Print this Article


සිව් බුදුවරුන්ගේ සිරිපා පහසින් පූජනීය වූ සමනොළගිර අසිරිය

සිව් බුදුවරුන්ගේ සිරිපා පහසින් පූජනීය වූ සමනොළගිර අසිරිය

සමස්ත ලෝකයාගේ ම අවධානයටත් සියලු ආගමිකයන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පාත්‍ර වූ පුදබිමකි ශ්‍රී පාදස්ථානය. ශ්‍රී ලංකාවේ පිහිටි දැවැන්ත කඳු පන්ති අතරින් ආගමික බැතියෙන් තරණය කරන සුවිශේෂීතම ගිරි සිඛරය වන්නේ සමනල කන්දයි.

මීටර 2243ක් පමණ උසින් යුතු ශ්‍රී පාද කඳු මුදුන ඓතිහාසික සාමාජීය හා සංස්කෘතික වශයෙන් වැදගත් වන අතරම එය සමන්ත කූඨ, සමනල කන්ද, සමන්ගිර සිරිපා ගිර ආදි නා නා විධ අනවර්ථ නාමයන්ගෙන් ද ප්‍රසිද්ධ ලොව පුරා බොදුනුවන්ගේ වන්දනීයත්වයට බඳුන් වුවකි. ලක්දිව සමනොල ගිරෙහි පිහිටි සිරිපා පියුමට අමතර තවත් සිරිපා සටහන් පිළිබද තොරතුරු අනාවරණය වේ.

යන්නම්මදාය නදියා පුලිනෙච තීරෙ
යං සච්ච බද්ධගිරිකෙ සුමනා ච ලග්ගෙ
යං තත්ථ යොනක පුරෙ මුනිනො ච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි

ශාසන ඉතිහාසයේ සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණු සටහන් වන ස්ථාන හතරක් ගැන සඳහන් වෙයි. ඒ බව ඉහත ගාථාවෙන් තහවුරු වේ. ඒ අනුව එක් සිරිපා සටහනක් දඹදිව නර්මදා නදී තීරයෙහි ද, දෙවැන්න සච්චබද්ධ පර්වතයෙහි ද, තුන්වැන්න සමන්තකූට පර්වත මස්තකයෙහි ද, සිව්වැන්න යෝනක පුරයෙහි ද පිහිටා ඇත. ඒ හැරුණු විට අනුරාධපුර අභයගිරි චෛත්‍යය පිහිටි ස්ථානයේ ද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පැවති බව ක්‍රි.ව 5 වන සියවසට අයත් පාහියන් වාර්තාවන්හි සඳහන් වේ. එහෙත් එවැනි ශ්‍රීපාද ලාංඡනයක් ලංකාවේ බැතිමතුන්ගේ වන්දනාවට භාජනය වී පැවති බවට කිසිදු තොරතුරක් පසුකාලීනව දක්නට නොලැබේ.

තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ තැන පිහිටා වදාළ පා සටහන් පාරිභෝගික චෛත්‍යන්ට අයත් වේ. වර්තමානයේ ඒවා ශ්‍රී පාද යැයි ව්‍යවහාර කරති. සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළඳුන් විසින් තථාගතයන් වහන්සේ උදෙසා සඳුන් දැවයෙන් කළ ශාලාව පිළිගැනීම සඳහා පුණ්ණ තෙරුන්ගේ ආරාධනයෙන් බුදුහු එහි වැඩම කොට ආපසු එන ගමනේ දී නර්මදා නදී තීරයට වැඩම කළ කල්හි එහි වු නාග රාජයා විසින් පූජනීය වස්තුවක් ඉල්ලීමෙන් නර්මදා ගංගා තීරයේ වැලිතලාව මත උන්වහන්සේගේ පා සටහන පිහිටුවා වදාළ බව සඳහන් වේ. එය රළ පැමිණි කල්හි ජලයෙන් වැසෙන බවත්, රළ පහ වු කල්හි පෙනෙන බවත් සඳහන් ය.

බුදුරජාණන් වහන්සේ ඉන් නික්ම සච්චබද්ධ පර්වතයට වැඩම කළ කල්හි එහි වැඩසිටි සච්චබද්ධ තෙරුන්ගේ ඉල්ලීමෙන් ගල්තලාවේ සිරිපා සටහන් පිහිටු වූ බව ද සඳහන් වේ.

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරෙහි කැලණි පුර මණිඅක්ඛික නම් නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් භික්ෂූන් වහන්සේ හා ලක්දිවට වැඩම කොට කල්‍යාණි චෛත්‍යස්ථානයේ කළ රත්න මණ්ඩපයේ වැඩ සිට දන් වළඳා අවසානයේ සුමන දෙව් රජුගේ ආරාධනයෙන් සමන්තකූට පර්වතයට වැඩම කොට එහි ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා මහ රහතන් වහන්සේ සමඟ දිවා ගුහාවේ දිවා විහරණය කළ බව සාරත්ථදීපනී නම් විනයට්ඨ කතාවේ එයි.

“සුමන කූඨෙ පාදම් දස්සෙත්වා පබ්බතපාදෙ දිවා විහාරං කත්වා” යනුවෙන් සඳහන් වීමෙන් ශ්‍රී පාද පුදබිමේ ඉතිහාසය සියවස් විසිපහකට ඈතට දිව යන බව පැහැදිලි ය. එසේම ජනප්‍රවාද තොරතුරුවලට අනුව ශ්‍රීපාද පුදබිම කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරුන් ගේ ද පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වී ඇති බව මෙරට බොදුනුවන්ගේ විශ්වාසයයි.

සිරිපා වන්දනා වාරය ආරම්භ වන්නේ සෑම වසරක ම උඳුවප් පුන් පොහෝ දා සිට ය. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් එය අවසන් වේ. එකි පුරා මාස 6ක කාලය වාරය ලෙසත්, අනෙකුත් කාලය අවාරය ලෙසත් හැඳීන්වේ. අවාර කාලය තුළ සිරිපා මලුවට අයත් කරඬුව හා සමන් දේව ප්‍රතිමාව සඳහා දෛනිකව පුද සත්කාර කරන අතර වන්දනා වාරය ආරම්භ වන විට පුද පෙරහරෙන් සිරිපා මලුව වෙත වැඩමවාගෙන යනු ලබයි.

අතීතයේ සිටම සිරිපා කරුණාවේ යෙදෙන වන්දනාකරුවන් ඒ හා සම්බන්ධ විවිධ සිරිත් විරිත් අනුගමනය කිරීමට පුරුදුව සිටියහ. වන්දනා ගමනට පෙර පුරා මාස ගණනක සිට සුරාවෙන් සූදුවෙන් හා මස් මාංස අනුභවයෙන් වැළකී උදේ, සවස බුදුන් වඳීමින් දෙවියන්ට පින් දී සිරිපා කරුණාවට සූදානම් වෙති. එසේම ගමන පිටත්වීමට පෙර ගමේ පන්සලට හෝ සමීප සිද්ධස්ථානයකට ගොස් බාධාවකින් තොරව ගමන සාර්ථක කර ගැනීමේ සිතින් පඬුරක් බැඳ භාරයක් වීමට ද පැරැන්නෝ අමතක නොකළහ.

එසේම එම වන්දනාව හා බැඳුණු වෙනම ජන වහරක් ද තිබීම තවත් විශේෂත්වයකි. සමනල කන්ද ශ්‍රී පාදය ලෙසත්, සිරීපාදය කරා ගමන් කිරීම සිරිපාදේ කරුණා කිරීම ලෙසත් හඳුන්වයි. සිරිපා කරුණා කිරීමේ දී ඔවුනොවුන්ට හමුවන අනෙකුත් අයට කරුණාවයි, සමන් දෙවි පිහිටයි, ලෙස ආශිර්වාද කිරීමට අමතක නොකරති. එසේම ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් ද පවතී. ජීවිතයේ මුල්ම වතාවට සිරිපා කරුණා කරන වන්දනාකරු කෝඩුකාරයා ලෙස හඳුන්වන අතර (වැඩිහිටියෙක් නම් දඬු කෝඩු ලෙසත්, ළාබාල අයකු නම් කිරි කෝඩු ලෙසත් හැඳීන්වේ) සීත ගඟුල යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතු ය. ඉඳිකටුපාන යන නමින් හඳුන්වන ස්ථානයේ ඉඳිකටු හා නූල් සවිකර යති. බුදුරදුන් සමන්ගිරට වැඩි ගමනේ දී එහිදී දිය නා මදක් විවේක ගත් බවත්, තම සිවුරෙහි ඉරුණු තැන් මසා ගත් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම හැරමිටිපාන නැමති ස්ථානයේ දී සමන් දෙවියන්ට හැරමිටියක් පිදීම ද විශේෂ චාරිත්‍රයකි. එය බොහෝ විට වයෝවෘද්ධ කෙනකූට පිදීම හෝ අන් අයකුගේ ගමන් පහසුවට මාර්ගය අයිනේ තබා යයි. මෙසේ කරනුයේ නිරෝගිභාවය පතාගෙන ය.

එසේම සිරිපා කරුණා කරන සැදැහැවත්හු සිය ගමන් වෙහෙස නිවා ගැනීමට විවිධ ජන කවි ගායනා කිරීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි. එහිදී වන්දනා කිරීමට යන අයත් වන්දනා කර ආපසු එන අයත් අතර ඔවුනොවුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් ද වේ.

බොදුනුවෝ අතීතයේ සිට සිරිපා කරුණාවට පුරුදුව සිටියහ. ඒ අනුව අතීත රජ දවස සිටම සිරිපා වන්දනාවේ යෑමට භාවිත කරන ප්‍රසිද්ධ මාර්ග දෙකක් තිබිණ.

කුරුවිට එරත්න ගිලීමලේ පලාබත්ගල සහ දියබෙත්ම ඔස්සේ සිරිපා මළුවට විහිදී තිබූ සබරගමු මාවත, පඬුවස්නුවර, ගම්පොල, අඹගමුව අලුත් ඔය සීත ගඟුල ඔස්සේ සිරිපා මළුවට විහිදී තිබූ රජ රට මාර්ගය යි. කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ සබරගමු දර්ශනය කෘතියේ දැක්වෙන පරිදි නිශ්ශංකමල්ල රජු සබරගමු මාවතෙන් සිරිපා නැඟ රජරට මාවත ඔස්සේ පොළොන්නරුවට ගිය බව අඹගමුව සෙල් ලිපියකින් තහවුරු වන බව සඳහන් කරයි. කෙසේ නමුදු වර්තමානය වන විට සිරිපා වන්දනාවට ප්‍රසිද්ධ මාර්ග හතක් පමණ භාවිත කරති.

ශ්‍රී පාදය වු කලි ඓතිහාසික වටිනාකමකින් යුත් පුදබිමක් වන අතර, සෙල්ලිපි සන්නස් වංශ කතා විවිධ භාෂාවලින් රචිත සාහිත්‍ය ග්‍රන්ථ මෙන් ම ජනප්‍රවාද මඟින් ඒ බව තහවුරු වේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට පමණ පසු මෙරට මුටසීව රජු දවස ඇලෙක්සැන්ඩර් නම් ග්‍රීක වීරයෙක් බොල්නාස් නම් මන්ත්‍ර කාරයෙකු ද සමඟ ලංකාවට පැමිණ යකඩ දම්වැල් සවිකර ශ්‍රීපාද කන්ද මුදුනට නැඟ ශ්‍රීපාදය වන්දනා කළ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. තවද 13 සියවසේ මෙරටට පැමිණි මාර්කෝ පෝලෝ නම් දේශ ගවේෂකයා ශ්‍රීපාදය පිළිබඳ මෙසේ සඳහන් කර ඇත. මෙම දිවයිනේ ඉතාමත් උස කන්දක් ඇත. එම කන්ද මුදුනට නැඟීමට ඇත්තේ කඳු පල්ලම් සහිත ඉතාමත් දුෂ්කර මාර්ගයකිනි.

එමෙන්ම දේවානම්පියතිස්ස රාජ සමයේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම වීමෙන් රජු ඇතුළු පිරිස බෞද්ධයන් වූ පසුව ඔවුන්ට පුද පූජා පැවැත්වීමට ස්ථාන වශයෙන් අටමස්ථාන සොළොස්මස්ථාන හඳුන්වාදීමේ දී ශ්‍රී පාදස්ථානයත් ඇතුළත් කර ඇත. තවද අමණ්ඩ ගාමිණි රජු දවස මෙරට පැමිණි කාශ්මීරයේ මේඝවර්ණ නම් රජු ශ්‍රී පාදය වැඳ පුදාගත් බව රාජතරංගනීයේ සඳහන් වේ.

“සිව් වන කාශ්‍යප රජුගේ පුත්‍රයකු වූ සක්ක සෙනෙවිගේ බිරිඳ වන වජිරා කුමරිය විසින් සමන්තකූට පර්වතයේ විසු භික්ෂුණීන් සඳහා ආරාමයක් පූජා කළ බව මහාවංසයේ පස්වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. එසේම තුන්වැනි උදය රජු දවස සොළීන් විසින් විනාශ කරන ලද වෙහෙර විහාර මෙන්ම, ශ්‍රී පාද චෛත්‍යයත් ආරාමත් නැවත සිව්වන මිහිඳු රජු විසින් ප්‍රතිසංස්කරණය කොට ශ්‍රීපාද ලාංඡනයත් සමඟම ආවරණයක් සකස් කළ බව මහාවංශයේ සඳහන් වේ. රාජාවලියේ සඳහන් වන පරිදි මහා පරාක්‍රමබාහු රජු ශ්‍රී පාදය වන්දනා කර මලුවේ සමන් දේවාලයක් ඉදිකර ඇත.

පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු ද සිවුරඟ සෙනග සමඟ ශ්‍රී පාදය වන්දනා කළ බව සඳහන් කරමින් ශිලා ලිපියක් ද පිහිටුවා ඇත. දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ මෙහෙයවීමෙන් පතිරාජ නම් ඇමති විසින් ගම්පොළ සිට ශ්‍රී පාදයට යන මාර්ග පිරිසුදු කර පුද පෙරහරකින් සමන් දේව ප්‍රතිමාවක් වඩමවා පහන් පූජාවක් පවත්වා ඇති බව මහාවංසයේ අසූ පස්වන පරිච්ඡේදයේ සඳහන් වේ. සීතාවකගේ රජ කළ මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසු සීතාවක රාජධානියේ රජු බවට පත් පළමුවන රාජසිංහ රජු දරුණු පුද්ගලයකු බවට පත්ව ශිව ආගම වැළඳ ගැනීමත් සමඟ මෙරට බෞද්ධ ප්‍රබෝධයට අඳුරු යුගයක් උදා විය. ශිව භක්තියකු වු රජු භික්ෂූන් ඝාතනය කරමින් වෙහෙර විහාර විනාශ කරමින් බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ශ්‍රී පාදයේ භාරකාරත්වය ශිව ආගමේ පූජකවරුන්ට හෙවත් ආඩින්ට පැවරීය. එයත් සමඟ වසර 150ක් පමණ ශ්‍රී පාදය හින්දු පූජකවරුන්ගේ භාරයේ පැවතියේ ය. ඔවුන් ද තම ශාස්තෘවරයා වූ ශිව දෙවියන්ගේ පාද සටහන එහි ඇතැයි විශ්වාස කරමින් පුද පූජා පවත්වන්නට වූහ.

එනමුදු සෙංකඩගල ප්‍රාදේශීය පාලකයකු වු වීර පරාක්‍රම රජතුමා ශ්‍රී පාදය වන්දනා කොට ශ්‍රීපාද මලුවේ දොළොස් මහේ පහනක් ඉදිකොට පියගැටපෙළ ද ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ. එසේම දෙවන විමලධර්මසූරිය රජු ශ්‍රී පාද ලාංඡනය රිදී වලින් වසා පිදුම් කළ බව කියැවේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මාගම්මන නම් තෙරනමක් ශ්‍රී පාදයේ අයිතිය නැවත බෞද්ධයන් අතට ගැනීමට හින්දු පූජකවරුන් සමඟ මහත් අරගලයක යෙදෙමින් සිරිපා මලුවේ සිටි ශිව භක්තිකයන් පළවා හැර මලුවේ යකඩවලින් ගෙයක් හා ප්‍රාකාර ආදිය සකස් කොට පුද පූජා පවත්වා රජුට පින් අනුමෝදන් කර ඇත. ඒ කෙරෙහි පැහැදුණු රාජසිංහ රජු මඩගම්මන හිමි ශ්‍රී පාදේ නායක පදවියට පත්කොට පුද පූජා සඳහා ගම්වර ද තඹ සන්නසක් මඟින් පරිත්‍යාග කර ඇත. සීතාවක රාජසිංහ රජු දවස සිදු වූ ශාසනික සංහාරය නිසා මේ කාලය වන විට උපසම්පදා භික්ෂූන් නොවූ බැවින් කීර්ති ශී රාජසිංහ රජු තායිලන්තයෙන් උපසම්පදා භික්ෂූන් වඩමවා මෙරට භික්ෂු ශාසනය යළි ස්ථාපිත කළේ ය. ඒ සඳහා රජුට මඟ පෙන්වූ වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය හා ශ්‍රී පාදයේ නායක පදවිය පිරිනමන ලදී. සංඝරාජයන් වහන්සේගෙන් පසුව ශ්‍රී පාදස්ථානයේ අධිපතිත්වය හා සබරගමුවේ සංඝනායක පදවිය වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ට පිරිනමා ඇත. එදා පටන් ශ්‍රී පාදයේ නායක පදවිය හිමි වන්නේ වේහැල්ලේ සඟ පරපුරේ යතිවරයෙකුට ය.

එසේම ශ්‍රී පාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රී පාදස්ථානය හඳුන්වති. බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල සමනල ගිරි මුදුනේ පිහිටුවා ඇති බව විශ්වාස කරමින් බෞද්ධ බැතිමත්හු ශ්‍රීපාදය වන්දනා කරති. හින්දු ජනයා ශිව දෙවියන්ගේ පා සටහන එහි ඇතැයි විශ්වාස කරමින් ශිවනොලිපාදම් නමින් හඳුන්වති. මුස්ලිම් සහ කිතුනු බැතිමත්හු ආදම්ගේ පා සටහන එහි ඇතැයි විශ්වාස කරති. ඔව්හු එබැවින් බබා ආදමලෙයි හෝ බබාද මලෙයි සහ ඇඩම්ස්පීක් ලෙස ව්‍යවහාර කරති. එසේම ඇතැම් කිතුනු බැතිමතුන්ගේ විශ්වාසය වන්නේ ඔවුන්ගේ ශාන්ත තෝමස් මුනිවරයාගේ පාද සටහන ඇති බවයි.

කෙසේ නමුදු අනාදිමත් කාලයක සිට ශ්‍රී පාදය සම්බන්ධව ආගමික වතාවත් කරනු ලබන්නේ බෞද්ධාගමික වත්පිළිවෙත් අනුව ය. එය මෙරට වසර 2500ක ඉතිහාසය පිරික්සා බැලීමෙන් මොනවට පැහැදිලි වේ. එබැවින් වර්තමාන ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී පාදස්ථානය ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස ව්‍යවහාර කිරීමට කටයුතු කළ නිසා වර්තමානයේ ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නාමකරණය වේ.