්‍යතාව උපන් ගෙයිම විනාශ කරන නූතනයේ නම් තැබීම

ජාතියේ අනන්‍යතාව උපන් ගෙයිම විනාශ කරන නූතනයේ නම් තැබීම

‘නාමෙන කිං කයිරා’ යන පාඨය බෞද්ධ අපේ මුවගට නිතර නැඟෙන්නකි. එයින් ප්‍රශ්න කර ඇත්තේ නමෙහි ඇති ප්‍රයෝජනය ගැනයි.

සමහරු නමෙන් ගුණදාසලා වෙති. තවත් සමහරු ධර්මදාසලා වෙති. එහෙත් ක්‍රියාවෙන් මේ බොහෝ දෙනා අගුණදාසලා, අධර්මදාසලා වෙති.

මේ කාරණය පිළිබඳ සෝපහාසාත්මක සිද්ධි ගැලපීමක් අපේ පන්සිය පනස් ජාතක පොතේ 96 වැනි ව දැක්වෙන නාමසිද්ධි ජාතකයේ පැනෙයි.

ඒ මෙසේ ය,

“ආචාරීන් වහන්ස, අජීවකයෝත් ජීවකයෝත් මියෙති. ධනපාලිත් අධනපාලිත් දුක්පත් වෙති. පන්ථකයෝත් අපන්ථකයෝත් මං මුළා වෙති. එසේ හෙයින් නාමය නම් ප්‍රඥප්ති මාත්‍රයකි. නාමයෙන් අර්‍ථ සිද්ධියක් නැත. මේ කර්‍මයෙන් ම අර්ථ සිද්ධිය වන්නේ ය. එසේ හෙයින් මට අනික් නමකින් කම් නැත. පළමු මාගේ නම ම මට නම් වෙයි” කී ය.

එබස් ඇසූ මහ බෝසතාණෝ ඔහු විසින් දුටු දෙයක්, කළ දෙයක්, එක් කොට ගලපා කියන්නාහ. ජීවකයා මළා දැක, ධනපාලයා දුක්පත් නියාව දැක, පන්ථකයෝ මංමුළා වූ නියාව දැක පාපක නම් මානවකයා අභිවෘද්ධි නාමයෙන් ප්‍රයෝජනයක් නැත කියා නැවත තමා වසන්නා වූ ස්ථානයට ආයේ වේදැ යි කිවූ ය.”

නාමකරණය පිළිබඳ දාර්ශනික අර්ථ ඉගැන්වීම එසේ වුව ද ඒ පිළිබඳ සාමාන්‍ය සමාජ සම්මතය බැහැර කරලිය නොහෙයි. ඒ නයින් සලකන විට, යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට තබන නමෙහි අරුතක්, ගැලපීමක්, කියැවීමට, ලිවීමට පහසුවක් තිබිය යුතු ය. අපේ පැරැන්නෝ නම් තැබීම වැදගත් කාර්යයක් ලෙස සිතූහ. එකල නම් තැබුවෝ නම් පන්සලේ හාමුදුරුවෝ ය. මුල් ගුරුතුමා ය. එසේත් නොමැති නම් වෙද මහත්තයා ය. කොහොම නමුත් මේ අය භාෂා ශාස්ත්‍රය සේ ම ධර්ම ශාස්ත්‍රය ද හොඳීන් ප්‍රගුණ කළ දැන උගත්තු වූහ.

ළමයකු උපන් වේලාව අනුව නැකැත් කරුවා දෙන අකුරු තුන හතර රැගෙන එදා වැඩිහිටියෝ එසේ පන්සලට ගියහ. අද මේ සියල්ල කණපිට පෙරලී ඇත. නම් තැබීම සෙල්ලමක් සේ ම ඉල්ලමක් වී ඇත. ඒ ගැන සැකෙවින් විමසා බලමු.

පෙර සඳහන් කළ පරිදී එකල නම් තැබීම දැන උගත් අයගේ වගකීමක් විය. නමුත් දැන් එය සෙල්ලමකි. ඊට දැන උගත්කම් උවමනා නැත. නැකැත් කරුවාගෙන් අකුරු ටික ලබා ගන්නා මව්පියෝ තමන්ගේ සිතෙහි තිබෙන කුමන හෝ මනස්ගාත නිමිත්තක් මුල් කරගෙන දරුවන්ට නම් තබති. සැබැවින් ම එය නම් තැබිල්ලක් නොව නම් දෙඩවිල්ලකි. මෙසේ නම්් තබන අයගේ මූලික අවධානය යොමුවන්නේ නමෙහි කටගැස්ම ගැන ය. එසේ නොවුවහොත් ඔවුන්ට හිතට හරි නැත.

මොවුන්ගේ හැඟීම අනුව නමෙහි මොඩ් ගතියක් තිබිය යුතු ය. ඒ අනුව තම දූ දරුවන්ට ඉරෝෂන්, රෝෂන් රොෂාන්, රේ, රෝෂණී, රොසානා, වැනි මොඩ් නම් තබති. මොඩ් කෙසේ වෙතත් මේ නම්වල අරුත දන්නෙක් නම් නැත. තවත් සමහරු තිමිර (ඝන අඳුර), පංකජ (මඩෙහි උපන්), රෝෂිණී (තරහ ඇත්තී), රුහිරු (රුධිරය), රුහිරු වින්දන (ලේ බී සතුටුවන්නා, රීරි යකා), නාලිකා (නලයක් ඇත්තී), තිවංක (තුන් පැත්තකින් වක්වුණු), සංක (සැක සංකා සහිත) වැනි අභාව වාචී අසුභාර්ථවත් විහිළු විකාර දනවන නම් තබති.

යම් අයකුගේ නමින් ඔහුගේ ජාතික හා සංස්කෘතික අනන්‍යතාව හඳුනා ගත හැකි විය යුතු ය. දෙමළ මිනිසාගේ නමින් ඔහු දෙමළ බව අපි දැන ගනිමු. ජපනාගේ නමින් ජපනකු බව දැන ගනිමු. සික් ජාතිකයාගේ නමින් සික් වාර්ගිකයකු බව දැන ගනිමු. මුස්ලිම් අයගේ නමින් මුස්ලිම් අයකු බව දැන ගනිමු. එහෙත් ජාතියකට ගිය කල ! සිංහල දූ දරුවන්ට මව්පියන් තබන නමෙන් අපට ඒ දූ දරුවන්ගේ සිංහල ජාතික හෝ බෞද්ධ අනන්‍යතාව හඳුනාගත නොහැකි ය. එවැනි නම් විමසා බැලීමෙන් පැහැදිලි වන්නේ එක් කරුණකි. එනම් ඔවුන් කිසියම් ජාතියකට හෝ රටකට අයත් නැති බව යන්නයි.

මුග්ධ මව්පියන්ට මීට වඩා විපතක් දූ දරුවන්ට කළ හැකිද?.

මෙවැනි අරුත්සුන් නම් තබන මව්පියෝ තම දූ දරුවන්ගේ ජාතික හා සංස්කෘතික අනන්‍යතාව උපන් ගෙයිම විනාශ කරති. මෙය ජාතික විපතකි.

එකල අනගාරික ධර්මපාල තුමා අපේ කමක් නැති - බටහිර ගැති නාම කරණයට එරෙහිව ප්‍රබල හඬක් නඟා ජාතික අනන්‍යතාවක් සහිත නම් තැබීමේ සම්ප්‍රදායට යළි පණ දුන්නේ ය.

අද නම් තැබීමේ වෙළඳ ව්‍යාපාර හෙවත් කඩ රැසක් රටෙහි ඇත. එක නමක් තැබීම සඳහා මේ කඩ කරුවෝ අඩුම වශයෙන් රු. 3000/- හෝ 5000/- ක් පමණ අය කරති. හීනමානයෙන් පෙළෙන අනුවණ මව්පියෝ මෙකී නම් කඩවලට ගොස් තමන්ට නොවැටහෙන - ළමයින්ට කෙසේවත් නොවැටහෙන බොහෝවිට නම සදන අති පණ්ඩිතයනුත් අරුත නොදන්නා නමක් රැගෙන ගෙදර එති.

හොඳීන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ, යම් නමක සර්වකාලීන අගයක් තිබිය යුතු ය යන්න යි. අප්පුසිංඤො, පොඩිසිංඤො, කරෝලිස්, වැනි නම් දෙස බලන විට පැහැදිලි වන්නේ සර්වකාලීන අගයක් නැති බවයි. එහෙත් ආනන්ද, සුමේධ, නයනානන්ද, අරුණ, සම්පත්, උපාලි, ධර්‍මා, සුධර්‍මා, සුලෝචනා, සවිද්‍යා, අමරා, විනීත, සුභද්‍රා වැනි නම් කෙතරම් අරුත් බරද? සර්වකාලීන ද? එනිසා අපේ මව්පියන් සර්වකාලීන අගයක් ඇති, සිංහල කටට හුරු, අපේ කම දැනෙන, නමක් තම දූ දරුවන්ට තැබීමට අවධානය යොමු කළ යුතු ය. අපේ ගරුතර ස්වාමින් වහන්සේ ද මේ සම්බන්ධයෙන් ගිහි ප්‍රජාව දැනුවත් කිරීමට නොබියව, නොපැකිළව, සෘජුව ඉදිරිපත්විය යුතු ය. එසේ වුවහොත් මේ විපතින් හෙවත් විකෘති නාම කරන විකාරයෙන් ජාතිය මුදාගත හැකි වනු ඇත.

“තිමිර නම් ඝන අඳුර ය. පංකජ නම් මඩෙහි උපන් යන අරුත ය. රෝෂිණී, තරහ ඇත්තී ය. තිවංක, තුන් පැත්තකින් වක් වුණු ය. සංක, සැක සංකා සහිත ය. මෙවැනි අභාවවාචී අසූහාර්ථවත් නාම විහිළු ය. විකාර දනවන්නේ ය.”