Print this Article


පින තිබුණත් සැප විපාක නො දෙන්නේ ඇයි?

පින තිබුණත් සැප විපාක නො දෙන්නේ ඇයි?

අතීතයේ ලක්දිව රජ බිසවකට මනා රූප සම්පත්තියෙන් යුතු පුත් රුවනක් ලබුණා. රජතුමා මහත් සතුටට පත් වුණා. දිනක් අගබිසව තමන් සමීපයට කැඳවලා මෙහෙම කිව්වා.

“දේවිය, ඔබ මට මහත් ප්‍රීතියක් ගෙනාවා. මගේ රාජ වංශය පවත්වාගෙන යන්නට පුත්රුවනක් ලබා දුන්නා.

බොහෝ කලක් පුතකු අපේක්ෂාවෙන් සිටියත් එය උදා වූයේ නෑ. ඔබගේ පුණ්‍ය ශක්තිය නිස යි පුතකු ලැබුණේ. ඉතින් ඒ වෙනුවෙන් ඔබට ඕනෑම දෙයක් දෙන්නට මම තීරණය කළා, ඔබ කැමැති වරයක් ඉල්ලන්න යැයි ප්‍රකාශ කළා.

බුද්ධිමත් අගබිසව මදක් කල්පනා කර, “ස්වාමිනි, ඔබ වහන්සේට මම මාගේ දිවි ඇති තෙක් ගෞරව කරමි. නමස්කාර කරමි.

අද මාහට ලබා දෙන වරය මතු යම් දිනක ලබා ගන්නා තෙක් අවස්ථාව ලබා දෙන්න, යැයි ඉල්ලා සිටියා.

පුංචි කුමාරයා සෙල්ලම් වයසට පැමිණියා. සෙසු රාජකුමාරවරුන්ගේ, සේනාපතිවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ, ප්‍රභූවරුන්ගේ සහ රාජ පවුලට හිතවත් පිරිසගේ මෙන් ම, නෑදෑයින්ගේ දරුවන් සමඟ සෙල්ලම් කිරීමටත්, විවිධ තරග සහ උත්සව පැවැත්වීමටත්, විනෝදවීමටත් පටන් ගත්තා. ඉතින් දිනක් මේ කුමාරයාට අවශ්‍ය වුණා කුකුළන් පොර කෙටවීමේ තරගයක් සූදානම් කරන්න.

කුමාරයා එයට අවශ්‍ය වේලාවක්, දිනයක් සහ ස්ථානයක් සූදානම් කර ගත්තා.

රාජ්‍ය ආරක්ෂකයිනුත්, මව් බිසවත්, පියරජතුමාත් තරග භූමිය සමීපයට නො යන ලෙසත්, තමන් සමීපයෙන් සිටීමටත් කොපමණ කිව්වත් කුමාරයා පිළිගත්තේ ම නෑ. ඔහු ක්‍රීඩාවට ගොඩාක් ප්‍රිය කළා. තරගය ආරම්භ වුණා.

අවසානයේ උදා වුණේ පුංචි රාජ කුමාරයාගේ කුකුළත් එක්ක සටන් වැදීමයි. තරග බිම ගොඩාක් උණුසුම් වුණා.

පුංචි කුමාරයාත් අත්පොළසන් දෙමින්, ඔල්වරසන් හඬ දෙමින් තමන් ඉදිරිපත් කළ සතා වෙනුවෙන් ජය පතන්නට පටන් ගත්තා. කවුරුත් නො සිතූ දෙයක් එක්වරම සිදු වුණා.

පිය රජතුමාත්, මව් අගබිසවත්, ඥාතීනුත්, යහළුවනුත් කෑ ගසන්නට පටන් ගත්තා. ඒ විරුද්ධ පාර්ශ්වයේ කුකුළා කලබල වී කුමාරයාගේ දිහාවට එනවා දැකලා. පුංචි කුමාරයා ඌ එන දිහාව බලාගෙන හිටියා.

කුමාරයා කොපමණ වෙහෙස ගත්තත් කුකුළාගේ පා පහරින් බේරීමට නො හැකි වුණා. ඔහුගේ ඇස්වලට ම පහර දෙන්න පටන් ගත්තා.

රාජ්‍ය ආරක්ෂකයින් මැදිහත්වන විටත් කුමාරයාගේ ඇස් දෙකම අන්ධවෙලා. ලේ ගලන්න පටන් ගත්තා.

රජතුමාගේ නියෝගයෙන් වෛද්‍යවරුන් පැමිණ රාජ වෛද්‍ය ප්‍රතිකාර කළත් පුංචි කුමාරයාගේ ඇස් දෙකට පෙනීම ලබා දෙන්න බැරි වුණා. ඔහු ක්‍රමයෙන් වැඩි වියට පැමිණ මහත් වූ දේහයක් හිමි, රූප සම්පත්තියෙන් අගතැන්පත් තරුණයෙක් වුණා. ඒත් රාජ සම්පත් භුක්ති වීඳීමේ වරප්‍රසාදය අහිමි වුණා.

කුමාරයාට හිමි වුණේ ම අඩු සැලකිලි, රජතුමාත් ඔහු ගැන එතරම් අවධානයක් යොමු කළේ නෑ. මෙහෙම කාලය ගෙවී ගියා. මව් අගබිසව තරුණ කුමාරයාට සිදුවන අසාධාරණකම් සහ ඔහුගේ අවශ්‍යතා නො ලැබීම් දැක නිතර ශෝක වුණා. හඩා වැළපුණා. දිනක් හුදකලා වූ මව් රජබිසව මෙහෙම කල්පනා කළා.

“මට සිටින එකම වස්තුව මාගේ පුත්‍රයායි’ ඔහුයි රජතුමාගේ වැඩිමහල් ම පුත්‍ර රත්නය. රාජ්‍ය අයිති විය යුත්තේ ඔහුටයි. කුමාරයාගේ උපතින් දින කිහිපයකට පසු රජතුමා මට වරයක් ලබා දුන්නා. එහි දී එය අනාගතයේ දවසක මා ගන්නා තෙක් එසේම තබන්න යැයි ඉල්ලීම් කළා. දැන් හොඳම වේලාව එම වරය ඉල්ලා ගන්න.

බිසව නිදියහනට ගොස් රජතුමා සමඟ සතුටු සාමීචියේ යෙදී තමන් ඉල්ලා සිටි වරය ලබා ගැනීමට කැමැති බව දන්වා සිටියා. එහි දී රජතුමා ප්‍රකාශ කළේ “දේවිය, මම රාජ සභාවේ දී දුන් වරය රාජ සභාවේ දී ම ප්‍රකාශ කරන්න. එවිට ඇමැතිවරුන්ගේත්, පුරෝහිතයන්ගේත් සහාය ඇතිව එය ඔබ වෙනුවෙන් ඉටු කර දෙන්නම්, යැයි දන්වා සිටියා. අගබිසවත් එයට කැමැත්ත පළ කළා.

පසු දින රාජ සභාව රැස්වුණා. තමන්ට හිමි අසුන්වල අදාළ ඇමැතිවරුන් සහ නිලධාරීන් හිඳ ගත්තා. රටේ තොරතුරු සාකච්ඡා කරන්න පටන් ගත්තා. සියලු කටයුතු නිමාවූ බව දැන ගත් අගබිසව එහි ගොස් රජතුමාට මෙසේ පැවසුවා.

“ස්වාමිනි දේවයන් වහන්ස, ඔබ වහන්සේ මා හට ලබා දෙනවා යැයි පැවසූ වරය ඉල්ලා ගැනීමට කැමැතියි. ඔබ වහන්සේ මා හට ලබා නොදෙන දෙයක් නෑ. ඒ නිසා මෙයත් ඉටු කර දෙයි යැයි මම විශ්වාස කරනවා,යි ප්‍රකාශ කළා.

එවිට සභාව ඇමතූ රජතුමා “දේවිය, මේ සභාව ඉදිරියේ ඔබගේ වරය ඉල්ලා සිටින්නැයි පැවසුවා.

අගබිසව නැඟී සිට “ස්වාමිනි, ඔබගේත්, මාගේත් පුත්‍ර රත්නය දැන් තරුණ වයසට පැමිණ සිටිනවා. ඔහුට රාජ්‍ය ගැනත්, ජනතාව ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා.

මා ඉල්ලා සිටින වරය තමයි රජතුමනි, මගේ පුත්‍රයාට දැන් රජකම ලබා දෙන්න කියන එක, යැයි පවසමින් වරය ඉදිරිපත් කළා.

එය ඇසූ රජතුමා එසැනින් ම කියා සිටියේ

“දේවිය, ඔබ කුමක් ද මේ කියවන්නේ? ඔහු අංග විකලයෙක්. ඔහු අන්ධයෙක්, ඒ බව අමතක කර ද ඔබ මෙලෙස රජකම ඉල්ලා සිටින්නේ? ඔහුට රජකමට සුදුසුකමක් නැති බව ඔබට වැටහෙන්නේ නැද්ද? ඔහු කෙසේද රාජ්‍ය පාලනය කරන්නේ?,යි ප්‍රශ්න කර සිටියා.

එයින් වේදනාවට පත් අගබිසව නැවතත් රජතුමා අමතා

“ස්වාමිනි, ඔබ ම මට දුන් වරය දැන් ප්‍රතික්‍ෂේප කරනවා. එසේ නම් එදා මට වරයක් දුන්නේ කුමටද?,යි ප්‍රශ්න කළා.

ඒ අසා රජතුමා බොහෝ සේ කල්පනා කර “දේවිය පුතුට සම්පූර්ණ රාජ්‍යම පිරිනැමිය නො හැකියි. ඔබගේ වරය ඉල්ලීම් වශයෙන් ඔහුට නාගදීප රාජ්‍ය දෙමි,යි ප්‍රතිඥා දුන්නා.

අගබිසව පසු කලෙක රජතුමා, ඇමැතිවරු සහ සේනාපතිවරු සමඟ එහි ගොස් කුමාරයාට රාජ්‍ය ලබාදීම සංකේතවත් කරමින් සේසත් ඔසවා පවරා දුන්නා. ඔහු දීප රාජ නමින් ප්‍රසිද්ධ වුණා.

ඔහු අංග විකල නො වූයේ නම් සම්පූර්ණ රාජ්‍ය ලැබීමේ භාග්‍ය උදාවී තිබුණා. එහෙත් ඔහුට උපධි විපත්තිය බලපා තිබූ බැවින් අහිමි වී ගියා.

යම් සත්ත්වයෙක් මෙලොව උපත ලැබූ විට ඔහුගේ පුණ්‍ය ශක්තිය විපාක දීමට බලපෑම් කරන අවස්ථා හතරක් ගති සම්පත්තිය, කාල සම්පත්තිය, උපධි සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය යනුවෙන් ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

මේ සම්පත්තීන් හතරම විපත්ති වශයෙන් ද බෙදී යනවා. කර්මයේ බලපෑමයි මේ කොටස්වලින් විස්තර කර දෙන්නේ, රාජ කුමාරයාට බලපෑම් කර තිබෙන්නේ උපධි විපත්තියයි. උපධි විපත්තිය යනු කොපමණ පුණ්‍ය ශක්තීන් හිමි වී උපත ලැබුවත් ඒවා විපාක දීමට තරම් වාසනා ගුණයක් නො ලැබීමයි.

මේ අයුරින් සියලු වාසනා ගුණ අහිමි කිරීමේ බලපෑම් සිදු වන්නේ උපධි විපත්ති එළැඹුණු විටයි. එබැවින් ජීවිතයේ පරාජයවීම් හෝ නො ලැබීම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගනිමින් නිතර කුසල් රැස් කර ගැනීම මෙලොවත්, පරලොවත් සාර්ථක කර ගැනීමට භාග්‍ය උදා වෙනවා. කර්මයෙහි ස්වභාවය හඳුනා ගැනීම ජීවිතය ජය ගැනීමට විශේෂයෙන් වැදගත් වන බව මේ කතා පුවත පෙන්වා දෙනවා.