කරදර බාධක නිසා
කුසල් සිත
පිහිටුවා ගැනීම අපහසු ද ?
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
ප්‍රසන්නව සැරසී සිටින අයකුගේ බෙල්ලට සර්ප කුණක් හෝ සුනඛ කුණක් හෝ මිනිස් කුණක්
වැටුණොත් පිළිකුල් කොට ලජ්ජාවෙලා, අකැමැත්තෙන් ඉවත් කරන්නේ ය. ඒ ආකාරයෙන් ම
පාපයට,අකුසලයට බියක්, ලජ්ජාවක් ඇති කොට ගෙන සිත ලෝභාදී අකුසලයන්ගෙන් වළක්වා ගත
යුත්තේ ය.
අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයා පි‍්‍රය අරමුණුවල බැඳෙති. අකැමැති අරමුණුවල ගැටෙති. ඒ
සමඟින් ජීවිත පවත්වති. දිගු සසර ගමනෙහි සත්වයෝ ලෝභයෙන්, දෝසයෙන් සහ මෝහයෙන් සිත්
කිළිටි කරගත්තෝ ය.
මේ නිසා මනුෂ්‍ය ජීවිත ලැබූව ද ඇලීම සහ ගැටීම සසරෙහි පුරුදු පරිදිම සිදුවෙයි.
පටිසන්ධි විඤ්ඤාණය පහළ වී භවාංගයට වැටෙන අවස්ථාව පිරිසුදු ය. එනමුත් අභාවිත සිත
විසින් බාහිර අරමුණු මුල් කොටගෙන මෙම ලෝබ, දෝස, මෝහ ආදි කෙලෙස් වඩා ගනී. සසරෙහි
පටන් භාවිත සිත් ඇති අය පෘථග්ජන භවෙහි පිහිටියත් ලෝභාදි කෙලෙස් නිසා සිත් කිළිටි කර
නො ඟනිති. කුසල චිත්තයට අලෝභ,අදෝස, අමෝහ මුල්කොට ගත් සිත් උපදවාගන්නටත්, දියුණු කර
ගන්නටත් හැකියාව ලබති. භාවිත සිත් නම්, හේතූන් ප්‍රත්‍ය කරගෙන හටගන්නා වූ සවිඤ්ඤාණක
අවිඤ්ඤාණ වස්තූන් (සංඛත) ඒ හේතු ප්‍රත්‍යයන්ගේ ම විසිර යාමෙන් නැතිව යයි. එනම්
උප්පාද ඨිති භංග අවස්ථාවන් වටහා ගැනීමයි.
බොහෝ පිරිසකට දහම් මඟ පිළිබඳ යම් වූ ද නිවැරැදි දැනුමක් පැවතිය ද භාවිත, බහුලීකත බව
නොමැතිවීම නිසා ඉහත සඳහන් කළ ආකාරයෙන් ම ඇලෙති, බැඳෙති, ගැටෙති. දැනුවත්ව හෝ
නොදැනුවත්ව ම පාපයෙහි නියුක්ත වෙති. අනන්ත අප්‍රමාණ කාලයක් පුරා කෙළවරක් දකින්නට
නැති අගක් මුලක් නොපෙනෙන සසරෙහි බොහෝ දුක්විඳ අපහසුවෙන් ලද මේ මනුෂ්‍ය ජීවිතයෙන්
උතුම්ම ප්‍රයෝජනය ලැබීමට නම් අකුසල් බැහැර කොට කුසල් සිත් පවත්වා ගැනීමේ හැකියාව
අපට තිබිය යුතු වන්නේ ම ය. ආර්ථික සාමාජික, ප්‍රශ්නවලට මෙන් ම ජීවිත පවත්වා ගැනීමේ
දී ඇතිවන ගැටලුවලට ද විසඳුම් සොයා ගත යුතු වන්නේ ය. ඉගෙනීම, රැකියා, විවාහ, දූදරු
ලෙඩ දුක්, සමාජ යුතුකම් ආදිය මේ ජීවිත ගමනේ මුහුණ දිය යුතු අවස්ථාවන් ය. ගැටලු ය.
ප්‍රශ්නයන් ය. එනමුත්, කෙටි ජීවිතයක පවත්නා වූ මේවා නිසා ආමාරුවෙන් ලද දුර්ලභ වූ
මනුෂ්‍ය ජීවිතය සතර අපා මගට දමාගත යුතු නොවන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් විතක්ක ඝණ්ඨාන සූත්‍රයේ දී වදාළ දහම් කරුණු කීපයක් කෙරේ
අප සිත් යොමු කරමු. යම් කරුණක් මුල්කොට ගෙන ලෝභ, දෝස, මෝහ නම් වු අකුසල් සිතිවිලි
උපදින විට, එම අවස්ථාවේ දී ලෝභාදී අකුසල්වලට හේතු වු අරමුණුවලින් සිත බැහැර කොට
අලෝභ, අදෝස, අමෝහ නම් වූ කුසල අරමුණකට සිත යොමු කර ගැනීමයි. එවිට සිත තැන්පත්
වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. කුඩා ඇණයකින් ලොකු ඇණයක් ගලවා දමනවා වගේ යහපත්
සිතිවිලිවලින් අයහපත් වු සිතිවිලි වළක්වා ගැනීමට හැකියාවක් ලබයි.
පාපී සිතිවිලි සිතට නැඟී එන විට පින් සිතිවිලි සිතට නඟා ගැනීම මින් අදහස් කෙරේ.
විදර්ශන මගේ දී චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කුසල චිත්තය ම පිහිටුවා ගැනීමයි.
තවදුරටත් රාගය, කාම සිතිවිලි, තරහව, වෛරය, පළිගැනීම, මම ය, මාගේ ය. ලෙස උපදින දැඩි
දෘෂ්ඨීන් හටගන්නා විට එම අකුසල පාපී සිතිවිලිවල බියකරු බව. ආදීනවයන්, විඳින්නට
සිදුවන නරක විපාක නැවත නැවතත් සිහිකොට එමඟින් බැහැර කරගන්නේ වෙයි. මෙහි දී අස්සාද
ආදීනව, නිස්සරණ නම් වූ අවස්ථාවන් සිහිපත් කළ හැකියි. මෙම ක්‍රියාවලිය උපමාවකින්
දැක්වූවොත් මේ ලෙසිනුයි.
ප්‍රසන්නව සැරසී සිටින අයකුගේ බෙල්ලට සර්ප කුණක් හෝ සුනඛ කුණක් හෝ මිනිස් කුණක්
වැටුණොත් පිළිකුල් කොට ලජ්ජාවෙලා, අකැමැත්තෙන් ඉවත් කරන්නේ ය. ඒ ආකාරයෙන් ම
පාපයට,අකුසලයට බියක්, ලජ්ජාවක් ඇති කොට ගෙන සිත ලෝභාදී අකුසලයන්ගෙන් වළක්වා ගත
යුත්තේ ය. සිතේ තැන්පත් බව, එකඟ බව, සමාධිගත බව රැකගත යුතු වෙයි.
තවදුරටත් ඇස, කන,ආදි ඉඳුරන් ඔස්සේ ලෝභාදී අකුසල සිතිවිලි ගලාගෙන එන විට ඒවා සිහි
නොකරන්නට, මෙනෙහි නොකරන්නට උපදෙස් දෙයි. මේ සඳහා පතිරූප දේසය, යහපත් පරිසරය,
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය උපකාරී වෙයි. තමාට දකින්නට, අසන්නට ලැබෙන්නේ යහපත් වූ දේ
නම් සිතෙහි මතුවන පාපී අකුසල සිතිවිලි බැහැර වීමට උපකාරී වෙයි. මෙය උපමාවකින්
දක්වන්නේ නම්, අකැමැති කෙනෙක් දෙස නොබලනවා හෝ අකමැති දෙයක් නොබලනවා වැනි ය. මින්
අදහස් කරන්නේ දැඩි ආශාව, තරහව,මුලාව වැනි සිතිවිලි සිතෙහි සඟවා හෝ බලයෙන් යටපත්
නොකොට ගෙන මෙතෙක් පුරුදු කරන ලද අවබෝධය සමඟින්ම අකුසල සිතිවිලි මෙනෙහි නොකොට
සිටීමයි.
තවදුරටත් පාපි අකුසල සිතිවිලි උපදින්නේ නම් එම සිතිවිලිවල පිහිටීම, ආරම්භය, ස්වභාවය
මෙනෙහි කළ යුතු වන්නේ ය. අනුක්‍රමයෙන් ඇතිකරගත් භාවිත සිත සමඟින් අකුසල සිතිවිලි
පහළවන ආකාරය විමසන විට ලෝභාදි අකුසල සිතිවිලි බැහැර වෙමින් තමා කෙරේ සිත පිහිටන්නේ
ය. එකඟ වන්නේ ය. සමාධිගත වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ දෙසූ උපමාව මෙයයි.
වේගයෙන් ගමන් කරන අයෙක් කුමක් නිසා වේගයෙන් ගමන් කරන්නේ දැයි සිතා සෙමින් ගමන්
කරන්නේ ය. සෙමින් ගමන් කරන්නේ කුමක් නිසා දැයි සිතා නතර වන්නේ ය. කුමක් නිසා නතර වී
සිටින්නේ දැයි සිතා වාඩිවෙන්නේ ය . එසේ කුමක් නිසා දැයි සිතා හාන්සි වෙන්නේ ය.
අනුක්‍රමයෙන් සකස් වුණා වූ අවබෝධය නිසාම සිත පිහිටයි. තැන්පත් වෙයි. එකඟ වෙයි.
සමාධිගත වෙයි.
තවදුරටත් ලෝභ, දෝස, මෝහාදී අකුසල් සිත්වලට නැඟී එන්නේ නම්, දත් දෙපළ එකට තබා
තදකරගෙන දිව තල්ලට තබා තදකරගෙන කුසල් සිතින්ම, අකුසල් සිතට නිග්‍රහ කළ යුතු වන්නේ
ය. නිග්‍රහය යන වචනයෙන් තරහවක් ගම්‍ය නොවේ. ලෝභා දී විතර්කවලට එරෙහිව අවබෝධයෙන්
ඇතිකර ගන්නා වූ බලවත් චිත්ත ශක්තියයි. උපමාවකින් දැක්වුවොත් මෙසේයි. ශක්ති සම්පන්න
පුද්ගලයෙක් දුර්වල පුද්ගලයකුගේ ඔළුවෙන් හෝ කඳෙන් හෝ අල්ලාගෙන තදින් පෙළන්නේ නම්,
වෙහෙස වන්නේ නම් ඒ ලෙසම ලෝභාදි අකුසල සිතිවිලි පෙළිය යුතු වන්නේ ය. එවිට සිත තමා
කෙරේ පිහිටයි. තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
අප විසින් මෙසේ සාකච්ඡා කරනු ලැබුවේ ඝෝර සසරේ බියකරු බව නුවණින් දකින ශ්‍රාවක
ශ්‍රාවිකාවගේ නිවන් මගේ ප්‍රතිපදාව පිළිබඳයි.
සාමාන්‍ය ලෝකයා සසරේ ඇති බියකරු බව මැනවින් අවබෝධ නොකරගන්නා තාක් පස්පව්, දස
අකුසලයන්හි ද, ඇලීම්, බැඳීම්, ගැටීම්, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ඔස්සේ ජීවිත
ගමන පවත්වා ගනිති.
ලෞකික ප්‍රශ්න ඉදිරියේ මඟ හැරීමක් හෝ ප්‍රශ්නවලින් පැනයාමක් බුදු දහමෙහි පෙන්වා
නොදෙයි. බෞද්ධ දර්ශනය හේතුඵල දහමකි. විනය ශික්ෂණය ඇතිව ප්‍රශ්න ගැටලුවලට විසඳුම්
සෙවීම අවශ්‍යය. රටක සාමාජයක සම්මුති පැවැත්මට, දියුණුවට කටයුතු කළ යුතු වන්නේ ය.
එනමුත් සසර දුකින් මිදීම විනා සසර දුක නැවත නැවතත් නොඋපදවා ගත යුතු වන්නේ ය. |