Print this Article


බුදුරදුන්ගේ නාගදීපාගමනය සිදු වූ බක් පොහෝදා

බුදුරදුන්ගේ නාගදීපාගමනය සිදු වූ බක් පොහෝදා

බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් තැනක් ගනියි. චූළෝදර, මහෝදර නා රජුන් අතර මැණික් පලඟක් අරභයා ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක දී ය. මෙය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. මෙහි ප්‍රතිඵලය වූයේ සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි.

සුද්ධෝදන මහරජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය.

මහාවංස වාර්තා

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හෙවත් “නාගදීපාගමනය” පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වන මහාවංස විස්තරයෙන් කොටසක් මෙසේ ය.

මහා කාරුණිකො සත්ථා
සබ්බලොකහිතෙ රතො
බොධිතො පඤ්චමෙ වස්සෙ
වසං ජේතවනෙ ජිනො

මහා කාරුණික වූ, සියලු ලෝ වැසියන් ගේ වැඩෙහි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වැනි වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක.

මහොදරස්ස නාගස්ස
තථා චූළොදරස්ස ච
මා තුල භාගි නෙය්‍යානං
මණිපල්ලංකහේතුකං

මාණික්‍යාලංකෘත අසුනක් අරභයා මහෝදර සහ චූළෝදර නාග ගෝත්‍රික දෙදෙනා ගේ සේනාවන් අතර ඇති වූ

දිස්වා සපරිසජ්ජානං
සංගාමං පච්චුපට්ඨිතං
සම්බුද්ධො චිත්තමාසස්ස
කාළපක්ඛෙ උපොසථෙ
පාතො යෙව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීපමුපාගමි

යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක්මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

මහොදරොපි සො නාගො
තදා රාජා මහිද්ධිකො
සමුද්දෙ නාගභවනෙ
දසද්ධසතයොජනෙ

එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුදෙහි පන්සියයක් යොදුන් පමණ වූ නාග භවනයෙහි රජ විය.

කණිට්ඨිකා තස්හ කණ්හා
වඩ්ඪමානම්හි පබ්බතෙ
නාගරාජස්ස දින්නාසි
තස්ස චූළොදරො සුතො

ඔහු ගේ නැඟණිය කන්වඩමන් නම් පව්වෙහි නා රජු ගේ භාර්යාව විය. ඇය ගේ පුත්‍රයා චූළෝදර නම් විය.

තස්ස මාතා මහා මාතු
මණිපල්ලංක මුත්තමං
දත්වා කාලකතා නාගී
මාතුලෙන තථා හි සො

චූළෝදර ගේ මව ගේ පියා උතුම් වූ මාණිඛ්‍යාලං කෘත අසුන චූළෝදර ගේ මැණියන්ට දී කාල ක්‍රියා කළේ ය.

අහොසි භාගිනෙය්‍යස්ස
සංගාමො පච්චුපට්ඨිතො
පබ්බතෙය්‍යාපි නාගා තෙ
අහෙසුං හි මහිද්ධිකා

එම නිසා චූළෝදර ගේ මව ගේ සොහොයුරා වූ මහෝදර නා රජු හා චූළෝදර අතර යුද්ධයක් හට ගත්තේ ය. පර්වත වාසී ඒ නාගයෝ මහත් සෘද්ධිමත්හූ වූහ.

කලහය දුරදිග යාම

චූළෝදර - මහෝදර යන නාග ගෝත්‍රික රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තත්ත්වයක් ඇතිව ජීවත් වූහ. ඉහත දැක් වූ මහාවංස තොරතුරුවලට අනුව චූළෝදර, මහෝදර ප්‍රමුඛ නාග ගෝත්‍රික මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සංග්‍රාමයට හේතුව වූයේ දායාද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇතිකරගත් කලහය දුරදිග යාම යි.

මහාවංසයෙහි දැක්වෙන පරිදි මහෝදර නා රජු ගේ සොහොයුරිය සරණ පාවා කොට දුන්නේ කන්වඩමන් පර්වතයේ විසූ නා රජුට ය. එම දෙපළ ගේ පුත්‍රයා වූයේ චූළෝදර ය. ඒ අනුව චූළෝදර ඤාතිත්වය අනුව මහෝදර ගේ බෑණා විය. මහෝදරගේ පියා මිය යාමට ප්‍රථම ඔහු සතුව තිබූ මැණික් පුටුව මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේ ය.

මහෝදරගේ කෝපය

ඇතැම් විට මෙම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකි ය. සොහොයුරියගේ අභාවයෙන් පසු මැණික් පුටුවෙහි හිමිකරු වූයේ චූළෝදර ය. ස්වකීය පියාට අයත් ව තිබූ මැණික් පුටුව ස්වකීය බෑණනුවන්ට උරුමවීම මහෝදර ගේ දැඩි කෝපයට හේතු විය. වරින්වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන්ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ ද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්‍රමයෙන් වර්ධනය විය. අවසානයේ දී සේනා සංවිධානය කර ගත් දෙදෙනා මිණි පලඟ නිසා මහත් යුද්ධයකට මුල පිරූහ.

මිණි පලඟ බුදුරදුන්ට

මෙම යුද්ධය ආරම්භ වුවහොත් ඉන් සිදුවන විශාල මිනිස් සංහාරයත්, දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩම කරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමගි කර වූ ආකාරය මහාවංසයෙහි දැක්වෙන්නේ මෙසේ ය.

තෙසං ධම්ම මදෙසෙසි
සාමග්ගිකරණං ජිනො
උභොපි තෙ පතීතා තං
පල්ලංකං මුනිනො අදුං

සර්වඥයන් වහන්සේ සමඟි කරන්නා වූ ධර්මයන් ඔවුනට දේශනා කළ සේක. සොම්නසට පත් ඒ දෙදෙනාම මාණික්‍යලංකෘත අසුන සර්වඥයන් වහන්සේට ප්‍රදානය කළහ.

පාරිභෝගික වස්තුවක්

මෙම අසුන මත සුළු වේලාවක් වැඩසිටි බුදුරජාණන් වහන්සේ එය ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ට ම පවරා දුන්හ. මෙම පුවත පූජාවලියෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“නොයෙක් පෙරහර දක්වා සාමගි‍්‍රතාවට නිසි වූ බණ වදාරා දේශනා නමැති අමෘත වර්ෂායෙන් නයින්ගේ කෝපාග්නි සංහිඳුවා සමගි වූ දෙමයිල් නා රජුන් විසින් පිළිගන්වන ලද මිණිපලඟ මතුයෙහි වැඩහිඳ ඔවුන් විසින් ම පිළිගන්වන ලද දිව්‍ය භෝජනය වළඳා අනුමෙවැනි බණ වදාරා අසූ කෙළක් නයින් සරණසීලයෙහි පිහිටුවා ‘මතු මා දුටුවා සේ වඳුව, පුදව්' යි කිරිපලු රුක හා සමඟ මිණි පලඟ නයින්ට ම පාවා දී මෙසේ දෙවන ධාතු ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙරට වැඩි සේක.”

විශේෂ ආරාධනයක්

මෙහි සිටි මණිඅක්ඛික නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළ බව මහාවංසයේ සඳහන් ය. එම ඇරයුම පිළිගත් බුදුරදුන් තෙවැනි ලංකාගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයා ගේ ඉල්ලීම පරිදි සමන්තකූටයෙහි සිරිපා සටහන තැබූ බව ද එහි දැක්වෙයි. මේ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය නිසා තෙවැනි ලංකාගමනය සිදු කරවා ගැනීමට ද අවස්ථාව උදා වූ බව යි.