Print this Article


විපතේ දී ළඟින් සිටින බලවත්ම ආරක්ෂකයා ධර්මයයි

විපතේ දී ළඟින් සිටින බලවත්ම ආරක්ෂකයා ධර්මයයි

මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ දේශනාව ලංකාවට රැගෙන එන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය සමයේ. රජතුමාත්, අගබිසවත්, ඇමැති මණ්ඩලයත් තිසරණ සරණ ගියා. ජනතාවත් ඔවුන් අනුගමනය කරමින් ක්‍රමයෙන් තෙරුවන් සරණ යන්න පටන් ගත්තා.

සමහර පිරිමි සහ ගැහැනු අය මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියා. ආරාම ලංකාව පුරා ඉදිවෙන්න පටන් ගත්තා. අග නගරවල පමණක් නෙවෙයි, දුප්පත් ඈත ගම්මානවලත් ආරාම ඉදිවුණා.

භික්ෂූන් වහන්සේ ඒවායේ වැඩ වසමින් භාවනා කළා. පිණ්ඩපාතයෙන් ජීවිතය රැක ගත්තා. උන්වහන්සේ කිසිවිටෙකත් තමන් වහන්සේලාට පිණ්ඩපාතය දෙන දායකයන් අමතක කළේ නෑ. ධර්මය දේශනා කළා. හොඳ සහ නරක කියා දුන්නා. ඊළඟ සසරේ සැප ලැබෙන හැටිත්, දුක් විඳීමට ලැබෙන හැටිත් කියා දුන්නා.

පව්කම්වල විපාක බරපතළ බවත්, පින්කම්වල විපාක සැප ගෙන දෙන බවත් තේරෙන බසින්ම කියා දෙන්න පටන් ගත්තා. ගමත් පන්සලත් අතර මේ නිසාම බොහෝම සමීප සම්බන්ධතාවක් ගොඩ නැඟුණා.

මෙහෙම කාලය ගතව ගිය කාලයක ලංකාවේ සිදු වුණු අපූරු පැරැණි කතා පුවතක් අසන්නට ලැබෙනවා. එක් දායකයෙක් නිතර ආරාමයකට ගොඩ වැදී ධර්මය අහන්නත්, භික්ෂූන් වහන්සේට පිණ්ඩපාතය ඇතුළු සිවු පසයෙන් උපස්ථාන කරන්නත් පුරුදු වී සිටියා.

ඔහු ගිය ආරාමය තමයි නගරයෙන් ඈත පිහිටි අම්බරිය විහාරය. ඒ ආරාමයේ වැඩ සිටියා පිංගල බුද්ධරක්ඛිත කියල මහ තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශීල ගුණය ඉතාම ඉහළයි. ධර්මය පිළිබද දැනුම ද ඒ පළාතේ සමාන කිරීමට තරම් තවත් භික්ෂුවක් හිටියේ නෑ. කාරුණික වදන්වලින් හැම දායකයාට ම ආමන්ත්‍රණය කළා. කිසිවකුටත් කිසිදු වෙනස්කමක් කළේ නෑ.

දායකයින්ගේ සියලු අවශ්‍යතා සොයා බලා මෙලොව සහ පරලොව සුගතිය වෙනුවෙන් වැඩ කළා. උන්වහන්සේ කියන ඕනෑම දෙයක් කරන්න තරම් බැඳීමක් දායකයින් අතර තිබුණා. ධර්මය දේශනා කරන හැම දවසකම තෙරුන් වහන්සේ පන්සිල් දී ඒවායේ ඇති වටිනාකමත්, එම ශික්ෂාපද ආරක්ෂා කළ යුතු ආකාරයත්, එවිට ලැබෙන ආනිශංසත් දේශනා කළා.

නිතර ආරාමයට ගිය එක් ගොවියෙක් ඒ ගැන ගැඹුරින්ම අවබෝධ කර ගත්තා. තෙරුන් වහන්සේටත් පුදුම විදියේ ආදරයක් සහ ගෞරවයක් දැක්වූවා. දවසක් උදෙන්ම කුඹුරේ වැඩට යන්න පිටත් වුණා. බිරිඳ දුන්න කෑම පාර්සලයත්, වතුර ලබුකැටයත්, උදැල්ලත්, පිහියත් ආදී කුඹුරේ වැඩට අවශ්‍ය උපකරණත් අරගෙන පිටත් වුණා. එදා යෙදී තිබුණේ කුඹුර සීසෑමයි.

පෙරදා හැන්දෑවේ කුඹුරට ගිහින් ඒ අසල තමන්ගේ ගවයන් දෙන්නා ගසක බැඳ තබා ගෙදර ගිහින් තිබුණේ. ඒත් උදේ ඇවිත් බලන විට ගවයින් දකින්න හිටියේ නෑ.

ඔහු බියට පත් වුණා. කුඹුරේ වැඩ ඉක්මනින්ම ඉවර කර ගන්න ඔහුට අවශ්‍යයි. ඒ නිසා අනිත් සියලු කටයුතු පසුවට කල් දැමුවා. ඉක්මනින්ම ගවයින් දෙන්නා හොයන්න පටන් ගත්තා.

කුඹුරට ආසන්නයේ තිබුණේ කන්දක් සහිත විශාල කැලයක්. ඒ කන්දට මිනිස්සු කියන්නේ උත්තර වර්ධමාන පර්වතය කියලයි. කෑම හොයාගෙන කන්ද පැත්තට යන්න ඇතැයි හිතුවා.

ගොවියා ඒ දෙසට ඉක්මනින්ම අඩිය තබමින් යන්න පටන් ගත්තා. ඔහුගේ විමසිල්ල නිතරම තිබුණේ ගවයින්ගේ හඬක් හෝ අඩිපාර හෝ කෑම ගත් ස්ථාන හෝ පරීක්ෂා කිරීමයි. වෙනත් දේ් ගැන එතරම් අවධානයක් තිබුණේ නෑ.

ගොවියා ගොඩාක් දුර ගියා. වෙහෙසට පත් වුණා. එහෙත් ගවයින් දෙන්නා හොයා ගැනීමට නො හැකි වුණා. ගෙනා කෑම පාර්සලයත්, වතුර එකත් ගසක් මුල තබාගෙන කන්න පටන් ගත්තා. ඔහුගේ මහන්සිය මදක් අඩුවෙන්න හිතාගෙන ටිකක් වැතිරුණා.

ඒ අතරේ බඩගින්නෙන් එහේ මෙහේ ඇවිදිමින් ගොදුරු සොයන විශාල පිඹුරෙක් පැමිණ ඔහුව වෙළා ගන්නවා. අඩනින්දේ ම අවධිවී බලන විට ගොවියා දකිනවා තමාට වෙලා තියන විපත.

ඔහු මහත් බියෙන් කෑ ගසා ගෙන අසල තිබුණු, තියුණුවට කැපෙන මුවහත් ඇති පිහිය අතට ගෙන පිඹුරාගේ හිස එක්පාරින්ම කපා වෙන් කිරීමට තීරණය කරනවා. ඒත් ඔහුට ඒ මොහොතෙහිම මතක් වෙන්නේ හැම දවසකම ප්‍රාණඝාත කරන්න එපා යැයි කරුණාවෙන් ධර්මය දේශනා කරපු මහ තෙරුන් වහන්සේයි.

ඔහුගේ සිතිවිල්ල වෙනස් කර ගන්නවා. තවත් ටික වේලාවක් යන විට පිඹුරා ඔහුගේ ශරීරය තව තවත් වෙලා ගනිමින් ශරීරයේ අස්ථි එකින් එක බිඳින්න පටන් ගන්නවා.

ගොවියාට දැන් නම් වේදනාව ඉවසා ගන්නට ම නො හැකියි. ඔහු කෝපයට පත් වෙලා පිඹුරාගේ බෙල්ල සිඳ දමන්නට ආයෙත් සූදානම් වුණා. ඒ අවස්ථාවෙත් තෙරුන් වහන්සේගේ රූපයත්, උන්වහන්සේ ආදරයෙන්, කරුණාවෙන් දේශනා කළ ධර්මයත්, ප්‍රාණඝාතයේ විපාකත් නැවතත් සිහිපත් කරනවා.

වේදනාව ඉවසා ගනිමින් නැවතත් අදහස අත්හරිනවා. තවත් මොහොතක් ගතවන විට තිබුණු වේදනාව දෙතුන් ගුණයකින් වැඩි වී ඉවසා ගැනීමේ ශක්තිය නැති මට්ටමට ම පැමිණෙනවා.

තෙවැනි අවස්ථාවේ පිහිය අතට ගන්නේ පිඹුරාගේ ගෙල කපා දැමීමේ අරමුණින්ම යි. ඒත් ගොවියා ඒ භික්ෂූන් වහන්සේගේ කාරුණික වදන්වලටත්, ශීලයටත් ගරු කරමින් මෙහෙම කල්පනා කරනවා.

මම මොහු මරා ජීවිතය ගලවාගෙන ගියේ නම් තෙරුන් වහන්සේ නැවතත් ප්‍රාණඝාතය ගැන ධර්මය දේශනා කරන විට මෙය මට සිහිපත් වෙනවා.

මම හැමදාම පන්සිල් සමාදන් වෙමින් උන්වහන්සේට පොරොන්දු වුණා අන් සතකුගේ ප්‍රාණයක් නැති කරන්නේ නැති බවට. ගමේ සෙසු අයත් මා ගැන විශ්වාස කරනවා. බිරිඳත්, දරුවනුත් මා කෙරෙහි දක්වන්නේ අපමණ විශ්වාසයක්.

මේ සතා මරණයට පත් කළ හොත් ඒ සියලු විශ්වාස සහ මා කෙරෙහි පැහැදීම නැතිව යනවා. ඒ, මේ ආත්මයේ ම ලැබෙන විපාකවලින් ටිකක් විතරයි. මිය ගියහම තවත් අපමණ දුක් විඳින්න වෙනවා. තෙරුන්වහන්සේගේ මුහුණ බලාගෙන නැවත මට බණ අහන්න බෑ. මා කළ පාපය මට නිතර මතක් වෙනවා.

මගේ හිතට මොහුව මරන්න යැයි කියමින් සිතිවිලි පහළ වෙන්නේ මේ පිහිය නිසා. මේක ඉවත දැම්මා ම ඒ ගැන සිතිවිල්ලක් මට එන්නේ නෑ.

මගේ ජීවිතය අද නැසී ගියාවේ. මේ සතාට ආහාරයක් වුණා වේ. ඒත් මම මොහුගේ ජීවිතය නම් විනාශ කරන්නේ නෑ. මගේ ජීවිතය මොහුට දන් දෙනවායි සිතා පිහිය අතින් ඈතට විසිකර දැමුවා.

සිත සනසාගෙන මරණය පැමිණෙන තෙක් ඇස් දෙක පියා ගත්තා. පිඹුරා ඔහුගේ අතින් පිහිය ඈතට විසිවෙන බව දුටුවා. ඒ විගසම තම දරණය ගොවියාගේ ශරීරයෙන් ඉවත් කරගෙන සෙමින් සෙමින් කැලයට යන්න පිටත් වුණා.

ගොවියාට සිහිය නැති වුණා. ටික වේලාවකින් නැවතත් සිහිය ඇවිත් බලන විට ඔහුට පුදුම හිතුණා. පිඹුරා ඔහු අත්හැර ගිහින්. වේදනාව ඉවසාගෙන මොහොතක් එහි ම ගත කර නැවතත් ඔහු ගෙදර යන්න පිටත් වුණා. ශීලය ආරක්ෂා කළ නිසා එදා ගොවියාට තම ජීවිතය නැවතත් ලැබුණා.

බොහෝ කලක් සුව සේ ජීවත් වී මරණින් පසු ඔහු දෙව් ලොව ගියා. එබැවින් ධර්මයෙහි හැසිරීමත්, ශීලය ආරක්ෂා කිරීමත් මෙලොව දීම විපාක ලබා දෙනවා. තමාට විපත් පැමිණි විට අන් කිසිවකුත් සමීපයේ නෑ. සිටින එකම බලවන්ත ආරක්ෂකයා ධර්මය පමණයි. ඒ බව මේ කතාවෙන් පෙන්වා දෙනවා.