Print this Article


සත්පුරුෂයා අසත්පුරුෂයාටත් මෛත්‍රිය කරනවා

පැරැණි බණ කතා:

සත්පුරුෂයා අසත්පුරුෂයාටත් මෛත්‍රිය කරනවා


පෙර ලංකාද්වීපයෙහි මහාතලා විහාරයේ වැඩ විසූ ත්‍රිපිටකධාරී අභය නම් තෙරුන් වහන්සේ නමක් වූහ. ආරඤ්ඤක අභය තෙරුන් යනුවෙන් ද හැඳින්වුණු උන්වහන්සේට එක් උපාසකයෙක් දොළොස් අවුරුද්දක් ම දාන මානාදිය දෙමින් උපස්ථාන කරයි. සිවුරු පිළි දෙයි.

අසල වසන හරන්තික නම් සොරෙක් මේ සිවුරු රැගෙන යයි. “හැමදාම ඉරුණු සිවුරු පොරවගෙන සිටිනවා විනා තෙරුන් වහන්සේ කිසිදා අලුත් සිවුරක් ඇඳ නොසිටින බව දකින උපාසක, තෙරුන් වහන්සේ මා දෙන සිවුරු පිළි තබාගෙන සිටින බවක් නොපෙනේ. කාටවත් දුන් බවක් ද නොපෙනේ’යි කල්පනා කරමින් රාත්‍රියෙහි කඩුවක් ගෙන මුර කරන්නට වුණා.

සිවුරු පිළි ගෙන යන සොරා අල්ලාගෙන ගුටි බැට දුන්නේ ය. අමු සොහොනේ අලුත් මිනියකට තබා මුදාගත නොහැකි ලෙස බැඳ දැමීය. පිරිසුදු වී ගමට ඇවිත් මෙසේ කීය. “අද රෑ ඔබගේ නම් ගම් නෑ සබඳකම් කියමින් අමානුෂ්‍යයෙක් ඇවිත් කතා කරයි. දොර අරින්න එපා. ඇරියොත් මරාගෙන කාවි. කල්තබා දොර වහගෙන නිදා ගන්න.”

බියට පත් ගම්මු එසේ කළහ. සොරා ගෙයක් ගානේ පිට බැඳි මළමිනිය සමඟ පැමිණ දොර අරින සේ තමාගේ සබඳතා නෑකම් පවසමින් කියයි. කිසිවෙක් කතා නොකොට ගේ තුළ සැඟවී සිටිති. තමන්ගේ බිරිඳට ද තමන්ගේ නම, තොරතුරු මව්පිය විස්තර ආදී නොයෙක් කරුණු කිව්වත් ඇය ද මේ නම් අමනුෂ්‍යයෙකැයි සිතමින් දොර නොඇරියා ය.

මුළු ගමේ ම ඇවිද්දත් කිසිවෙක් දොර නොඅරියි. අවසන බැරිම තැන විහාරයට ගොස් පිටබැඳි මළ මිනිය ලිහා තමන් සුවපත් කරන ලෙස ඉල්ලයි. තෙරුන් වහන්සේ ඔහු දැක කනගාටුවී පිට බැඳි මළමිනිය ලිහා දුර ගෙන ගොස් දමා සොරා උණුවතුරෙන් නහවා තෙල් ගල්වා තවමින් සාත්තු කළහ. මේ අවස්ථාවේ සොරා කොයි ගියේ දැයි විමසමින් විහාරයට ආ කල තෙරුන් වහන්සේ සොරාට සාත්තු සප්පායම් කරන අයුරු දිටීය.

ස්වාමීනි, සොර සිත් ඇති අසත්පුරුෂයන්ට කවර තරම් උපකාර කළත් එය මතක නැත. ඔවුන් විශ්වාස නොකළ යුතු ය. එකට හිඳ, එකට කා බී කල් ගෙවතත් හොර සිත අත් නොහැරිය හැකි ය. වංචා ප්‍රයෝග සිත් ඇති අසත්පුරුෂ සොරා අහසට පොළව සේ දුරින් ම දුරුකළ යුතු ය.

ඔබ වහන්සේ අනුන් සන්තක වස්තුව පැහැර ගන්නාවූ මිත්‍රද්‍රෝහියා ළඟ තබාගෙන තෙල්ගල්වමින්, ඇඟ තවමින් මොනවට දුක් වෙනවද? ඇසිල්ලක්වත් රඳවා නොගෙන වහාම යවනු මැනවි.

එවිට ස්වාමීන් වහන්සේ,

උපාසකය සැඩ පරුෂ සුනඛයෙක් සත්පුරුෂ යමකුගේ පය කඩා කෑවා නම් ඒ පුද්ගලයා සුනඛයාගේ පය කඩා නොකයි. දුෂ්ට අසත්පුරුෂයා මොනතරම් අපරාධයක් කළත් ඔහුට සත්පුරුෂයන් විසින් නපුරක් නොසිතා යහපතම කිරීම බුදු පසේ බුදු මහ සව් උත්තමයන් විසින් ප්‍රශංසා කරන ලදී. මෙලොව යම් උත්තමයෙක් කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂයන්ට මෛත්‍රී නොකරයි නම්, ඔහු කවුරුන්ට මෛත්‍රී කෙරෙද්ද” අසත්පුරුෂයින්ට මෛත්‍රී කිරීම සත්පුරුෂ ධර්මයක්. එසේ කිරීම උතුම් මෛත්‍රියයි. බුද්ධාදී උත්තමයෝ වදාරති.

උපාසකය, මොහුට සොරකම් කරන ද්‍රෝහියායි නොසිතා මුළු හදවතින් ම මෛත්‍රී කරන්න. මොහු තමන් කළ සොරකමෙහි විපාක මතු නොව, මේ ජාතියේ ම ලැබුවා නොවේදැයි?

අවවාද කොට නික්මවූ සේක.

දින කීපයක් ගතවිය. සොරාට දැන් සනීප ය. ඇඟපත සවි ශක්තිය ඇත. ස්වාමීන් වහන්සේ වෙත එළඹ දොහොත් මුදුන් තබා වැඳගෙන මම මේ භවයෙහි අනික් කෙනෙකුන් සේ ගියෙමි. එහෙයින් යළි ගිහිගෙයි විසිය නොහැකි ය. මෙතෙක් කල් සොරකම් කිරීමෙන් රැස් කළ අකුසල රාශි ගෙවී යන පරිද්දෙන් තවත් මා කෙරෙහි අනුකම්පා උපදවා මහණ කොට වදාළ මැනවි. මහත් ගරුසරු ඇතිව ඉල්ලා සිටියේ ය.

තෙරුන් වහන්සේ මහත් කරුණාවෙන් ඔහු මහණකොට උපසම්පදා කළ අතර හරන්තික තෙරණුවෝ වත් පිළිවෙත්හි යෙදී අප්‍රමාදීව භාවිත කරමින් කෙටි කලකින් රහත් වූහ.

පස්කම් සැපතෙහි ලොල්ව නොයෙක් අකුසල් කරමින් පාපියකු වී යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය යන මදයෙන් මත්ව කුසල් කිරීමෙහි ප්‍රමාද වීම සසර දුක් විඳීමට ඒකාන්ත කාරණයයි. නුවණින් සලකාගෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර, මුසාවාද, සුරාපාන, යනාදී අකුසල දුරු කොට ගිහි පැවිදි වූ ඒ ඒ භාවයට සුදුසු කුසල ක්‍රියා රැස් කරන්නෝ නම්, ඒ උත්තම සත්වයෝ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ විසින් ප්‍රශංසා ලද දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳ උතුම් වූ අමා මහ නිවන් පුරයට පැමිණෙති.

හරන්තික මහ රහතන් වහන්සේ පිළිබඳ මෙම බණ කතාව තුළින් ගත යුතු උපදෙස් පිළිපදිමින් ජීවිතය සාර්ථක කර ගැනුම ඔබට බාර ය.