Print this Article


අල්ප ආයුෂ දීර්ඝායුෂ ලැබෙන්නේ මෙලෙසයි

අල්ප ආයුෂ දීර්ඝායුෂ ලැබෙන්නේ මෙලෙසයි

ප්‍රාණඝාත ශික්ෂාව ආරක්ෂා නොකිරීම සසරේ බොහෝ දුක් විපාකවලට හේතුවන බව හා අන් අයගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සසර ගමන සැපවත්වීමට බලපාන බවත් බුද්ධ දේශනාව යි.

මජ්ක්‍ධිම නිකායේ චූලකම්ම විභංග සූත්‍රය මෙහිලා වැදගත් වේ. බුදුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන කල තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ සුභ නම් තැනැත්තා උන්වහන්සේ සමීපයට පැමිණ අපූරු ප්‍රශ්නයක් විමසයි.

එනම් ”බුදුන් වහන්ස, මනුෂ්‍යයින් අතර උස්මිටිකම්, දුප්පත් පොහොසත්කම්, අල්පායුෂ්ක හා දීර්ඝායුෂ්ක වීම්, ලස්සන හා අවලස්සන වීම්, නුවණ ඇති හා නැති ආදී විවිධ වෙනස්කම් පවතී. මේ සඳහා හේතු කවරේද?”යනුයි.

මේ සියල්ල කෙරෙහිම බලපාන හේතු කෙරෙහි අවධානය යොමු නොකොට ප්‍රාණඝාතය කිරීමෙන් සැලසෙන දුක්විපාක හා ඉන් වැළකීමෙන් ලැබෙන සුඛ විපාකත් මෙහිලා දක්වනු ලැබේ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ මෙසේ දෙසා වදාළහ. යම් ස්ත්‍රියක හෝ පුරුෂයකු විසින් කරුණාවෙන් තොර වූයේ සත්ව ඝාතනය කරන්නේ ද, ඒ හේතුකොටගෙන ඔහු හෝ ඇය මරණින් මතු නිරයෙහි දුක් විඳීන අතර යම් හෙයකින් මිනිස් බව ලබන්නේ ද, එකල අල්ප වූ ආයුෂ ඇත්තේ වෙයි. තවද, යමකු විසින් ප්‍රාණඝාත ශික්ෂාව ආරක්ෂා කරනුයේ ද, එහි විපාක ලෙස දිව්‍යමය භවයන්හි සැප විපාක ලැබෙන අතර, මිනිස් ලොව උපදින්නේ නම් දීර්ඝායුෂ ඇත්තවුන් බවට පත්වෙයි.

එසේම නිරන්තර දඬු මුගුරු ආදී වූ විවිධ වූ දෑ මගින් සත්වයින් පෙළන්නේ ද, හිංසා කරන්නේ වේ ද, එය ද යමකු නිරයගාමී තත්වයන්ට පත්වීම කෙරෙහි හේතු වේ. මිනිස් ලොව උපන්නත් අධික රෝගාබාධ සහිත වූවෙක් වේ. ඉන් වියුක්ත වූයේ සුගතිගාමී වන අතර මනු ලොව උපන් කල රෝගාබාධ අල්ප වූවෙක් වෙති.

ප්‍රාණඝාතය සිදුකිරීමේ දී පහළ වනුයේ ද්වේශය නම් වූ චෛතසිකය යි. එසේ කටයුතු කිරීම නිරයගාමී වනු පිණිස ඉවහල් වන අතර, මනු ලොව උපන්න ද, අවලස්සන වූවෙක් වේ. ඉන් තොරවීම සුගතිය පිණිස හේතුවන අතර, මනුලොව දී ප්‍රියමනාප වූවකු වීමට හේතු වේ. කෙසේවුව ද, මේවා සියල්ලක් ම ලෞකික විපාක සේ දත යුතු ය.

ප්‍රාණඝාත ශික්ෂාව ආරක්ෂා කිරීමේ අරමුණු දීර්ඝායුෂ්ක වීම, නිරෝගි බව හෝ ලස්සන වීම නොවිය යුතු ය. ආර්ය මාර්ගයෙහි ලෞකිකත්වය නියෝජනය කරන එවැනි විපාක ලැබුව ද, නිරන්තර අවධානය ලෝකෝත්තර ආර්ය මාර්ගය කෙරෙහිම නැඹුරු විය යුතු ය.

එනම් කායික සංවරයෙන් ඔබ්බට ගොස් මානසික සංවරය පිණිස මෙය යොදා ගැනීම යි. එය ද්වේශය වැනි සිතිවිලි බැහැර කරමින් මෛත්‍රිය හා කරුණාව වැනි උතුම් සිතිවිලිවලින් යුක්තව කුසල් වර්ධනය කිරීමෙන් සිත පිරිසුදු කර ගැනීම ලෙස දැක්විය හැකි ය. ඒ තුළින් නිර්වාණය කෙරෙහි සමීපවීම ප්‍රාණඝාත ශික්ෂාව ලෝකෝත්තර ආර්ය මාර්ගය කෙරෙහි උපයෝගීකොට ගැනීමකි.