Print this Article


දිළිඳුබවින් මිදෙන්න බුද්ධ වචනය අනුගමනය කරන්න

දිළිඳුබවින් මිදෙන්න බුද්ධ වචනය අනුගමනය කරන්න

ගිහි ජීවිතයේ පැවැත්මට භෞතික ධනය අත්‍යවශ්‍ය වන හෙයින් බුදුරජාණන් වහන්සේ ආර්ථිකය ධාර්මික ව හසුරුවා ගන්නා ආකාරය පිළිබඳ අචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත්කර තිබේ. එම ආචාර ධර්ම පද්ධතිය බෞද්ධ ආර්ථිකය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ යටතේ බුදුරදුන් ධනය නිෂ්පාදනය කිරීම හා පරිභෝජනය කිරීම කෙසේ කළ යුතු ද යන්න පැහැදිලි කර ඇත.

බුද්ධානුශාසනය අනුව ගිහි කාමභෝගී ජීවිතයක් ගතකරන කෙනකුට දිළිඳු බව දුකකි. ධනය නොමැති වුවහොත් ගිහි ජීවිතය පවත්වාගෙන යාම අසීරු ය. ගිහි ජීවිතය අවශ්‍යතාවලින් මෙන්ම යුතුකම් හා වගකීම්වලින් සංකීර්ණ වී තිබේ. මෙම පසුබිම යටතේ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති අයකුට එය පවත්වාගෙන යාම සතිශය දුෂ්කර ය.

ගිහියකුට තම අවශ්‍යතා සියල්ල තමා විසින් ම නිෂ්පාදනය කර ගැනීමට සිදුවේ. එබැවින් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීම ගිහි ජීවිතය ගත කිරීමට අතිශය පහසුවක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. ආර්ථික වශයෙන් විවිධ දුෂ්කරතා පවතින මෙවැනි යුගයක ආදායම හා වියදම සම ව පවත්වා ගනිමින් එළඹ ඇති දුෂ්කරතා ජය ගන්නේ කෙසේද යන්න බුද්ධ දේශනා ඇසුරෙන් විමසා බැලීම වැදගත් වේ.

ගිහි ජීවිතයේ පැවැත්මට භෞතික ධනය අත්‍යවශ්‍ය වන හෙයින් බුදුරජාණන් වහන්සේ ආර්ථිකය ධාර්මික ව හසුරුවා ගන්නා ආකාරය පිළිබඳ අචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත්කර තිබේ. එම ආචාර ධර්ම පද්ධතිය බෞද්ධ ආර්ථිකය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ යටතේ බුදුරදුන් ධනය නිෂ්පාදනය කිරීම හා පරිභෝජනය කිරීම කෙසේ කළ යුතු ද යන්න පැහැදිලි කර ඇත. ඒ අතුරින් ධනය පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන පැහැදිලි කිරීම අනුව උපයන ධනය කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් ආයෝජනය හෙවත් නැවත ධනය ඉපැයෙන කර්මාන්තයක යෙදවීමටත් සිව්වන කොටස ආපදා අවස්ථාවල දී ප්‍රයෝජන ගැනීම සඳහා තැන්පත් ධනයක් ලෙස පවත්වා ගැනීමත් නිර්දේශ කර තිබේ. මෙමඟින් තවදුරටත් පරිභෝජනය, ආයෝජනය හා ඉතිරිකිරීම යන ධනය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු නිසි පිළිවෙත පැහැදිලිකර ඇත. ආර්ථික විද්‍යාව යටතේ එන ධනය කළමානාකරණය පිළිබඳ සියලු න්‍යායයන් හා භාවිතයන් සිඟාලෝවාද සූත්‍රයේ එන මෙම මූලික විග්‍රහයට යටත් ය. බුද්ධ දේශනාවේ අන්තර්ගත මෙම උපදේශය නිසි පරිදි ක්‍රියාත්මක නොවන රාජ්‍ය, ආයතන හා පුද්ගලික ජීවිතය ආර්ථික වශයෙන් පරිහාණිය කරා ගමන් කරන බව අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ.

විවිධ ආර්ථික හා සමාජ ප්‍රශ්න නිසා පුද්ගලික ආර්ථිකය බලවත් ලෙස අර්බුදයට ලක්ව තිබේ. එවැනි පසුබිමක පළමුව ආර්ථික සම්පත් පරිභෝජනය ආයෝජනය හා ඉතිරිකිරීම පිළිබඳ නිසි අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ. ධන නිෂ්පාදනයට විවිධ බාධා එල්ලවෙමින් පවතින හෙයින් පරිභෝජනය පිළිබඳ සීමා ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය. පෙර මෙන් අවිචාරවත් ව ධනය වැය කිරීමෙන් වැළකී අවශ්‍යතාවලට සීමා තබා ගැනීමට පුරුදු විය යුතු ය. එදිනෙදා ජීවිතයේ ධනය විනාශ වන හේතු සාධක මැනවින් විමසා බලා එම දොරටු වසා දැමීම පළමුව කළ යුතු කාර්යයි. බුදුරජාණන් වහන්සේ ධනය විනාශවන දොරටු හයක් ගෙනහැර දැක් වූ සේක. ඒ අතුරින් සුරාව, සූදූව, අනාචාරය, පාපමිත්‍ර සේවනය හා විනෝදාස්වාදය සෙවීම සඳහා නිතර කාලය ගතකිරීම කවර අවස්ථාවක දී වුව ද ධනය, කාලය සෞඛ්‍ය සමාජ ගෞරවය විනාශ වීමට ප්‍රධාන හේතුවක් වේ. ධනය අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගත යුතු මෙවන් අවදියක එවැනි ක්‍රියාවල නිරත වීම දෙගුණයකින් පරිහාණියට පත්වීමට හේතු වේ. විශේෂයෙන් ම ඉදිරියට පැමිණෙන උත්සව සමයෙහි මත් පැන් භාවිතයට වැය කෙරෙන මුදල් පවුලේ අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමෙන් එක් අතකින් සුළු වශයෙන් වුව ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට සහය කර ගත හැකි ය.

අධිපරිභෝජනය යනුවෙන් හැඳීන්වෙන අධික ලෙස සම්පත් භාවිතය වෙනුවට සරල ජීවන රටාවකට හුරුවීමේ කාලය එළඹ තිබේ. බුදුරදුන් වදාළ සුභරතා යන පහසුවෙන් පෝෂණය කළ හැකි අයකු බවට පත්වීම නිවෙසක පවතින ආර්ථික බර සහල්ලු කර ගැනීමට හේතුවිය හැකි ය. ඔවුනොවුන් එකිනෙකාට බරක් නොවී ප්‍රමාණයට වඩා අන්‍යයන්ගේ උපකාර පැතීමෙන් වැළකිය යුත්තේ හැම කෙනකුම ඔවුන්ගේ ආදායමට සාපේක්‍ෂ ව වියදම් ක්‍රමයක් ද සැකසී තිබෙන හෙයිනි. එහෙත් හැකි පමණින් ඔවුනොවුන් හා බෙදාගැනීම අමතක නොකළ යුතු ය. අන්‍යයාගේ දුක දැක උණුවන හදවතක් යනු කරුණාවෙන් තෙත් වූවක් වන හෙයිනි. කරුණා ගුණය අසීමිත ව වර්ධනය කර ගත යුතු උසස් විහරණයකි (බ්‍රහ්මවිහාර).

ලංකාව බුදුසමයෙන් පෝෂිත සංස්කෘතියක් සහිත රටක් වුව ද ආහාර සංස්කෘතිය හා සම්බන්ධ ඇතැම් අංග පිළිබඳ සතුටුවිය නොහැකි ය. එයින් එක් අංගයකි ආහාරපාන අවභාවිතය. ආහාර පාන සම්බන්ධයෙන් ඇති කර ගත යුතු පමණ දැනීම වෙනුවට අධික ලෙස ආහාරපාන සකසා පරිහරණය නොකොට ඉවත දැමීම සාමාන්‍ය ලක්‍ෂණයක් වී තිබේ. භෝජන සංග්‍රහ ආදි අවස්ථාවල දී තම අවශ්‍යතාවට වඩා ආහාරපාන බෙදාගෙන පරිහරණය නොකොට ඉවත දැමීම බොහෝ දෙනකුගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව තිබේ. බුද්ධ වචනය අනුව ආහාරයෙහි පමණ දැනීම එක් අතකින් ආර්ථිකයට පහසුවක් වන අතරම, කායික සෞඛ්‍ය වර්ධනය කරගැනීමට ද හේතුවේ. ආර්ථික වශයෙන් දුෂ්කර අවස්ථාවක ආහාරපාන බෙදා ගෙන ඒවා පරිහරණය නොකර බැහැර කිරීමේ අනුවණ පිළිවෙත් අර්බුදය තවදුරටත් වර්ධනය වීමට හේතුවෙකි.

සමස්ත සමාජය මුහුණ දෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සංවේදී ව බැලීම ආගමික නායකයන්ගේ ද විශේෂ වගකීමකි. සිව්පස පරිහරණය පිළිබඳ බුදුරදුන් වදාළ ප්‍රත්‍යවේක්‍ෂාව නැවත නැවතත් නුවණින් සලකා බලන්නේ නම් එයින් අපේක්‍ෂිත අරමුණු කවරේදැයි වටහාගත හැකි ය. සසුන් පිළිවෙත පහසු කර ගැනීම සිව්පස පරිහරණයේ ඒකායන අරමුණ බවට පත්කර ගත් විට සිව්පසයෙන් සංග්‍රහ කරන දායක පිරිසට බරක් නොවී මේ අසීරු මොහොතෙහි ඔවුන්ට අස්වැසිල්ලක් බවට පත්විය හැකිය. ආහාරපාන මෙන්ම මුදල් වැය කෙරෙන විශාල පුද පූජා, වත්පිළිවෙත් මඳ කලකට නවතා දමා සරල ආගමික වත්පිළිවෙත් ක්‍රියාවට නැංවීමෙන් දායකයාගේ බර සැහැල්ලු කිරීමට පැවිදි පිරිසට සහය විය හැකි ය. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් යැයි බුදුරදුන් වදාළ හෙයින් ද, එසේම තථාගතයන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම උසස් යැයි අනුදැන වදාළ හෙයින් ද තෙරුවන් පිදීම උදෙසා ප්‍රතිපත්ති පූජාව ම අනුගමනය කිරීම වෙන කවර කලෙකටත් වඩා මෙකලට යෝග්‍යය වේ.