Print this Article


ආත්ම විශ්වාසයත් ධෛර්යයත් වේ නම් පැරදුම පරදවා ජය ලබන්නට පුළුවන්

ආත්ම විශ්වාසයත් ධෛර්යයත් වේ නම් පැරදුම පරදවා ජය ලබන්නට පුළුවන්

කෙනකුට කල්පනා වන්නට පුළුවන් අපට නම් අනතුරෙන් සැනසීමක් ලබන්නට කිසි විටෙක කිසි කලෙක නම් බැහැ කියලා. මේ බැහැ කියන සංකල්පය අප විසින් මුලට ගත්තොත් කිසි විටෙකත් මෙයින් අත මිදෙන්නට අපට හැකි වන්නේ නැහැ.

පසුගිය නවම්පුර පසළොස්වක පොහෝ දින (මාර්තු මස 17 වන දින)බුදුසරණ පත්‍රය මගින් ඔබේ අවධානය යොමු කරන්නට උත්සාහවත් වුණේ බෞද්ධයන් වශයෙන් අපේ අවසාන ඉලක්කය වූ නිවන සාක්ෂාත් කර ගැනුමට ඊට අදාළ ප්‍රතිපදාවෙහි දිරිමත්ව ක්‍රියා කළ යුතු බව කියැවෙන අදහස් සමුදාය යි.

ඉතින් ඒ කාර්යය සඵල කර ගැනීමට ඊට අවශ්‍ය කරන සුදුසුකම් රැසක් අප විසින් ඔබ විසින්, සපුරා ගත යුතු වෙනවා. අද අප සාකච්ඡා කිරීමට උත්සාහවත් වන්නෙ එයින් ඔබට අපට හුරු පුරුදු කරුණක් පමණයි.

කරණීය මෙත්ත සුත්‍රයෙන් පැහැදිලි කරන්නේ නිවන්මඟ සොයන්නකු විසින් ශාන්ත වූ නිවන අරමුණු කරගෙන ක්‍රියාත්මක වීමේ දී මුවහත් කරගත යුතු කුසලතාවන් පිළිබඳ අනුපුර්ව පෙළගැස්වීමක්. එය එහෙම වුණත් මෙම සූත්‍රයෙන් පෙන්වා දෙන එක එක කරුණක් ගෙන බලනවිට සාමාන්‍ය ජිවන පැවැත්මේ දි වුව ද අප විසින් ඇති කරගන්නා වු අරමුණු සඵල කර ගැනිමේ අනුපූර්ව ප්‍රතිපදාවක් ද පෙන්වා දෙන බව මෙහි දී අවධාරණය කර ගතයුතු ව තිබෙනවා.

දැන් අපි පැහැදිලිව දන්නවා එදා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට මේ දේශනාව උගන්වා වදාළේ භාවනානුයෝගීව වනයෙහි වැඩවිසූ උන්වහන්සේලාට බූමාටු දෙවිවරුන්ගෙන් ස්වකීය ආධ්‍යාත්මය දියුණු කර ගැනුමට භාවනාවේ යෙදී සිටියදී ඇති වූ බාධා ඉවත් කර ගැනීමට මෙම දේශනාව ප්‍රායෝගිකව යොදා ගැනීමේ වැදගත්කමයි. එහි දී උන්වහන්සේ විසින් දේශනා කර තිබෙනවා ඒ සැම භික්ෂුවක් ම තමන්ගේ සන්තානගත ශක්තීන් සවිමත් කර ගතයුතු වන ආකාරය.

මිනිස් සිතේ සැඟවී ඇති ඒ ශක්ති විශේෂයන් හෙවත් චරිත ලක්ෂණ දියුණු කර ගැනීමෙන් මිනිසාට මේ සසර දුක් නිවමින් එයින් එතෙර වීමේ මඟ උදා කර ගත හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

සක්කෝ කියන මේ පළමු චරිතාංගයෙන් පෙන්වා දෙන්නේ අන්න ඒ හැකියාව හෙවත් දක්ෂතාව තමන් තුළ මුවහත් කර ගැනීමට ක්‍රියා කිරීම යි. මේ හැකියාව එක් එක් පුද්ගලයාට මෙන් ම ඉලක්කයේ ස්වභාවය අනව අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවනි. ශාන්ත වු නිවන අරමුණු කර ගත් භික්ෂුව ගැන යි මෙහි විශේෂ කොට ඇත්තේ.

නිවන් මඟ වුවත් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියාව විමසීමේ දී එම හැකියාව ද එක් අයකුගෙන් තවත් අයකුට වෙනස් විය හැකි යි. කෙසේ වුණත් මේ හැකියාව යන්න සමස්ත සමාජයට ම ආරෝපණය කරලා අපට කථා කරන්නට හැකියාව තිබෙනවා.

මූලික සුත්‍ර දේශනාව අනුව බලනවිට නම් භික්ෂුවක් වශයෙන් නිවන පරම ඉලක්කය කර ගත් උන්වහන්සේ ඊට අවශ්‍ය කරන ප්‍රතිපත්තියෙහි නොපමාව යෙදීම ආරම්භ කළ යුතු වෙනවා. එහි දී උන්වහන්සේට එම අරමුණට පියවර ගැනීමේ දී මූලික පිළිවෙත් වශයෙන් භාවනා කටයුතු, වත් පිළිවෙත් පිරීම, පරිභෝග කිරීම් ආදියෙහි දී ඇති කර ගතයුතු දක්ෂතාව මෙහි දී වැදගත් වෙනවා.

එහි දී උන්වහන්සේ මේ නිවන පසක් කර ගැනීමේ කාර්යය මට අපහසුයි, අමාරුයි, දුෂ්කරයි, කියා පසුබට වන්නේ නැහැ. එමෙන්ම භික්ෂුව විසින් වර්ධනය කර ගත යුතු මේ ශක්‍යතාව තමන් වහන්සේගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ පළමුවැනි පියවර වශයෙනුයි සලකා බලා ඇත්තේ.

එහි දී බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම පෙන්වා දෙන්නේ සක්කෝ කියන මේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමේ අවශ්‍යතාව යි.

සාමාන්‍ය ජන ජිවිතයේ දී පවා මේ සංකල්පය ඉතා වැදගත් වෙනවා. අප ඉදිරියේ යම් කර්තව්‍යයක් කළයුතු බවට සංකල්පයක් ඇති වුවහොත් එය කිරිමේ හැකියාව වර්ධනය කර ගැනුමට නම් අපි එම ක්‍රියාව අභියෝගයක් ලෙස භාර ගෙන එය කිරීමට හැකියි කියන මතයේ සිට එම ක්‍රියාව කිරිමට පෙළඹිය යුතු වෙනවා.

මෙය පුද්ගලයා විසින් ඇති කර ගත යුතු සාධනීය ලක්ෂණයකි. මෙයට හොඳම නිදසුනක් ලෙස වර්තමානය වනවිට ශ්‍රී ලංකාව මුහුණු දී ඇති ආර්ථික අභියෝගය දක්වන්නට පුළුවනි. හේතුඵලවාදය බුදුදහමේ පදනමයි. මෙ හේතුඵලවාදය මත පිහිටලයි මේ තත්වය නැති කර ගන්නට අප උත්සාහවත් විය යුත්තේ.

මෙහි දී කෙනකුට කල්පනා වන්නට පුළුවන් අපට නම් අනතුරෙන් සැනසිමක් ලබන්නට කිසි විටෙක කිසි කලෙක නම් බැහැ කියලා. මේ බැහැ කියන සංකල්පය අප විසින් මුලට ගත්තොත් කිසි විටෙකත් මෙයින් අත මිදෙන්නට අපට හැකි වන්නේ නැහැ.

අප විසින් ඇති කර ගත යුතු වන්නේ මෙම අහිතකර අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙනවා කියන මේ දැඩි ආත්ම විශ්වාසයයි.

ඒ තුළින් පෞරුෂය ශක්තිමත් වි ධෛර්යවන්ත බවක් ඇති වෙනවා. ඊළඟට මෙවැනි ආපදා සහිත බවක් ඇති වීමේ හේතුඵල නියමය සැලකිල්ලට ගෙන එහි හේතුන් පිළිබඳ විමසුමක් කිරීමෙන් ඊට අවශ්‍ය පිළියම් යොදා අදාළ වන විසඳුම ලබා ගැනීමේ ශක්තිය ඇති වෙනවා.

ඒ තුළ ක්‍රියාකාරි දිර්ඝ කාලීන සැලැස්මක් මෙන්ම, කෙටිකාලීන සැලැස්මක් ක්‍රියාවට නංවා ඉලක්ක ගත අරමුණු සඵල කර ගැනීමෙන් එම කාලය ඉක්මවීමට පෙර මූලික ඉලක්කය සඵල කර ගැනීමේ හැකියාව ජනිත වෙනවා. නමුත් අප එක්වරම බැහැ කියන තැන සිට ක්‍රියා කළොත් කවරදාත් බැහැ තමා.

අද අප සමාජයේ අත්විඳීන බොහෝ අත්දැකිම් තිබෙනවා. කාර්යාලයකට ගියත්, වැඩපොළකට ගියත් එහි සිටින අයගෙන් ඔවුන්ගේ රාජකාරියට අදාළ යම් යම් ක්‍රියාවන් ඔවුන්ගෙන් ඉටු කරවා ගැනීමට යාමේ දී බොහෝවිට අප දකින දෙයක් තමා එම කාර්ය ඉටුකර දිමට ඒක අද නම් කරන්නට බැහැ. පස්සේ දවසක එන්න කියා හෝ මේ වැඩේ කරන්නට විදියක් නැහැ කියා නො හැකියාව කියා මඟ හරින ආකාරය.

එහෙම වුවත් කරණීයමෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙන පළමුවැනි කරුණ තමා ඉලක්ක කර ගත් අරමුණ සඵල කර ගැනිම පිණිස තමා තුළ ඊට අවශ්‍ය කරන ශක්තීන් මුවහත් කර ගැනීමත්, එම කටයුත්ත අභියෝගයක් ලෙස බාර ගෙන එම කාර්යය සඵල කර ගැනුමට එක්වරම ඉදරිපත්වීමත් ඉතා වැදගත් බව.

සක්කෝ යන වචනය සාමාන්‍ය පොදු ජීවනය හා කල්පනා කර බලන විට ඉතාමත් පැතිරුණු අර්ථයක් දක්වා ව්‍යාප්ත වෙනවා. මෙම සංකිර්ණ සමාජය තුළ ජිවත් වන, බෞද්ධ ජීවන මඟ අනුගමනය කරන කවර අයකු විසින් වුව ද තම ජිවන කුසලතා ශක්තිමත් කර ගැනීම යි මෙහි දී අදහස් කරන්නේ. එහි දී තරුණයෙක්, විවාහකයෙක්, ව්‍යාපාරිකයෙක්, වෘත්තිකයෙක් ආදි විවිධ තරාතිරම්වල දී ඔවුන්නේ ඉලක්කය සපුරා ගැනීමට ක්‍රියා කිරීමේ දී බෞද්ධ ජිවන මාර්ගයට අනුගතව ම එම හැකියාවන් ප්‍රබුද්ධ කර ගතයුතු වෙනවා.

වාණිජ වෘත්තිකයෙක් වශයෙන් නිදසුනක් ලෙස ගත්තොත් එම වෙළදාම තුළින් එකි පුද්ගලයා ධාර්මික වෙළෙඳාමක් තෝරා ගැනීම, එහි අනලස් ව යෙදිම වගේම, මල නොතලා රොන් ගන්නාක් මෙන් පාරිභෝගිකයා නොපෙළා එම වාණිජ කර්මාන්තය සිදු කිරිමටත්, එහි දි අපේක්ෂිත ලාභ ඉලක්ක සපුරා ගෙන ඉහළ වාණිජ වෘත්තිකයෙක් ලෙසට පත් විමට අවශ්‍ය දැහැමි ක්‍රියා මාර්ග ගැනීම මෙහි දී අපේක්ෂා කරනවා.

අධ්‍යාපනයෙන් පළමුවෙන් කරන්නේ එක් එක් ශිෂ්‍යයාගේ කුසලතා පිළිබඳ මැනීමක් කර බැලිම යි. එය අනතුරුව ඇගයීමකට ලක් කර එය එම පුද්ගලයාට ප්‍රතිපෝෂණයක් ලැබෙන ආකාරයෙන් ක්‍රියා කරනවා. අනතුරුව ඒ අයගේ සැඟවී ඇති කුසලතාවන්හි විවිධත්වය අවබෝධ කර ගෙන එම කුසලතාවන් ප්‍රබුද්ධ වන ආකාරයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර එම පුද්ගලයාට හිමි විය යුතු තැන සමාජය තුළ සුස්ථිර කිරිමට ක්‍රියා කරනවා. මේ නිසා අපේ රටේ අධ්‍යාපනයට මෙහි දී විශේෂ වැදගත්කමක් හිමි වෙනවා. පුද්ගල විවිධත්වය හා ශක්‍යතා විවිධත්වය තේරුම් ගත හැකි වන්නේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරන පිරිසට අදාළව යි. ඔවුන්ට හැකියාව තිබෙනවා ශිෂ්‍යයාගේ විවිධ හැකියාවන් අවබෝධ කරගෙන ඒවා ඔප්නැංවෙන ආකාරයේ ක්‍රියාමාර්ගටන් ගැනීමට. එය ගුරුවරයාගේ කාර්ය භාරය බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ තිලෝගුරු වශයෙන් සිදු කර ඇත්තේ ද මේ කාර්යය යි. උන්වහන්සේ ශාන්තපදය වූ නිවන් පදය අරමුණ කර ගෙන ස්වකිය ශ්‍රාවකයන් වහන්සේලා පෙළගස්වද්දී මෙ කරුණ මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගෙන ඒ ඒ චරිත වර්ගීකරණයකට ලක් කර අවශ්‍ය උපදෙස්, අනුශාසනා ලබා දෙමින්, අවශ්‍ය කර්මස්ථාන ලබා දෙමින්, අවසාන ඉලක්කය වෙත යොමු කරවීමට ක්‍රියා කළා. මේ නිසා ඒ වනවිට දඹදිව ඉන්දියාවේ වර්ෂ දහස් ගණනක් තුළ පවා පහළ වී ක්‍රියාත්මක වෙමින් පැවති නොයෙකුත් ආගමික මතවාද ඉතා කෙටි කාලයක් තුළ යටපත් කර උන්වහන්සේගේ දහමට අවනත වූ බොහෝ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන මේ සිව්වනක් පිරිසම වර්ධනය කර ගන්නට සමත් වුණා. මෙයට ප්‍රධාන හේතුව වූයේ මෙම පුද්ගලබද්ධ ශක්‍යතාවන් හඳුනා ගැනිමටත් ඒවා මුවහත් කර ගැනීමටත්, අවශ්‍ය අනුශාසනය ලබා දීම යි.

පළමුවෙන් ම තමන් තුළ සැඟ වි පවත්නා හැකියා කවරේ ද? යන්න පිළිබඳ ස්වයං ඇගයීමක් සිදු කර ගැනීම වැදගත් වෙනවා. ඉන් අනතුරුව ඊට අදාළ ව උපදෙස් අනුශාසනා හා මඟපෙන්වීම් කරන කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර ලබා ගෙන එම හැකියාවන් උද්දීප්ත කර ගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා. කිසිවිටෙකත් බෞද්ධ පිළිවෙත් විරෝධි ක්‍රියාවකට නො පෙළඹී බෞද්ධයකු වශයෙන් තම ජීවන ප්‍රතිපදාව ද ශක්තිමත් වන ආකාරයෙන් එම හැකියාවන් ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කිරිම තුළින් උත්සාහයෙන් වීර්යයෙන් අපේක්ෂිත ඉල්ලකයට ළඟා වීමේ ශක්තිය වර්ධනය කර ගැනීමට මේ තුළින් හැකියාව උදාවෙන බව පෙන්වා දෙන්නට පුළුවනි. ඒ අනුව බැහැ, නොහැකි, අපහසුයි යන සංකල්පයනට පිටුපා ශූභවාදී ගමන් මඟක් අරමුණු කරගෙන ඉලක්කය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට හැකියාව ලබා ගන්නවා.