Print this Article


කල්පයකටත් වැඩි කාලයක් දීර්ඝායුෂ විඳින්නට කැමැති ද ?

කල්පයකටත් වැඩි කාලයක් දීර්ඝායුෂ විඳින්නට කැමැති ද ?

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ භික්‍ඛවෙ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තීති. කතමෙ චත්තාරො, ජන්දඉද්ධිපාදං භාවෙති. චිත්තඉද්ධිපාදං භාවෙති. විරියඉද්ධිපාදං භාවෙති වීමංසාඉද්ධිපාදං භාවෙතීති.

අද මා මාතෘකා කළ දේශනාවේ මූලාශ්‍රය සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ අපාර සූත්‍රයයි. අපාර කියන පාලි වචනයේ සිංහල තේරුම මෙතෙර කියන එකයි. සංසාරයෙත් මෙතෙරක් පරතෙරක් නැති නිසා සංසාරයටත් අපාර කියලා කියනවා.

සංසාරය නැමැති මෙතෙරින් එතෙරට යාමට අවශ්‍ය ධර්ම කරුණු ඇතුළත් නිසයි මේ සූත්‍රය අපාර සූත්‍රය කියලා නම් කළේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලාටයි මේ අපාර සූත්‍රය දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සතර සෘද්ධිපාද වඩනව නම්, බහුල ලෙස පුරුදු පුහුණු කරනව නම් සංසාරයේ මෙතෙරින් එතෙරට යන්න පුළුවන් වෙනවා. ඒ සඳහා “ ජන්දඉද්ධිපාදං භාවෙති” ජන්ද ඉද්ධිපාදය වැඩිය යුතුයි. “චිත්තඉද්ධිපාදං භාවෙති” චිත්ත සෘද්ධිපාදය වැඩිය යුතුයි. “විරියඉද්ධිපාදං භාවෙති” වීර්ය ඉද්ධිපාදය වැඩිය යුතුයි. “වීමංසාඉද්ධිපාදං භාවෙති” වීමංසා ඉද්ධිපාදය වැඩිය යුතුයි.

“ඉද්ධි” කියන පාලි වචනයේ තේරුම විශේෂ සුවිශේෂ හැකියාව කියන එකයි. ඊට අමතරව සමෘද්ධිය, අභිවෘද්ධිය දියුණුව වගේ තේරුම් ද දෙන්න පුළුවන්. අහසේ ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, පොළවේ කිමිදීම, එක් අයෙක් ගොඩක් අය කිරීම, ගොඩක් අය එක් අයෙක් කිරීම සෘද්ධිමතුන්ට කරන්න පුළුවන් විශේෂ හැකියා. මේ දේවල් සාමාන්‍ය කෙනකුට කරන්න බැහැ.

සාමාන්‍ය කෙනකුට කරන්න බැරි විශේෂ සුවිශේෂ දේ කරන්න පුළුවන් හැකියාවටයි ඉද්ධිය කියන්නේ “ඉද්ධිපාද” කියන්නේ ඒ විශේෂ සුවිශේෂ හැකියාවන් ලබා ගන්නා ක්‍රමයයි. ඒ සඳහා භාවිත කළ යුතු ක්‍රියා පිළිවෙතයි.

පළමුවැන්න “ජන්ද ඉද්ධිපාදො” ජන්ද සෘද්ධිපාදයයි. ජන්දය කියන්නේ කැමැත්තට. ඒ කුසල් දහම් කිරීමට ඇති කැමැත්තයි.

කුසල්දහම් විතරක් ම කරන්න හිතේ තියෙන බලවත් කැමැත්තයි කත්තුකම්‍යතා කුසලච්ඡන්දය කියන්නේ.

දෙවැන්න “චිත්ත ඉද්ධිපාදො” චිත්ත සෘද්ධිපාදයයි. චිත්ත කියන්නේ හිතටයි. හිතෙන් කරන්නේ අරමුණු හිතන එකයි. ඇහෙන් රූපයක් දැක්කම, කනෙන් ශබ්දයක් ඇහුවම, නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කරීම, දිවෙන් රසයක් වින්දම, ශරීරයෙන් ස්පර්ශයක් ලැබුවම ඒවායේ හොඳ නරක බව, සැප දුක් බව දැන ගන්නේ හිතෙන්. “විචිත්‍ත කරණං චිත්‍තං” විසිතුරු කරන්නේ සිතයි. මං එය මෙහෙම පැහැදිලි කරන්නම්.

චිත්‍රයක් අඳීන කෙනෙක් එක්වර ම චිත්‍රය අඳීන්නේ නැහැ. ඔහු එය මුලින් ම හිතේ මවා ගන්නවා.

හිතෙයි මූලික චිත්‍රය ඇඳ ගන්නේ. ඊට පස්සෙයි ඉරි ගහලා, කටුසටහන් එහෙම ඇඳලා චිත්‍රය සම්පූර්ණ කරන්නේ. ඊටත් පස්සෙයි සායම් ගාලා චිත්‍රය පාට කරන්නේ. මේ විදියට චිත්‍රය විසිතුරු කරන්න උදව් කළේ හිතයි. චිත්ත සෘද්ධිපාදය කියන්නේ සිත භාවිත කිරීමයි. වැඩීමයි. හිත වඩන්න නම් මුලින් ම හිතට ඉතා සරල ප්‍රතිපත්තියක් ටික කාලයකට පුරුදු කරන්න. ඒ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ඔබම හොඳීන් හිතලා තීරණය කරන්න. දෙවැනි පියවර හැටියට සරල භාවනා කමටහන් කිහිපයක් තෝරාගෙන, ඒවා ඉගෙනගෙන වඩන්න පුරුදු වෙන්න. එතකොට හිත සෘද්ධිපාදයක් හැටියට වැඩේවි.

තුන්වැන්න “විරිය ඉද්ධිපාදො” වීර්ය සෘද්ධි පාදයයි. වීර්ය කියන්නේ පටන් ගත්ත දේ අවසාන වෙනකම් කරන්න තියෙන හැකියාවයි. එහෙම කරන්න නම්, ථීනමිද්ධ නීවරණය නැති කරන්න ඕන. ථීනමිද්ධය නැති කරන්න උත්සාහය පුරුදු කිරීමයි වීර්ය සෘද්ධිපාදයේ මූලික පියවර.

ඊළඟට සතර සම්‍යග් ප්‍රධාන වීර්ය වැඩිය යුතුයි. නූපන් අකුසල් නැති කිරීමට උත්සාහ කිරීම, උපන් අකුසල් නැති කිරීමට උත්සාහ කිරීම. නූපන් කුසල් උපදවා ගැනීමට උත්සාහ කිරීම, උපන් කුසල් වැඩිකර ගැනීමට උත්සාහ කිරීම.

බුදුරජාණන් වහන්සේ තරම් වීර්ය සෘද්ධිපාදය වඩපු උත්තමයෙක් තවත් මේ ලෝකයේ නැහැ. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේ වීර්ය සෘද්ධිපාදයක් හැටියට විතරක් නෙවෙයි පාරමිතාවක් හැටියට, බොජ්ඣංග ධර්මයක් හැටියට, ඉන්‍ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට වැඩුවා. පුරුදු පුහුණු කළා.

හතරවැන්න “වීමංසා ඉද්ධිපාදො” වීමංසා සෘද්ධිපාදයයි. වීමංසා කියන්නේ සිහි නුවණින් විමසලා හොඳට හොයලා බලලා යමක් පිළිගැනීමයි. අටුවාව එය විස්තර කරනවා “යා පඤ්ඤා පජානනා සම්මාදිට්ඨි අයං වුච්චති වීමංසා” කියලා. යම් ප්‍රඥාවක් වේ ද, යම් දැනීමක් වේ ද, යම් සම්‍යක් දෘෂ්ටියක් වේ ද එයයි වීමංසාව කියලා. වීමංසාව මොන වගේ ද කියලා අපිට පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ අපූරු උදාහරණයක් දැක්වූවා.

විමංසාව හරියට ඇතාගේ හොඬවැලේ කෙළවර වගෙයි. ඇතා තමන්ගේ හොඬයට කිට්ටු වෙන දේ් හඳුනා ගන්නේ හොඬවැලේ කෙළවරින් එය ස්පර්ශ කරලයි.

එතකොට ඇතාට තේරෙනවා මේක මෘදු දෙයක්. මේක රළු දෙයක්. මේක සීතලයි. මෙය උණුසුම් කියලා. මෙහෙම තේරුම් අරන් තමයි කෑමට හොඳද? නරකද? කියලා තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය ඒ ඒ කොටස්වලට බෙදුවේ වීමංසාව මුල් කරගෙනයි.

උන්වහන්සේ “ඉමෙ ධම්මා කුසලා” මේ ධර්ම කුසල් ය, “ඉමෙ ධම්මා අකුසලා” මේ ධර්ම අකුසල් ය කියලා පෙන්වලා දුන්නේ වීමංසාවෙනුයි.

මේ සතර සෘද්ධිපාද වැඩුවොත්, භාවිත කළොත්, පුරුදු පුහුණු කළොත් මොනවද ඔබට ලැබෙන්නේ කියලා දැන් කියලා දෙන්නම්. ඔබට ලැබෙන පළවෙනි ම දේ තමයි ආයුෂ කල්පයක් හෝ කැමැති නම් ඊටත් වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් විම. ඒ බව බුදුරජාණන් වහන්සේ ම දේශනා කරනවා “යස්ස කස්සචි ආනන්‍ද, චත්‍තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතායානිකතා වත්‍ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා සො ආකංඛමානො ආනන්‍ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පා ච සෙං වා” කියලා. අපි හැමෝ ම කැමතියි දීර්ඝායුෂ විඳීන්න. එහෙම නම් දිර්ඝායුෂ ලබා ගන්න තියෙන පහසු ම ක්‍රමය තමයි සෘද්ධිපාද ධර්ම වඩන එක. දෙවැන්න සෘද්ධිපාද වැඩීමෙන් මහත් ආනුභාවයක් ලබා ගන්න පුළුවන්. ඕනෑම ප්‍රාතිහාර්යයක් පාන්න පුළුවන්. ඕනෑම භායානක අයෙක් ඉදිරියේ බිය නොවී ඉන්ද්‍රඛීලයක් වගේ ඉන්න පුළුවන්. ඒ ඕන කෙනෙක් දමනය කරන්න පුළුවන්. මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නාග රාජයා දමනය කළේ මේ කියපු සෘද්ධිපාද වඩලා තිබුණ නිසා.

මේ ඡන්ද, චිත්ත, වීර්ය, වීමංසා කියන සෘද්ධිපාද හතර ජීවිතය පුරා වඩනව නම්, භාවිත කරනව නම්, අභ්‍යාස කරනව නම් අනිවාර්යයෙන් ම සංසාරයේ මෙතෙර ඉඳලා එතරට යන්න පුළුවන් වෙනවා. “ එකන්ත නිබ්බිදාය” ඒකාන්තයෙන් ම නිවීමක්, සැනසීමක් ලැබෙනවා. “විරාගාය” හැම දෙයකට ම ඇලෙන ගතිය නැති කර ගන්න පුළුවන් වෙනවා. “උපසමාය” සංසිඳෙන්න පුළුවන් වෙනවා. “අභිඤ්ඤාය” හැමදෙයක් ම වහාම අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා. “සම්බොධාය” සම්බෝධිය පිණිස හේතු වෙනවා. “නිබ්බානාය” නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවිශ්ට වෙන්න පුළුවන් වෙනවා.