Print this Article


වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳෙන හෙළයේ අභිමානය

වෙසක් පුන් පොහෝ දිනය හා සබැඳෙන හෙළයේ අභිමානය

බුද්ධත්වයෙන් පස් වැනි වස බක් මස අමාවක් පොහෝ දින බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක. ඒ චූලෝදර හා මහෝදර යන නා රජුන් අතර මිණි පළඟක් සඳහා ඇති වූ ආරවුලක් සංසිඳුවීමට ය. ලංකා ද්වීපයේ නාගදීපයට වැඩමවීම බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනයයි.

බුදුරජාණන් වහන්සේ එම ආරවුල සංසිඳවූ කල ඊට ප්‍රශංසා කළ මහෝදර නා රජුගේ මාමා වූ කැලණිය වාසභූමි කොට ගත් මනිඅක්ඛික නා රජතුමා ඊට ප්‍රශංසා කළේ ය. තමන් කෙරෙහි කරුණා උපදවා තම වාස භූමියට ද වඩිනා ලෙස බුදු රදුන්ට ආරාධනා කොට සිටියේ ය.

එම අයැදුමෙන් තෙවසරක් ඉක්ම ගිය තන්හි දී, එනම් බුද්ධත්වයෙන් අටවන වස මණිඅක්ඛික නා රජතුමා නැවත සිදු කළ අයැදීම සිහිපත් කළ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින පන්සියයක් මහ සඟ රුවන පිරිවරා ගෙන ලක්දිවට වැඩම කළහ.

ඒ කල්‍යාණි පුරයෙහි මණිඅක්ඛික නා රජතුමාගේ විමානයට ය. වර්තමානයෙහි කැලණි චෛත්‍ය රාජයාණන් පිහිටි තැන එදින කරවා තිබූ රත්න මණ්ඩපයෙහි මහා සංඝයා වහන්සේ ද, එහි වූ මහානීය මිණි පළඟෙහි බුදුරජාණන් වහන්සේ ද වැඩ සිටි සේක.

පළමුව මණිඅක්ඛික නා රජතුමා පුද පූජාවන් පැවැත්වීය. අනතුරුව එහි සිට දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් පැන් සනහා ගත් බැව් (ස්නානය කළ බව) ජනප්‍රවාදයේ කියැවේ.

මෙම පැන් සනහා ගත් කතා පුවත මහාවංසය ආදී මූලාශ්‍රවල සඳහන් නොවෙතත් ජනප්‍රවාදයේ එය මුල් බැස ගත් මතයකි.

“ දියට දියක් නැත මෙහෙම දියක් නැත කැලණි ගඟේ ගඟ දිය වාගේ.....” යනාදී වශයෙන් ජන කවියන් සුපිරිසුදු දියක් ලෙස දක්වන්නේ කැලණි ගඟ බුද්ධ පාරිභෝගික වස්තුවක් ලෙස සලකමිනි.

එමෙන්ම කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රචිත සැළලිහිණි සංදේශයේ සිවුරු දාගැබක් පිළිබඳ කියැවේ.

සමනොළ ගිරි ගිජිදු දිගු කළ සොඬෙක සැටි
සිසිලළ ගඟ සිසිල් සනහා මුනි නොගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරව වැඩ සිටි
තැනකළ සිවුරු දාගැබ වඳු නො පෑ පිටි
(සැළලිහිණි සංදේශය :70 කවිය)

බුදුරජාණන් වහන්සේ කැලණි ගඟ ජලස්නානය කොට තුන් සිවුරු ඇඳ පොරවා ගත් තැන මෙම දාගැබ ඉදිකර ඇතැයි යන්න ජනප්‍රවාදයේ එයි.

එනමුත් මෙ නම් දාගැබක් වර්තමාන කැලණි විහාරයේ දක්නට නැත. පෘතුගීසි ආක්‍රමණ හමුවේ විනාශයට පත් කැලණි විහාරය නැවත ප්‍රතිසංස්කරණවල දී මෙම දාගැබෙහි නෂ්ටාවශේෂ හඳුනා ගෙන නැත.

ඉනික්බිති බුදු පාමොක් මහ සඟන සුමන දිව්‍ය රාජයාගේ වාසභූමි වූ සමන්තකූටය යැයි නම් ලද සමනොළ කන්දට සෘද්ධියෙන් වැඩම කළහ. තථාගත ශ්‍රී පාද පද්මය එහි සටහන් කරවූ සේක.

ඉනික්බිති සමනොළ කඳු පාමුල පිහිටි ලෙනක පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ දිවා විහරණය කළ සේක.

දිවා විහරණයෙන් පසු දිගා වැව (දීඝවාපී) සෑය, මුතියංගන සෑය, තිස්සමහා විහාරය, අනුරාධපුරයෙහි ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, මිහින්තලේ සේල චෛත්‍යය, කතරගම කිරිවෙහෙර යන අනාගත කාලයේ පූජනීයත්වයට පත් වන පූජනීය ස්මාරක ඉදි වන බිම් වෙත ගොස් සමවත් සුවයෙන් වැඩ සිටි සේක.

මුතියංගනය යන්නට එම නාමය පට බැඳුණු ආකාරය ද ජනප්‍රවාද ගත වී ඇත්තේ සුවිශේෂී අයුරිනි. එම පුද බිමේ දී බුද්ධ ශරීරයෙන් වෑහුණු දහඩිය මුතු බවට පත්ව අංගනය (මලුව, මිදුල) පුරා විසිරුණු බවත් මුතු අංගනය යන්න මුතියංගනය වූ බවත් ජනප්‍රවාදගත ය. මෙම ලංකාගමනය නිමා කොට බුදුරජාණන් වහන්සේ යළි සැවැත්නුවර ජේතවනාරාමයට ම වැඩි සේක.

පන්සාළිස් වසක් කළ මනා බුද්ධ කෘත්‍යය නිමා කළ බුදුරජාණන් වහන්සේ වෙසක් පුරපසළොස්වක් පොහෝ දින පිරිනිවන් මංචකයේ වැඩ සිටි දින ම තවත් සුවිශේෂී සිදුවීමක් සිදු විය.

සිංහල රාජාවලියේ ආරම්භකයා ලෙසින් සම්මානනීයත්වයට පත් වන දඹදිව ලාට රට සිංහබාහු රජතුමාගේ පුත් වූ විජය කුමරු ලංකාද්වීපයට සැපත් වූයේ මෙදින බැව් මහාවංසයේ සඳහන් වේ.

සිංහබාහු රජුගේ දෙතිසක් වූ පුතුන් අතුරින් ජ්‍යෙෂ්ඨයා වූයේ විජය කුමරු ය. හේ නිසි කල යුව රජ පදවි ලැබීය. එහෙත් නොහික්මුණු පැවතුම්වලින් යුතු විය.

විජය කුමරු සිය සත් සියයක් වූ පිරිස සමග එක්වී මහ ජනතාවගේ පීඩාවට හේතු වන චර්යාවන්හි නිරත වීය. එහෙයින් ඔවුන්ගේ හිසින් අඩක් මුඩු කොට අඹු දරුවන් ද සමඟ නැව් නංවා පිටුවහල් කරන ලදි. අඹු දරුවන් ගොඩ බට දිවයින මහින්ද්වීපය නම් විය. විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩ බටහ. එම දිනය සම්බුද්ධ පරිනිර්වාණ දිනය යි.

පිරිනිවන් මංචකයෙහි වැඩ හුන් බුදු රජාණන් වහන්සේ සක් දෙවි රජු කැඳවා විජයාවතරණය පිළිබඳ කරුණු පවසා, මාගේ ශාසනය දිගු කල් පවතින ලංකා ද්වීපයටත්, විජය කුමරු ඇතුළු පිරිසටත් රැකවරණය සලසන්නැයි දන්වා සිටි සේක.

සක්‍ර දේවේන්ද්‍රයා උපුල්වන් දෙව් රජු කැඳවා ලංකාරක්ෂාව භාර කරන ලදී. උපුල්වන් දෙව් රජු පරිබ්‍රාජක වේෂයක් මවාගෙන ලක්දිවට ගොඩ බට විජය ඇතුළු පිරිසට බිය නොවන්නැයි දන්වා පිරිත් පැන් ඉස පිරිත් නූල් බඳීනා ලද බව මහාවංසයේ සඳහන් වේ.

ඉනික්බිති විජය කුමරු කුවේණියගේ ද සහයෙන් ස්වදේශික ජනතාව පරාජයට පත් කොට ලංකාවේ ආධිපත්‍යයට පත් වූ බැව් සඳහන් ය. ඉනික්බිති වරින් වර විජය කුමරුගේ මථුරා පුර බිසව ඇතුළු කණ්ඩායම, පණ්ඩුවාසුදේව කුමරුන් ඇතුළු කණ්ඩායම, ශාක්‍යවංසික භද්දකච්චායනා ඇතුළු කණ්ඩායම, භද්දකච්චායනා කුමරියගේ සහෝදර කණ්ඩායම ආදී දූත පිරිස් ලංකාවට පැමිණෙමින් ලක්දිව ආර්ය ජනාවාස ඇති කරන ලදී.

ලක්දිව සිංහල ජාතියේ ආරම්භය විජයාවතරණය සමග ඇති වූ බැව් එක් මතයකි. එම මතයට අනුව සිංහල ජාතියේ ආරම්භය සිදු වූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී ය.

මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් අවඅටවක පෝදා (22) පත්‍රයේ පළවේ.