මිහිරි සිතිවිලි වනසන
අමිහිරි සතුරා
මේ සමාජය පුදුමාකාරයි. මිනිසුන් ලෙස ඉපදුණත් කෙනකුගෙන් කෙනකුට සිතන ආකාරය වෙනස්
වෙනවා. හැසිරීම් වෙනස් වෙනවා. එකිනෙකා වෙනුවෙන් දක්වන ආකල්ප වෙනස් වෙනවා. මේ අය
අතරින් යම් කෙනෙක් සිතනවා අසවලා මට බැන්නේ ය. ගැසුවේ ය. මා සතු දේ පැහැර ගත්තේ ය
කියා. ඒ දේම නැවත නැවත සිතද්දී සිදු වන්නේ ඔහුගේ සිතේ තරහව, ක්‍රෝධය, වෛරය හටගැනීම
යි.
සමහර විට ඇතැම් කෙනෙක් තමන්ගේ යහපතට දෙයක් කී විට සිතෙන්නේ ඔහු මට බැන්නා කියල යි.
අප එසේ සිතන විටම අපේ සිතේ වෛරය පිහිටනවා.
බද්ධ වෛරය කියන්නේ වෛරයට සිත බැඳී යාමයි. බැඳුණාට පසුව සර්පයා තුඹසේ සිටිනවා වගෙ
යි. හොයන්නට අපහසු යි. එහෙත් අවස්ථානුකූලව මතු වෙනවා.
මේ දුර්ගුණ හඳුනා නොගත්තොත් අපට ජීවත්වීමට සිදුවන්නේ අකුසල් සමඟ යි. අකුසලයට
කුසලයක් උපද්දන්නට බැහැ. සමහර දෙනා කුඩා දෙයටත් වෛර බඳීනවා. කුඩා දේ වේවා, ලොකු දේ
වේවා සිතෙහි ඇති වන වෛරය නම් යහපත පිණිස පවතින්නේ නෑ.
ගසක මුල තමයි ඒ ගසට වැඩීම පිණිස සියලු සාරය දෙන්නේ. ඒ ගසේ කඳ, කොළ, පොතු, මල්, ගෙඩි
සියල්ලට ම ඒ සාරය උපකාර යි. ඒ වගේ ම කෙනෙක් තුළ ක්‍රෝධය නමැති විස මුල් නම්
තිබෙන්නේ ඔහුගේ ක්‍රියාවේ, වචනයේ, සිතිවිලිවල තිබෙන්නේ ක්‍රෝධය යි. පළිගැනීම යි.
එකට එක කිරීම වැනි අමිහිරි දේයි. ඒ කියන්නේ ඔහු සතුටට පත් වන්නේ පළිගැනීමෙන්.
පළිගන්නේ කොහොමද? එකට එක කිරීමෙන්.
අප අකැමැති දෙයක් අප ගැන අසන්නට ලැබුණොත් අපේ සිතේ වෛරය පිහිටනවා. කතා නොකර
සිටිනවා. ගස්සනවා. රවනවා. කතා කළත් ඇසුණේ නැහැ වගේ ඉන්නවා. මේ ආකාරයට ප්‍රතිප්‍රහාර
දී සතුටට පත්වෙනවා. මීටත් දැඩි ලෙස වෛරය පිට කරන අයත් අප අතර සිටිනවා. ඒ වෛරය සසර
පුරාම යන එකක් වෙන්නත් පුළුවන්.
අපට සමාජයෙන් බොහෝ අසාධාරණකම් සිදුවෙනවා. ඒ දේ කුමන ආකාරයට විමස විමසා බැලුවත් සසරේ
නිරතුරුව ම පවතින්නේ අසාධාරණය පමණ යි. එනිසා අප නිරන්තරයෙන් ත්‍රිවිධ රත්නය කෙරෙහි
සිත පහදවාගෙන මේ ජීවිතය ගත කිරීම වැදගත් වෙනවා.
යම් හේතුවකට වෛරී සිතිවිල්ලක් සිතේ පිහිටුවා ගනී නම් එහි පළමු අසාධාරණය සිදුවන්නේ
තමන්ට යි. අනුන්ට නොවෙ යි. මුලින්ම නසා ගන්නේ තමන්ව යි. වෛර කරන පුද්ගලයාට වෛර
කිරීමෙන් ඒ වෛරය සංසිඳෙන්නේ නෑ. යම් ස්ථානයක කෙළ, සොටු, මළමුත්‍ර, අසුචි වැටී තිබෙන
විට නැවත අසුචිවලින් එතැන සෝදා පිරිසුදු කළ නොහැකියි. දුගඳ නැතිකිරීම අපහසු යි. තව
තවත් අපිරිසුදු වීමයි සිදුවන්නේ. එලෙසම වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිඳෙන්නේ.
අපිරිසුදු දෙය පිරිසුදු ජලයෙන් සේදූ විට පිරිසුදු වී දුගඳ නැති වෙනවා. වෛරයත් ඒ
වගේම යි. අවෛරයෙන්, ඉවසීමෙන්, මෛත්‍රිය ආදී මෘදු සිතිවිලි තුළින් වෛරය සංසිඳෙනවා.
අඩු වෙනවා. අවෛරයෙන් වෛරය සංසිඳීම බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වැඩූ මඟ යි.
බෞද්ධයා යා යුතු මඟ එය යි.
නයනා නිල්මිණී |