Print this Article


අනුන්ට හිතවන්ත විය හැකි තමන්ට හිතවන්ත පුද්ගලයාටයි

අනුන්ට හිතවන්ත විය හැකි තමන්ට හිතවන්ත පුද්ගලයාටයි

අහසෙහි තරුවලට වඩා සඳ බබළයි. මෛත්‍රිය ද එසේ ය. මෙත් සිත හෙවත් හිතවත්කම පළමුව තම සිත තුළ පුරුදු කළ යුතු ය. එසේ නොකරන කෙනකුට ප්‍රායෝගික ජීවිතයේ දී මෙත් වැඩීම දුෂ්කර ය. මන්ද යත් පුරුදු නොකරන ලද දෙයක් වැඩීම අපහසු බැවිනි.

ආදරය, සෙනෙහස, හිතවත්කම,ප්‍රේමය, දයාව, මිතුරුකම බුදු දහම තුළ පුළුල් ව මෛත්‍රිය ලෙස දක්වා තිබේ. පුද්ගල සාමය සහ ලෝක සාමය එකිනෙකා පිළිබඳ එදිරිවාදිකම් පිටුදැකීම සඳහා මෛත්‍රිය ඉතා වැදගත් වේ.

වර්තමානය වන විට ලංකාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල් තුළ නොසන්සුන් බව ඉහවහාගොස් ඇත. ඒ සඳහා නොයෙක් හේතු සාධක ද නැතුවා නොවේ. එනමුත් පුද්ගලයන් ලෙස සාමකාමි බව නිර්මාණය කර ගැනීම සඳහා වැඩිය යුතු ගුණ ධර්මය මෛත්‍රිය යි.

වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. එය සනාතන ධර්මයකි. තථාගතයන් වහන්සේ

‘නහිවේරෙන වේරානි.....” යන ධම්මපද ගාථාව තුළින් ඒ බව දේශනා කළහ. දෙවන ලෝක යුද්ධය පැරදී අන්ත අසරණ ව සිටි ජපානයට අනෙක් රටවල් සම්බාධක පැනවීමට අදාළ පසුබිම සැකසීමට සූදානම් වු අවස්ථාවේ 1951 දී සැන්ෆැන්සිස්කෝ සමුළුවේ දී අප රටේ හිටපු ජනාධිපතිවරයෙක් තම දේශනයේ දී ඉහත ගාථාව මූලික කොටගෙන ජපානය වෙනුවෙන් හඬ අවධි කළහ. එහි ප්‍රතිඵල ලෙස ජපානයට තම දියුණුව වෙනුවෙන් රාජ්‍යය මෙහෙයවීමට අවස්ථාව උදාවුණි.

පුංචි පුංචි නොගැලපීම්, මත ගැටුම් ඇතිකර ගෙන කටයුතු සිදුකිරීම පසුතැවීම්වලට හේතුවේ. ඉවසීම මෙන්ම වෛරයෙහි, ක්‍රෝධයෙහි ආදීනව මෙනෙහි කිරීම ඉතා වැදගත් වේ. වෛරය, ක්‍රෝධය ඇති වීම තුළ පළමුව හානි පැමිණෙන්නේ තමන්ට ය. කෙසෙල් කැන වැටුණාට පසු කෙසෙල් ගස කපා ඉවත් කරන්නා සේ තමා විසින්ම තමා නැසේ. දෙව්දත් හිමියන් අපාගත වන්නේ වෛරයෙහි ප්‍රතිඵල මත ය.

තථාගතයන් වහන්සේ මෛත්‍රිය ඉතා ඉහළින් වර්ණනා කොට ඇත. දේශනාවේ සඳහන් වන්නේ මතුවට සැප ලබා දෙන පින්කම්වලට වඩා මෛත්‍රිය ශ්‍රේෂ්ඨ බව ය. අහසෙහි තරුවලට වඩා සඳ බබළයි. මෛත්‍රිය ද එසේය. මෙත් සිත හෙවත් හිතවත්කම පළමුව තම සිත තුළ පුරුදු කළ යුතු ය. එසේ නොකරන, කෙනකුට ප්‍රායෝගික ජීවිතයේ දී මෙත් වැඩීම දුෂ්කර ය. මන්ද යත් පුරුදු නොකරන ලද දෙයක් වැඩීම අපහසු බැවිනි. එහෙයින් අඩු වැඩි වශයෙන් මෛත්‍රිය පුරුදු කිරීම වැදගත් වේ.

මෛත්‍රිය වඩන ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ දී දක්වා ඇත. ඉන් කුමන ආකාරයකින් හෝ මෙත් වැඩීම සිදුකළ හැකි ය.

අප්පමාතා චේතෝ විමුක්තිය
මනග්ගත චේතෝ විමුක්තිය

ප්‍රමාණ රහිතව දිශාවන් දහයට මෙත් වැඩීම, තමන්ගෙන් ආරම්භවී ටිකෙන් ටික පුළුල් කළ හැකි ය. එය මහේශාක්‍ය චේතෝ විමුක්තියයි. මින් තමන්ගෙන් ආරම්භ කිරීම ඉතා අවශ්‍ය මන්දයත් තමාට අයහපතක් හානියක් වනවාට අකමැති යමෙක් ද ඔහු විසින් අනෙකාට එසේ හානි සිදු නොකර යි.

ධර්මයෙහි සඳහන් වන්නේ තමා උපමා කොටගෙන කටයුතු කරන ලෙසයි.

මල්ලිකා සූත්‍රයට අනුව මේ ලෝකයෙහි තමාට වැඩියෙන් ම ආදරය කරන්නේ පි‍්‍රය කරන්නේ තමන් ම ය. එයට අනුව ගත් කල තමාට පි‍්‍රය අය අනෙකාට අවැඩක්, අයහපතක් සිදු නොකරයි.

ඒ මත පිහිටා මෛත්‍රිය නිවැරැදිව පුරුදු කරන්නේ නම්, තුන්වන ධ්‍යානය දක්වාම හිත දියුණු කරන්න හැකියාව පවතී. එසේම පංචනීවරණ පවා යටපත් කිරීමේ අවස්ථාව පවතී.

මෛත්‍රිය වැඩිය යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ දී දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත. එහිදි කරණීය යනු කළ යුතු ය. මෙත්ත යනු මෛත්‍රියයි. නිවැරැදිව මෛත්‍රිය වඩන්නේ, නිවන දක්වා ම ගමන් කිරීමේ හැකියාව පවතී.

‘නහිජාති ගබ්භ සෙය්‍යං පුනරේතීති. යන්නෙන් නැවත මව්කුසකට නොඑනවා යනු, නිවන් අවබෝධ කර ගැනීමයි. මෛත්‍රිය කෙතරම්ම ශක්ති සම්පන්න ද යන බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ.

එමෙන් ම මෛත්‍රිය වැඩිය යුත්තේ අම්ම කෙනෙක් තම එකම පුතාට ආදරය කරන්නා සේ ය. එවැනි මෛත්‍රිය තුළ ආනිසංස රාශියක් ඇත. ඒ බව මෙත්තානිසංස සූත්‍රයේ දී දීර්ඝ විස්තරයක් දක්වා ඇත. කඳ පිරිතට අනුව අපා, දෙපා, සිව්පා, බුහුපා සත්වයන්ට මෛත්‍රිය සිදුකිරීම තුළ විෂකුරු සර්පයන්ගෙන් පවා හානි සිදු නොවේ.

දහමට අනුව යමෙක් නිරපරාදේ යමකුට කිපුණොත් උඩු සුළඟට දැමූ දූවිලි තම මුහුණට එන්නාක් මෙන් විපතට එක් වේ. එමෙන්ම දහම දක්වන්නේ යමෙක් දඬුවම් නොකළ යුතු අයට දඬුවම් කිරීම සහ ද්වේෂ නොකළ යුතු කෙනකුට ද්වේෂ කිරීමෙන් දසවිධ අන්තරායන්ගෙන් එකකට පත්වන බවයි. දසවිධ අන්තරාය නම් දරුණු වේදනා, බලවත් ධන හානි, අතපය ආදි අවයව සිඳීමයි. දරුණු ලෙස උමතු වීම, රාජ උදහසක් ඇති වීම, බලවත් චෝදනා ලැබීම, නෑයන් පිරිහීම, භෝගයන් පිරිහීම, ගෙය ගිනි ගැනීම ආදියයි.

මෛත්‍රිය තුළ තමන්ට දරුවන්ට මෙන් ම සමස්තයට යහපතක් ම සිදුවේ. මෙත්තානිසංස සූත්‍රයට අනුව බලනවිට නිවැරැදිව මෙත් වැඩීම තුළ ආනිසංස එකොළහක් ලැබේ. නිවැරැදි යන්නෙන් දක්වන්නේ අසේවිතාය, භාවිතාය .........”ආදි වශයෙනි. මෛත්‍රිය ආදරයෙන් ආශ්‍රය කළ යුතු ය. තමන්ගේ ළඟම ඥාතීන් ඇසුරු කරන්නාක් මෙන් මෙත් වැඩීම අවශ්‍ය ය.

නැවත නැවතත් වස්තුවක් සේ මෙත් වැඩීම මෙන් ම නිරන්තරව මෙත් වැඩීම, තම ජීවිතයේ අවසානය දක්වාම මෙත් වැඩීම, සිදුකරන්නේ නම්, ඔවුන්ට ආනිසංස එකොළසක් ලැබිය හැකි වේ.

සුව සේ නිදාගැනීමේ සිට මරණින් පසු බ්‍රහ්මලෝකවල ඉපදීම දක්වා ම ආනිසංස ලැබිය හැකි ය. සුව සේ පිබිදීම, නරක නපුරු හීන දැකීමෙන් තොරව නිදාගැනීම, මිනිසුන්ට පි‍්‍රය වීම, අමනුෂ්‍යයින්ට පි‍්‍රය වීම, දෙවියන්ගේ ආශිර්වාද ලැබීම, වස විස ගින්දරින් හානි නොවීම, සිත සමාධි ගතවීම, මූණ ලස්සන වීම, සිහිනුමුළාව කළුරිය කිරීම මෛත්‍රියෙහි අනුසස් ය.

සම්බුද්ධ දේශනාව වූයේ සමඟිවන්න, විවාද නොකරන්න, කිරි හා දිය මෙන් එකිනෙකා පිළිබඳ පි‍්‍රය ඇසින් බලමින් වාසය කරන ලෙසයි. මේ තුළ හික්මීමේ දී සමාජ සාමය මෙන්ම දෙලොව සුගතිය ද අත්පත් කරගත හැකි ය.