Print this Article


සදහම් අරණ

මෙවර ජයග්‍රාහී නිර්මාණය

ජලය වටිනා සම්පතකි

පෘථිවියේ 2/3ක් ම ඇත්තේ ජලය යි. කරදිය හා මිරිදිය වශයෙන් ජලය කොටස් දෙකකට බෙදිය හැකි ය. මුහුදු ජලය කරදිය නමින් හැඳින්වෙන අතර ගංගා, ඇළ දොළ, වැව්, අමුණු, ළිං ජලය, විල්, පොකුණු, දිය ඇලි, සහ උල්පත් ඇතුළු ගොඩබිම ඇති ජලය මිරිදිය ලෙස හැඳින්වේ. මිරිදිය ජලය සාමාන්‍යයෙන් පානීය ජලය ලෙස යොදා ගත්ත ද කරදිය ජලය පානීය වශයෙන් යොදා නොගැනේ.

ජලය අපට සම්පතක් වන්නේ පානීය ජලය අපට සීමාසහිත ප්‍රමාණයක් ඇති හෙයිනි. එනිසා අප ජලය රැක ගත යුතු ය. මිනිසා ජලය විවිධාකාර ලෙස භාවිතයට ගනී. බෝතල් කිරීමෙන්, නළ මඟින්, ළිං මඟින්, ගංගා, ඇළ දොළ, වැව්, පොකුණූු ආදියෙන්, දුෂ්කර පැතිවලට බවුසර් මඟින් හා වැසි ජලය එක්රැස් කිරීමෙන් යනාදී වශයෙනි. මෙලෙසින් ලබා ගන්නා ජලය සීමිත ය. මේ අනුව ජලය දූෂණය නොකර රැක ගැනීම අපේ යුතුකමයි. මිනිසාට මෙන්ම ගහකොළ සතා සිව්පාවා යන හැම දෙනාට ම ජලය අවශ්‍යම ය. ජලය නැතිව ජීවත්විය නොහැක. එබැවින් බෙදා හදාගෙන අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කළ යුතු ය.

බුදුන් වහන්සේ පවා ජලය අපිරිසුදු නොකරන ලෙස වදාළ සේක. ජලයට මළ මුත්‍රා නොකරන්න. කෙළ නොගසන්න යනාදී බොහෝ කරුණු කාරණා ජලය සම්බන්ධයෙන් දේශනා කොට ඇත. වන විනාශය නිසා ජල උල්පත් සිඳී යයි. මේ නිසා වන සම්පත රැකීමෙන් ජල සම්පත රැක ගත යුතු ය.

****

බක් පොහොය

බක් පුන් පොහොය ලබන්නේ අවුරුදු මාසයේ දී හෙවත් අපේ‍්‍රල් මාසයේ දී ය. මෙම පොහොය ශ්‍රී ලාංකික අපට වඩාත් වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය, බුද්ධත්වයෙන් පස්වන වසරේ දී බක් පුන් පොහොය දිනයක දී සිදුවීම නිසාවෙනි. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේ අරමුණ වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන් වෛරය සංසිඳෙන බවත් ලාංකීය රජවරුන්ට අවබෝධ කරදීමට ය. චූළෝදර මහෝදර අතර සිදු වූ අරගලය නවතාලූයේ මෙම පොහොය දිනයේ දී ය.

****

මම

අම්මට තාත්තට වඳිනවා
උදේම පාසලට යනවා
ගුරුතුමියට ගරු කරනවා
පාසල නිමවී ගෙදරට එනවා

****

දහම් මඟ යමු

ලොව්තුරු අමයුරු බණ පද සිතට නැඟී එන්නේ
අමා මෑණි සම්මා සම්බුදු ගුණ සිහි වන්නේ
දහම් සුවඳ ලෝ තලයේ පවනට මුසු වෙන්නේ
සාධු සාධු නිවන් පිණිස දහම් මඟට යන්නේ

නිවන් පිණිස කරනා දෙය යහපතක් ම වන්නේ
ලෝ සතුන්ට යහපත් අයුරින් සලකා ඉන්නේ
සිත සන්සුන් කර ගනිමින් දහම් මඟම යන්නේ
සම්මා සම්බුදු සරණින් නිවනට යොමු වෙන්නේ

****

ජලය සුරකිමු

අප ජීවත්වන පරිසරයේ සොබාදහමෙන් විසින් අපට ලැබුණු ඉමහත් වටිනා සම්පතක් ලෙස ජලය හඳුන්වා දිය හැකි ය. ජල සම්පත මිනිසාට පමණක් නොව සතුන්ට, ගහ කොළ ඇතුළු ලෝකයේ සියලු ම ජීවින්ට ද සම්පතකි. ජලය නොමැතිව පැවැත්මක් නැත.

එසේම මිනිසාගේ මූලික අවශ්‍යතා අතරින් ජලය ප්‍රධාන අංගයකි. එහෙත් අද වන විට මිනිසා කැළිකසළ, අපද්‍රව්‍ය, කර්මාන්ත ශාලාවලින් පිටවන අහිතකර රසායන ද්‍රව්‍ය ආදි දේ ජල මූලාශ්‍රවලට මුදා හැරීම පුරුද්දක් ලෙස සිදු කරයි. එසේම ජලයෙන් සතුන් නෑවීම, මළ මුත්‍රා මුදා හැරීම වැනි කටයුතු සඳහා ද මේ වන විට මිනිසා පෙළඹී ඇත.

එමෙන් ම මිනිසා ජලය අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමට ද පුරුදු වී ඇත. අප සිදු කළ යුත්තේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කිරීමයි.

****

වස විෂෙන් තොර ආහාර

“සියලු සත්වයෝ ආහාර මත යැපෙන්නෝ ය.’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මිනිසාට තම ශරීරය පවත්වා ගෙන යෑමට ආහාර අත්‍යවශ්‍ය වේ. තම ශරීරය පවත්වා ගෙන යෑමට ගන්නා වූ ආහාරය වස විෂෙන් තොර වූවක් නම් එය මොන තරම් අගේද? වස විෂෙන් තොර ආහාරය මිනිසාට දීර්ඝායුෂ ලබා දෙයි.

වත්මන් ලොවේ මිනිසුන්ගේ ආහාර රටාව, ආහාර නිෂ්පාදනයේ සිටම වස විෂ මුසු වන්නකි. බත සරි කරවන කුඹුරක වී වැපිරීමට පෙර සිට ම වල්නාශක, කෘමිනාශක යෙදීම ඊට කදිම නිදසුනකි. අනෙක් ආහාර වුව ද ඇසුරුම් කිරීමේ සිටම වෙළෙඳපොළට යෑම දක්වා ම නොයෙක් වස විෂෙන් පිරී ඇත.

වත්මන්හි මෙන් රෝග බහුල සමාජයක් පැරැන්නන් තුළ නොතිබුණේ ඔවුන් වස විෂෙන් තොර ආහාර රටාවක් අනුගමනය කළ නිසා ය. ලොව පරම ලාබය ලබා ගැනීමට ද වස විෂෙන් තොර ආහාරය ඉවහල් වේ. වස විෂෙන් තොර ආහාර අපට ලෞකික වශයෙන් කායික නීරෝගී බව ලබා දෙයි. මානසික සුවය ද දෙයි.