Print this Article


කෝට්ටේ යුගයේ අභිමානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරය

කෝට්ටේ යුගයේ අභිමානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරය

කෝට්ටේ යුගයේ දළදා සමිඳුන් වැඩ සිටි දළදා මාලිගය පිහිටි ස්ථානය වශයෙන් අනුමාන කෙරෙන කෝට්ටේ රාජමහා විහාරය පිටකෝට්ටේ මංසන්ධියෙන් මිරිහාන දෙසට දිවෙන මාර්ගයේ රාජමහා විහාර පාරෙහි ගමන් කරන විට හමු වෙයි.

කෝට්ටේ රාජධානිය පිහිට වූ සයවැනි පැරකුම්බා රජතුමා රජ මැදුරට ආසන්න බිමක මනරම් තෙමහල් මන්දිරයක් තනවා දළදා වහන්සේ වඩා හිඳුවා පුද සත්කාර කළ බව සඳහන් වෙයි.

මෙම තෙමහල් දළදා මැදුර පිහිටි ස්ථානය වශයෙන් සලකනු ලබන්නේ කෝට්ටේ රාජමහා විහාරයයි. විහාර බිමෙහි දක්නට ඇති පෞරාණික නා රුක සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවිඳුන් අධිගෘහිත වෘක්ෂයක් වශයෙන් හඳුන්වා පුද සත්කාර කරනු ලබනුයේ උතුරේ ආර්ය චක්‍රවර්තී පාලකයාගේ බලය බිඳලීමට සටන් වැදි සපුමල් කුමරා මෙම වෘක්ෂය අසලට පැමිණ පුද සත්කාර කොට බාරහාර වී සටනට ගොස් සටනින් ජය ලද බව සිහිපත් කරමිනි.


විහාරාධිපති
අලුත්නුවර අනුරුද්ධ නාහිමි

පෘතුගීසීන් කෝට්ටේ නගරයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට පෙර දින රාත්‍රියේ එවක දළදා වහන්සේගේ භාරකාරත්වය ඉසිලු හිරිපිටියේ රාළ නම් අයට කිසිවකු සිහිනෙන් පෙනී ‘කෝට්ටේ කලාලේ - දත මැද ගන්න රාළේ’ යනුවෙන් පැවසූ නිසා කෝට්ටේ රාජධානි සීමාවෙන් පිටත පිහිටි සබරගමුවේ දෙල්ගමු විහාරයට දළදා වහන්සේ වැඩම කරවා ආරක්ෂාව පිණිස කුරහන් ගලක සඟවා තිබේ.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මාතර හිත්තටිය විහාරාධිවාසී වැව ඉන්දසර මාහිමියන්ගේ ශිෂ්‍ය බෙන්තර වනවාස විහාරාධිවාසී බෝධිමලුවේ පරිසුද්ධ මාහිමියන්ගේ ශිෂ්‍ය වූ පිලානේ බුද්ධරක්ඛිත මාහිමියන් ගාල්ලේ පරගොඩ විහාරයේ සිට ස්වකීය ශිෂ්‍ය දායකාදීන් සමග කැලණි විහාර වන්දනාවෙහි පැමිණි අවස්ථාවක වල්බිහිවී ගිය කෝට්ටේ රාජමහා විහාරය දැක ඉංග්‍රීසි ආණ්ඩුවේ අවසරය ලබා 1813 වර්ෂයේ දී කෝට්ටේ රාජමහා විහාරයේ පුනර්ජීවන කටයුතු ආරම්භ කළහ.

වෙහෙර වහන්සේ, විහාර මන්දිරය ඇතුළු විහාරාංග ප්‍රතිසංස්කරණය කරවා ප්‍රදේශයේ සම්භාවනාවට පත් වූ පිලානේ බුද්ධරක්ඛිත නාහිමියන් වෙත 1829 අගෝස්තු 25 වැනි දින එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය හෙවත් කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදි. ප්‍රථමවරට කොළඹ පළාත වෙනුවෙන් නායක පදවියකින් පිදුම් ලද්දේ පිලානේ නාහිමිපාණන් වහන්සේ ය.


මලිගස්පේ මංගල මහනාහිමි සහ ශිෂ්‍ය පිරිස වමේ සිට බටුවන්තුඩාවේ පඬිතුමා, හිඟුල්වල ජිනරතන අනුනාහිමි, ඇඹුල්ගම විමලතිස්ස මහනාහිමි, අඥාත හිමි නමක්, අම්පේ හිමි, රත්මලානේ ධර්මාලෝක හිමි

වර්ෂ 1831 දී පිලානේ බුද්ධරක්ඛිත නාහිමියන් අපවත් වූ පසු තත්ශිෂ්‍ය මලිගස්පේ මංගල මාහිමිපාණන් වහන්සේ කෝට්ටේ රාජමහා විහාරාධිපති පදවියට ද, 1832 වර්ෂයේ දී කොළඹ පළාතේ නායක පදවියට ද පත් වූහ. මලිගස්පේ මංගල නාහිමියන් විසින් කෝට්ටේ රාජමහා විහාරයේ පිරුවන් ආයතනයක් පවත්වා ගෙන ගිය බවත්, විද්‍යාලංකාර පිරුවන පිහිටුවා වදාළ රත්මලානේ ධර්මාලෝක මාහිමියන් ද එහි අධ්‍යාපනය ලැබූ බවත් සඳහන් වෙයි.

අධිමාස වාදය වැනි ධර්ම ශාස්ත්‍රීය වාද විවාද සහ අද මෙන් ප්‍රවාහන පහසුකම් නොතිබුණු දහනමවැනි ශතවර්ෂයේ ගමනාගමන අපහසුතා සැලකිල්ලට ගනිමින් සියම් නිකායික භික්ෂූන් වහන්සේ සඳහා උපසම්පදා කටයුතු පහතරට දී සිදු කිරීමට බෙන්තර අත්ථදස්සි මාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු වූ කටයුතු සඳහා මලිගස්පේ මංගල නාහිමියන්ගේ දායකත්වය ලැබුණි.

මේ අනුව බෙන්තර අත්ථදස්සි, මලිගස්පේ මංගල, පානදුරේ සුමංගල, පැපිලියානේ සීලවංස සහ වලානේ සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කෝට්ටේ රාජමහා විහාරයේ දී 1855 පොසොන් මාසයේ දී කෝට්ටේ රාජමහා විහාරයේ දී සංඝසභාව ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. කැලණි ගඟ ආශ්‍රිතව විනයකර්ම සිදු කළ මෙම සංඝසභාව ශ්‍රී කල්‍යාණී සාමග්‍රි සංඝ සමාගම යනුවෙන් මුල් කාලයේ හඳුන්වා ඇත.

කැලණි ගඟ පිටාර ගලමින් ගංවතුර ගැලීම වැනි ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වීම නිසා වර්ෂ 37ක් කැලණි ගඟ ආශ්‍රිතව සිදු කළ උපසම්පදා කටයුතු කෝට්ටේ රාජමහා විහාරස්ථ සීමාවෙහි සිදු කිරීමට තීරණය කරන ලදින් 1894 වර්ෂයේ සිට කෝට්ටේ රාජමහා විහාරයේ උපසම්පදා කටයුතු අරඹා ඇත. මින් පසු කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාව වශයෙන් සංඝසභාව හඳුන්වනු ලබයි.

මලිගස්පේ මංගල මහනාහිමියන්ගෙන් පසු බැද්දගානේ අත්ථදස්සි මහනාහිමි, ඇඹුල්ගම විමලතිස්ස මහනාහිමි, සුමුටානේ පියදස්සි නාහිමි, වග ඤාණානන්ද නාහිමි, බටුගම්පල ඉන්දසිරි නාහිමිපාණන් වහන්සේලා කෝට්ටේ රාජමහා විහාරාධිපති පදවිය හෙබවූ පසු වර්තමානයේ අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවිය හොබවති