Print this Article


දිවා රෑ දුම් දමන තුඹස ගැන දන්නවා ද?

දිවා රෑ දුම් දමන තුඹස ගැන දන්නවා ද?

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ අන්ධ වනයේ වැඩ සිටියා. කුමාර කාශ්‍යප නම් හිමි නමක් දිනක් උන්වහන්සේ හමුවට දේවතාවෙක් පැමිණියා. උන්වහන්සේගෙන් ගැඹුරු ප්‍රශ්නයක් ඇසුවා.

‘‘ස්වාමීනි, තුඹසක් තිබෙනවා, ඒ තුඹස දිවා රාත්‍රී දෙකෙහි ම දුම් දමමින් දිලිසෙනවා. ඉතිං මේ අවස්ථාවේ එක්තරා ප්‍රඥාවන්තයෙක් ආයුධයක් ගෙන මේ තුඹස හාරන්නට පටන් ගත්තා. තුඹස හාරන ඔහුට පළමුවෙන් ම හිඳී අගුලක් දකින්නට ලැබුණා. පසෙක බමුණෙක් ද සිටියා. බමුණා මේ තුඹස තව තවත් හාරන්නට කීවා. එවිට ඔහුට පිළිවෙළින් මැඩියෙක්, දෙමං හන්දියක්, කර පෙරහණක්, ඉදිබුවෙක්, මස්කපන කැත්තක්, මස්වැදැල්ලක්,නාගයෙක් දක්නට ලැබුණා. එවිට බමුණා නාගයාට වඳින ලෙස ඔහුට කීවා

මෙම කතන්දරය තේරුම් කර ගත හැකි එකම කෙනා බුදුරජාණන් වහන්සේ යි. එහෙයින් උන්වහන්සේගෙන් ම අසා දැන ගන්නැයි'ද දේවතාවා කුමාර කාශ්‍යප හිමියන්ට පැවසුවා. කුමාර කාශ්‍යප හිමියෝ දේවාතාවාගේ ප්‍රශ්නය බුදුරදුන්ට ඉදිරිපත් කළා. බුදුන් වහන්සේ එම ප්‍රශ්නයේ අරුත් පැහැදිලි කළේ මෙලෙසයි

ත්‍රිවිධ දෝස

‘‘ කුමාර කාශ්‍යපයිනි, තුඹස යනු සිරුරට කියන නමකි. මව්පියන් නිසා හටගත්, අප විසින් කෑම් , බීම් , නෑවීම්, ආදියෙන් පෝෂණය කරනු ලබන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නැතහොත් පංචස්ඛන්ධයට කියන නමක්. සතර මහා භූතයෝ හරියට නයි හතර දෙනෙක් වාගෙයි. කොතෙක් පෝෂණය කළත් සෑහීමට පත් වන්නේ නෑ. දෂ්ඨ කරනවා. සිරුර වා,පිත්, සෙම්, කිපීමෙන් විවිධ රෝගාබාධවලට ලක්කර දුකට පමුණුවනවා. පංචස්ඛන්ධයම දුකක්.

රාත්‍රී කාලයේ දුම් දැමීම යැයි කියන්නේ මානසිකව පෙළෙන ආකාරයයි. මිනිසුන් ජීවත් වීම සඳහා වෙළහෙළඳාම්, ගොවිතැන් බත් හා වෙනත් රැකී රක්ෂා කරනවා. මේ රැකී රක්ෂා විටෙක ලාභ සේ ම විටෙක පාඩු ගෙන දෙනවා. ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, මං පහරන්නන්ගෙන්, බදු නොගෙවනවිට රජුන්ගේ කරදරවලට ලක්වෙනවා. රාතී‍්‍ර නින්දට යන පුද්ගලයාට මේ ගැන කල්පනා වෙනවා. ඔහු ඒ ගැන සිත සිතා තැවෙනවා. ඔහු විඳීන මේ දුක හරියට රාත්‍රියපුරා තුඹසකින් දුම් දමන්නා වාගේ යි. ඔහු දිවා කාලයේ ද ඒ ගැන සිත සිතා දැවෙනවා. එවිට මේ ශරීරය දිවා රෑ දුම්දමන තුඹසක් බඳුයි.

බමුණා යනු බුදුරජාණන් වහන්සේට යෙදෙන උපමාවකි. උන්වහන්සේලා, රාග, ද්වේශ, මෝහ ආදී සියලු කෙලෙස් දුරු කළ නිසාත් සෝවාන්, සකෘදාගාමී,අනාගාමී, රහත් මඟට පැමිණ තමන් වහන්සේගේ ම ඤාණයෙන් චතුරාර්ය සත්‍ය දැන වදාළ බැවින් බ්‍රාහ්මණ නමින් හඳුන්වනු ලබනවා.

ශාස්ත්‍රය යනු ප්‍රඥාව යි. ලෝකයේ අන්ධකාරය නසන ආලෝක හතරක් තිබෙනවා. සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය, ප්‍රදීපාලෝකය සහ ප්‍රඥාලෝකය යනුවෙනුයි. මේ චතුර්විධ ආලෝකයන්ගෙන් ප්‍රධාන වන්නේ ප්‍රඥාලෝකයයි.‘‘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

‘‘පඤ්ඤෝ භාසසමෝ භාසෝ නාම නත්ථි‘‘

ආදී වශයෙන් දැක්වෙන පරිදි ලෝකයේ ප්‍රඥා ලෝකයට සමාන ආලෝකයක් නොවේ. ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයාට දහසක් ලෝක ධාතු එකවර ආලෝක කළ හැකි ය. පුද්ගලයාට ප්‍රඥාව තරම් තවත් ධනයක් නොවේ. ප්‍රඥාවෙන් පෝෂිත ජීවිතය විශිෂ්ට ය. අපගේ සිත පිරිසුදු කර කෙලෙස් සෝදා හරින මාධ්‍ය‘ද ප්‍රඥාවයි. එහි අග්‍ර ඵලය නිර්වාණයයි.

සෑරීම යනු උත්සාහය යි. එය ගැඹුරු ගවේෂණයකි. ව්‍යාපාර, කර්මාන්ත,අධ්‍යාපනය ලැබීම් ආදී සියල්ල කම්මැළිකමින් තොරව කරයි නම් දියුණුවට පත්වේ. වීර්යයෙන් දුක් කෙළවර කර ගත හැකි බව ‘‘ විරියෙ දුක්ඛං අවිචේති ‘‘ යනුවෙන් බුදුරදුන් පෙන්වා දී තිබේ. ලෝකයේ ධනවත් වූ මෙන්ම බුද්ධිමත්වූ බොහෝ මිනිසුන් ද දියුණුවට පැමිණි රහස වීර්යය වේ. බුදු, පසේබුදු, මහ රහත් උතුමන්ලා ඒ ජයග්‍රහණ අත්කර ගත්තේ වීර්යය නිසාම ය.

අවිද්‍යාව

හිදි අගුල යනු අවිද්‍යාව හෙවත් නොදැනීමයි. අවට පරිසරයේ, ඈත ලෝකයේ, සේවා ස්ථානයේ ආදී වශයෙන් තැනක ගැටලු ඇති වන්නේ නම් එයට ප්‍රධාන හේතුව නොදැනීමයි. එදිනෙදා ජීවිතයේ පැවැත්මට නිරවුල් දැනීම අත්‍යවශ්‍ය ය. බුදු දහම දර්ශනවාදී ගැඹුරු ඉගැන්වීමකි. ලෞකිකත්වයෙන් එහා ගිය ලෝකෝත්තර මාර්ගයට පැමිණිය හැකි වන්නේ හේතුඵල වාදය තුළින් අවිද්‍යාව නැතිකර ගත්විටය. ඝන අඳුරු පටලයෙන් වැසී ඇති බුද්ධිය, දහම හා ප්‍රයෝගික කර ගනිමින් සිත දියුණු කර ගැනීමට උත්සුක විය යුතු වෙයි.

මැඩියා යනු ක්‍රෝධයයි. හිත මුල්කර ගෙන එම අකුසලය හටගනී. මොන යම් කරුණක් නිසා ඇසුරු කරන්නන් අතර ඇතිවන ආරවුලක් යටපත් කර ගැනීමට අපොහොසත් වූ විට ක්‍රෝධ කිරීමට පටන් ගනියි. මැඩියාගේ ස්වභාවය පැන පැන ඉදිරියට යාමයි. ක්‍රෝධය ද මැඩියා සේ නැවත නැවත මතු කර ගනිමින් ආරවුලක් ඇතිකර ගනී. එය විනාශයට මුලකි.

කේළම

දෙමං සන්ධිය නම් විචිකිච්ඡාවයි. එයට සැකය යැයි ද කියයි. අඹු දරුවන් අතර, සේවක සේවිකාවන් අතර, යහළු යෙහෙළියන් අතර ආයතනයක සේවකයා, ප්‍රධානියා අතර නිතර ගැටුම් නිර්මාණය වන්නේ ඇසුරු කරන්නකු නිසා ම ඇතිවන කේළමක් හේතුවෙනි. තමන් එය ඇසින් දුටු සත්‍යක් යැයි කියමින් ඔවුනොවුන් අතර ආරවුල් ඇති කරයි.

කර පෙරහණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ද්ච්ඡ, කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්මයන් ය. පුද්ගල සන්තානයෙහි උපදින මේ පංච නීවරණ ධර්මයන් නිවනෙහි දොරටු වසාලන ප්‍රබල අකුසල ධර්මයන් බැවින් එයින් මිදී කටයුතු කිරීම දෙලොව සැපතට හේතු වේ.

ඉදිබුවා යනු රූප,වේදනා, සංඥා,සංස්කාර,විඤ්ඤාණ යන කරුණු පහ මුල්වී නිර්මාණය වී ඇති අපේ පංචස්ඛන්ධයයි. ඊට නම් ගම් වශයෙන් වෙන්කර භාවිත කරන්නේ මනුෂ්‍යයා වෙන්කර හඳුනා ගැනීමටයි.

මේ පංචස්ඛන්ධය නමැති ගෙය තනන වඩුවා රාගය නැතිනම් තෘෂ්ණාව බව බුදුරදුන් එලෙස පෙන්වා දෙන ලදී. දිගු සසර කෙටි කර නිවනට ළඟා විය හැක්කේ පංචස්ඛන්ධය පිළිබඳ ආශාව අත්හළ විට ය.

රාගය

මේ කියන මස් කැත්ත හා මස් ලොඹුව නම් පංචකාමයන් ය. එනම් රූප,ශබ්ද,ගන්ධ, රස , ස්පර්ශ යනුයි. මේ තුළින් පුද්ගලයා ඇලීමකට බැඳීමකට ලක් වේ.එනම් මස් වැදැල්ල යනු රාගය යි. පංච කාමයන් රාගය අවුස්සයි. ඒ තුළ ඇත්තේ දුක ය.

නාගයා යනු බුදු, පසේබුදු මහරහත් යන, උතුමන් හැඳීන්වීමකි. දේවතාවා කියූ තේරවිලි ස්වරූපයේ කතාව බුදුහු මෙසේ අර්ථ නිරූපණය කළහ. වම්මික සූත්‍රයෙන් එලෙස කියා දෙන්නේ පංචස්ඛන්ධය ගැන අවබෝධ කර ගෙන ආශාව දුරු කර ගැනීම පිළිබඳයි. උපමා, උපමේය හා උදාහරණ සහිතව ගඹුරු දහම් කොටස් සරලව කියාදීම බුදුරදුන්ගේ දේශානාවේ විශේෂත්වයකි.

පින්වත්නි, කයෙහි නිස්සාරවත් බව අවබෝධ කර ගැනීම සැහැල්ලු ජීවිතයකටත්, නිවන් අවබෝධයටත් මහා පිටිවහලකි.

පිරිසක් ඇහි බැමයේ සිට දෙපතුළ දක්වා රූපලාවණ්‍ය සත්කාර කරති. තවත් අය සමට වේදනා දෙමින් ලියැවැල් රේඛා, වර්ණ හා රූප පච්ච කොටමින් උපන් පෙනුම සරාගික කර ගනිති. හැකි හැම දෙයින් ම දිව පිනවන්නට යෙදෙන අය සිටිති. සිරුර බලෙන් තරබාරු කර ගන්නට හෝ අකලට සිහින් කර ගන්නට වැර දරන්නෝ වෙසෙති. ගබඩා පිටින් ඇඳුම් ආයිත්තම් තබා ගෙන සැරසෙන අය ද කොටසකි. කය පිනවන්නට ඒ තරමටම ලොල්වූ අධිපාරිභෝගික, බහු භාණ්ඩික හා කාමුක සාමාජයකි.

මේ අන්ධභාවයෙන් මිදීමට නිස්සාර ශරීරය ගැන ක්ෂණයක් හෝ සිතීම ප්‍රමාණවත් ය. ශරීරය කොතරම් නිස්සාර දෙයක් දැයි කිවහොත් එය දිවා රෑ දුම් දමන තුඹසකට උපමා කර තිබේ.