Print this Article


විවේකයට වටිනාකමක් දෙන්න

විවේකයට වටිනාකමක් දෙන්න

අත් හරිනවා කියන්නේ, දරුවො ගැන ඊට පසුව සොයන්නෙවත් නැහැ, බලන්නෙවත් නැහැ යන අදහස නම් නොවේ. යහපතක් වෙනුවෙන් සොයන්න. බලන්න. වරදක් නැහැ.

භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාප ජනපදයෙහි ආපණ නම් වූ නියං ගමෙහි වැඩ වාසය කරන සේක. උන්වහන්සේ එම ගමේ පිඬු සිඟා වැඩම කොට පිණ්ඩපාතය වැළඳීමෙන් පසු දිවා විහරණය පිණිස එහි එක්තරා වන ළැහැබකට වැඩම කළහ. එහි රුක් සෙවණක දිවා විහරණයෙන් වැඩ සිටියහ.

භාග්‍යවතුන් වහන්සේගේ මේ චරිත ස්වභාවයෙන් අපට ගත හැකි ආදර්ශය කුමක් ද? ජීවිතයට විවේකය අවශ්‍ය බවයි. ඒ විවේකය ඇලීම්, ගැටීම්වලින් නිදහස් වූවක් විය යුතු ය. මේ විවේකය, නම් කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේක යැයි ත්‍රිවිධාකාරයි. සෑම විටෙක ම උත්සාහ දැරිය යුත්තේ උපධි විවේකය ලබන්නටයි. එනම් කෙලෙස්වලින් බැහැර වූ විවේකය බවට පත් කර ගැනීමටයි.

බොහෝ අය කාය විවේකය සිතා සිතුවත්, කාය විවේකයක් නැත කය විවේක ගත්ත ද සිත බොහෝ දේ කල්පනා කරමිනුයි සිටින්නේ. අපට අවබෝධයක් නොමැති නිසයි කාය විවේකයත්, චිත්ත විවේකයත් නොලබන්නේ. විවේකය ලබන්නට නම් කෙලෙස්වලින් සංසිඳීමක් ඇති කර ගැනීම අවශ්‍යයයි. ධර්මාවබෝධය පිණිස විවේකය අවශ්‍යයි.

ඉතින්, පෝතලිය නම් ගෘහපතියෙක් ව්‍යායාමය පිණිස ඔබ මොබ සක්මන් කරමින් ඒ වන ලැහැබ වෙත පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. ගෘහපතියා හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා.

පින්වත් ගෘහපතිය, මෙහි ආසන තිබෙනවා. කැමති නම් හිඳ ගන්න. ඒ ඇසූ විට පෝතලී ගෘහපතියා, ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතිය, කියා අගෞරව වචනයෙන් කතා කළා යැයි සිත අමනාප ඇති කර ගත්තා. නොසතුටු වුණා. නිශ්ශබ්ද වුණා. භාග්‍යවතුන් වහන්සේ දෙවැනි වතාවටත් පෝතලී ගෘහපතියාට ඒ ආකාරයෙන් ම වදාළා. දෙවැනි වතාවටත් පෝතලී ගෘහපතියා, ශ්‍රමණ ගෞතමයන් මට ගෘහපතියා යන අගෞරව වචනයෙන් කතා කරනවා යැයි අමනාප වුණා. නො සතුටු වුණා. නිශ්ශබ්ද වුණා.

භාග්‍යවතුන් වහන්සේ තෙවැනි වරටත් පෝතලීය ගෘහපතියාට ඒ ආකාරයෙන් ම ආමන්ත්‍රණය කළා. තුන්වන වතාවටත් පෝතලීය, අමනාපයෙන්, අගෞරව වචනයෙන් කතා කළා යැයි අමනාප සිත් ඇති කර ගත්තා. නො සතුටුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා. “ගෞතමයන් වහන්ස, යම් හෙයකින් ඔබ මට ගෘහපතිය යන වචනයෙන් අමතා කතා කරයි ද? ඒ වචනය සුදුසු නොවේ. ඒ වචනය නොගැළපේ.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.“ පින්වත් ගෘහපතිය, ඔබගේ ඒ ආකාරයේ සටහන් තිබෙනවා. ඒ ආකාරයේ හැඩරුව තිබෙනවා“. එසේ සඳහන් කළේ ගිහියකුගේ මෙන් පෙනුම තිබෙනවා යනුවෙනි. “එහෙත් භවත් ගෞතමයෙනි, මා සෑම කර්මාන්ත කටයුත්තක් ම බැහැර කර සිටින්නේ. හැම ව්‍යවහාරයක් ම මුලින් ම සිඳ දමලයි තිබෙන්නේ“.

මේ ආකාරයෙන් පෝතලීය ගෘහපති උත්සාහ කළේ, ඔහු සාමාන්‍ය ගෘහපතියෙක් නොව ඊට වඩා යමක් කළ කෙනෙක් යැයි භාග්‍යවතුන් වහන්සේට පවසන්නයි. ඒ නිසයි ගෘහපතිය යැයි කළ ආමන්ත්‍රණයට අකමැති වූයේ.

“පින්වත් ගෘහපතිය, ඔබ සෑම කර්මාන්ත කටයුත්තක් ම බැහැර කළේ කුමන ආකාරයට ද? ඔබ සෑම ව්‍යවහාරයක් ම මුලින් ම සිඳ දැම්මේ කුමන ආකාරයට ද?“ බුදුරජාණන් වහන්සේ විමසුවා.

“මට යම් ධනයක් තිබුණේ නම්, ධාන්‍ය තිබුණා නම්, රිදී වේවා යම් මිල මුදල් ආදිය තිබුණා නම් ඒ හැම දෙයක් ම මම දරුවන්ට දායාද ලෙසින් පැවරූ කෙනෙක්. මම දැන් ජීවත් වෙන්න පමණක් යම් දෙයක් තබාගෙන සිටිනවා. බොහෝ දෙනෙක් එසේ පවසන අවස්ථා තිබෙනවා.“ “ බලන්න මේ අත්හැරීම හරියට ම සිද්ධ කරල ද තියෙන්නේ. අත්හැරීම කියන්නේ, දරුවනට ධනය දුන්නා, තිබෙන දේ දුන්නා කියන කීම නම් දුන්නා වගේ ම හිතෙනුත් අත්හැරලද යැයි විමසා බලන්න.

ආර්ය විනයෙහි අත්හැරීම, ඔබ අත්හැරියා කියන අදහසට වඩා වෙනස්. දැන් මම ඔබෙන් ප්‍රශ්න කළොත් දරුවො අත්හරින්න පුළුවන් ද කියලා. ඒ ගැන අවබෝධයක් නැතිනම් හෙමිහිට හිස සොලවා බැහැ‘යි කියයි.“

මෙහි අත් හරිනවා කියන්නේ, දරුවො ගැන ඊට පසුව සොයන්නෙවත් නැහැ. බලන්නෙවත් නැහැ, යන අදහස නම් නොවේ. යහපතක් වෙනුවෙන් සොයන්න. බලන්න. වරදක් නැහැ. භාග්‍යවතුන් වහන්සේත් රාහුල ස්වාමීන් වහන්සේ රහත්වන තුරු ආධ්‍යාත්මික වශයෙන් සොයා බැලුවා. සිත තුළින් උපාදානය නොකර ගැනීමයි කළ යුත්තේ.

ධර්ම විනයෙහි අත්හරිනවා යනු අවබෝධයෙන් ම අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගැනීමයි. අවබෝධයත් සමඟින් සකස්වන විට සම්මුතිය තුළ පවත්වන අනවශ්‍ය මාර්ගයට යන්නේ නැහැ. දරුවාගේ වුව ද යහපත වෙනුවෙන් සියල්ල සිද්ධ කරනවා. එහෙත් සම්මුතියේ පවත්වන දරුවා නොදැක ඉන්න අමාරුයි. ළඟින් තියාගන්න ඕනෑ යන මෙවැනි සකස්වීම්වලට සිත යොමු වෙන්නේ නෑ. හැබැයි යහපත වෙනුවෙන් අවශ්‍ය සියල්ල ම ඒ ආකාරයෙන් ම, සිදු කරනවා. අවවාද, අනුශාසනා, අවශ්‍ය යමක් ලබාදීම, ඉගැන්වීම, දුකට සැපට පිහිටවීම, සොයා බැලීම ආදී දේ සිදු කරනවා. විශාඛා මහෝපාසිකාවත් ඒ දේ හොඳීන් සිදු කළා.

භික්ෂූන් වහන්සේ අතරත් ගිලන් වූ භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීම, පිය පුතු සෙනෙහස, සහෝදරයන් මෙන් ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම, විනය නීතියේ පෙන්වා දී තිබේ. මව්පියන් දරුවන් එය කළ යුතුයි. ආර්ය විනයෙහි අත්හැරීම පෙන්වා දී තිබෙන්නේ අප මේ සඳහන් කරන පරමාර්ථ ධර්මය ඔවුනොවුන් කෙරෙහි අවබෝධ කර ගැනීමයි. එවිට තමන් තිලක්ඛණයට යටත් යන අවබෝධය සකස් වෙනවා. එවිට ලෝභ, දෝෂ, මෝහ සංසිඳෙන්න ඕන. පැවැත්ම තුළයි සොයා බලන්නේ, කටයුතු කරන්නේ, දුකට සැපට පිහිට වෙන්නේ. දරුවාට අවශ්‍ය කටයුතු සියල්ලක් ම සිදු වෙනවා. එවිට දරුවොත් මෙය අවබෝධ කර ගන්නවා.

ලෞකික ලෝකයේ කළ යුතු දේ හි යුතුකම්වල කෙළවරක් නැහැ. මොනවා කළත් ස්වාමියා, භාර්යාව, දරුවන් වශයෙන් බොහෝ ම කෙටි කාලයයි පවතින්නේ. එක්තරා සීමාවකට හෝ මට්ටමකට හෝ තමන්ගේ කටයුතු කරගන්න පුළුවන් කියන තැනට පත්වන විට ධර්මාවබෝධය තියන අය තේරුම් ගන්නවා. එය අවබෝධ කරගත් විට සමීපව සිටින අය පවා ආශිර්වාද කරනවා. කවදා කුමන හෝ වෙලාවක කැමති හෝ අකමැති, දැනුවත් ව හෝ නොදැනුවත්වමයි සිදු වෙන්නේ. දැනුවත් ව අවබෝධයෙන් ම සිදුවන විට සුගතිය හැදෙනවා. අනවබෝධයෙන් සිදු වුවහොත් දුගතිය හැදෙන්න පුළුවන්. හැබෑම ලෙන්ගතුකම නම් ඔවුනොවුන් දුගතියෙන් වළකා ගත යුතු වෙනවා. එසේ නම් දුගතියෙන් වළකන මාර්ගයට දරුවන්, මව්පියන්ට ආශිර්වාද කරන්න ඕනෑ. මේ දහම් කතාවෙන් අප දකින්නේ අත්හැරීමයි.

සම්මුතියේ පවතින මම, ඔබ, අම්මා, තාත්තා , ගහ කොළ, ගේ දොර ආදී දේවල් මගේ යැයි හදා ගන්නවා. ළං කර ගන්නවා. මේ සම්මුතියේ ව්‍යවහාරයයි. මෙය මුලින් ම උපුටා දමන්නේ කෙසේ ද? යන්නයි මේ ප්‍රශ්න කරගෙන යන්නේ. එසේ නම් ගෘහපතිය හොඳීන් සවන් යොමු කරන්න. සිහියෙන් නුවණින් විමසන්න, යැයි භාග්‍යවතුන් වහන්සේ ඉතා කරුණාවෙන් දේශනා කළ සේක.

පින්වත්, ගෘහපතිය ව්‍යවහාරය මුලින් ම සිඳලීම පිණිස පවත්වන්නා වූ ධර්ම අටක් ආර්ය විනයේ තිබෙනවා. ඒ ධර්ම විනය කෙටියෙන් සඳහන් කරන්නේ නම් ප්‍රාණඝාතය, සොරකම, බොරු, කේලාම්, දැඩි ආශාව, නින්දා, අපහාස, ක්‍රෝධ උපායාස, අතිමානය ඇති කර ගන්නේ නැහැ.

මේ ධර්ම අට සකස්වන විට සම්මුතිය තුළ මනා වූ පිළිවෙත් මාර්ගය සකස් වෙනවා. කයින් වචනයෙන් සිතින් සිදුවන අකුසල ධර්ම කිහිපයයි මතුකොට දක්වනු ලැබුවේ.